My Blog List

Wednesday 15 August 2012

ඉරට හඬන මිනිස්සු...!


ඔයාලට මතකනෙ මම කලින් මගෙ පෝස්ට් එකක දැම්ම අපේ ගේ අවට හිමෙන් වැහිල තියන පොටෝ එකක්? ඒ පොටෝ එක මේකෙ පලකරන්න බොහොම කලින් ඉඳන් මම මගෙ යාලුවන්ට කියල තිබුන, හිම නිසා මම විතරක් නෙවේ මෙහෙ අනිත් මිනිස්සු විඳින දුක් කරදර ගැන..ඒ ගැන වැඩි විස්තර මෙතන ආයෙමත් ලියන්න අවශ්‍ය නැහැ..මම ම ලිස්සල වැටිල අත් කකුල් කොන්ද කීපාරක් කඩාගත්තද කියල මම කියල ඇති..අන්න ඒ කරදර මතක් වෙලයි ඒ පොටෝ එක පල කලේ එතන මගෙ යාලුවන්ට බලන්න..හැබැයි ඉතින් ඕක දැකල සමහරු මට මඩ ගහල තිබුන..හහ්..හහ්..හා මට හෙන සතුටුයි ඒ ගැන.(ඇයි කියල අහන්න එපා ඒක ඕනෙ නැහැ.)අපි මාතෘකාවට අදාලව කතා කරමුකො..

ඉතින් ඒ පින්තූරෙ ඔයාල දැක්ක විදියට කිරිසුදු පාට හිම ලෝකෙකට වෙලා,ශීතලේ ගැහි ගැහි වලස්සු වගේ,ගෝනිබිල්ලො වගේ පොරව ගෙන,අවුරුද්දේ වැඩිම මාස ගානක් හිරු එලිය නොදැක ජීවත් වෙන මේ මිනිස්සු....ඒ කාලෙට යාන්තම හරි ඉර පොඩ්ඩක් දැකපු මොහොතකට..යාන්තම් අව් රැල්ලක් පොලවට වැටුන දවසට සතුටින් උඩ පනිනවා......
අනේ මාත් එහෙමයි...
උදේ පාන්දර ඉඳන් රෑ වෙන තුරු වට පිටාව හැමදාම අඳුරු පාටයි (අළු පාටයි.)ශීතලයි..වැස්සයි..සුළඟයි..එක දවසකට වතුර වහිනව..තවත් වෙලාවකට දවස් 2..3..4. සමහර විට ඊටත් වඩා එක දිගටම නොනවත්වාම හිම වහිනව...
ඔය අතර උදේ පාන්දර නැගිටල ජනෙල් අරිනකොට කලාතුරකින් දවසක ඉර පායල තියනව දැක්කොත් හැමෝම වගේ මාත් කෑගහනවා..." අම්මේ...ඉර පායල අම්මේ..අනේ බලන්නකෝ අද ඉර පායලා.."

මෙහෙ මිනිස්සු කවුරුත් ඉර අව්වට හරිම පෙරේතයි..හිරු එලිය නැතුව දුක් විඳිනවා...කොච්චර සල්ලි සැප සම්පත් ලස්සන ජීවිත තිබුනත් එයාලට හිරු එළිය මහා ගොඩාක් වටිනවා..." අද නම් හරීම ලස්සන දවසක්." කියල මේ මිනිස්සු කියන්නෙ ඉර පායපු දාට..ඒ විතරක් නෙවේ දුර ඈත ඉන්න නෑයින්ට යාලුවන්ටත් කතා කරල මෙයාල කියනව "අද අපිට ඉර පායල හරිම ලස්සන දවසක්." කියල.........

ඉතින් මේ ශීතලේ ගැහි ගැහි හිම වැහි අතර මාස 10 ක් එක දිගට අපි වැඩ කරන්න ඕනෙ..ඊට පස්සෙ ජූලි අගෝස්තු මාස දෙක තදින්ම ඉර අව්ව වැටෙන කාලෙ..කාටත් සමර් නිවාඩු ලැබෙනව..ඒ සුලු කාලෙ දවසක් වත් අපතේ නොයවා මෙයාල හිතේ හැටියට විනෝද වෙනවා ඉර අව්වෙ...

මම ගොඩාක් ලියන්නෙ නැහැ...මේ පහල තියන පින්තූර වලින් බලන්න ඊට වඩා කතාවක් තියේවි...
ගොඩාක් ලං කරල ගත්ත පින්තූර පල කරන්න බැරිවීම ගැන සමා වෙන්න ඕනෙ..

ජාති ආගම් කුලභේද නැති,උස් පහත් උගත් නූගත් කියල වෙනසක් නැති,දුප්පත් පෝසත් මිනිස්සු ඔක්කෝම එකට එකතු වෙලා..වලි නැහැ..මඩ නැහැ..!!  කවුරුත් එකා වගේ බලන්න මේ ඉරට හඬන මිනිස්සු..!!!!





Wednesday 1 August 2012

මෙන්න ලෙඩෙක්...!!

වින්චැට් කිරිල්ලි නමින් මගේ ප්‍රොෆයිල් පින්තූරය දමාගෙන ඒ හා සමානවම ප්‍රොෆයිල් එකකින් පැමින අසංවර කුනුහරුප කොමෙන්ට්ස් දමමින් එක්තරා අසනීපයක් සුව කර ගැනීමට තැත් කරන පුද්ගලයා ගැන අවධානයෙන් සිටින ලෙස ඔබ සැමට මෙයින් දන්වා සිටිමි..!


මෙම පුද්ගලයා මෙම වංචාකාරී ප්‍රොෆයිලය හදාගෙන ඇත්තේ මගේ නම කැත කර මට මඩ ගසා මාව බ්ලොග් අවකාශයේ අපකීර්තියට පත්කිරීම සඳහායි...


2012 මැයි මාසයේ අරඹා ඇති මෙම ප්‍රොෆයිල් එක භාවිතා කොට මොහු කොපමන වතාවක් මගේ නම විකුනා තිබේදැයි නොදනිමි..අද දින ''සෑම්'' ගේ බ්ලොගයේ අලුත් පොස්ට් එකේ මොහු මගේ නමින් කොමෙන්ටුවක් දමා තිබී මට හමු විය.මොහුගේ ප්‍රොෆයිලය මගේ බ්ලොගය සමග 'රීඩිරෙක්ට්' කොට ඇත....

Monday 30 July 2012

සිගරට් එකක් බොමුද..?





අලුත් පෝස්ට් එකක් ලියන්න කිහිප වතාවක්ම උත්සහ කලත් මොකක් හරි බාධාවක් වෙනවා..මේ ජූලි අගෝස්තු මාස දෙකේ කිසිම වැඩක් පිළිවෙලකට සංසුන් හිතකින් කර ගන්න බැහැ කවදත්..එකක් ගින්දර වගේ රස්නෙ,අනික සමර් නිවාඩු ගන්න නිසා වෙනදට වඩා දෙගුනයක් වැඩ කරන්න වෙනවා..කරුවල (කලුවරද මන්ද.)එන්නෙ රෑ 10 පහුවෙලා..ඉතින් වැඩ ඇරිල ඇවිත් අපි එලියෙ ඇවිදින්න යනව..බොහෝ දුරට රෑට කන්නෙත් එලියෙන්..ඉතින් ගෙදර ආවාම පුදුම මහන්සියක්..ලියන්න දෙයක් ඔලුවට එන්නෙම නැහැ..ආවත් වචන මතක නැහැ ගලප ගන්න...ඉතින් මට තව දවස් 15 ක් හෙට අනිද්දට නිවාඩු ලැබෙනවනෙ එතකොට දිග පෝස්ට් එකක් ලියන්නම්..එතකම් බලන්න මේ අමුතු සිගරට්ස් මොනාද කියල...........




මම අවසන් වතාවට ලංකාවට ආවෙ 2008 අවුරුද්දෙ නත්තල් කාලෙ..එදා මෙදා තුර ලංකාවෙ සාප්පු වල තියන අලුත් අලුත් බඩු,අලුත් නිෂ්පාදන ගැන මම දන්නෙ නැහැ ඔන්න..ඒ නිසා මේ දේවල් ඔයාලට අමුතු දේවල් වෙන්න බැහැ සමහර විට..ලංකාවෙ වෙළඳ පොලෙත් මේවා ඇති මම හිතන්නෙ..අපි බලමු.




මට සිංහල බර වචන ලියන්න බැහැ. ඒ නිසා මට පුලුවන් විදියට මේ කතා කරන භාශාවෙන් පැහැදිලි කරන්නෙ, සොරි හොඳේ..
මේවා දැනට නිෂ්පාදනය කරල තියන අලුත්ම සිගරට්ස්.!!
මේවා ඉලෙක්ට්‍රොනික්ස්..!!
දුම්පානය කරන එහෙමත් නැත්නම් දුමට ඇබ්බැහි උන අයියල,අක්කල,මල්ලිලා, කාට කාටත් ඒ වගේම වැඩිහිටි අයටත් වෙන් වෙන් වශයෙන් මේව නිපදවල තියනව..ලාවට දුම් බොන අයටත්..ඉතා තදින්ම ඇබ්බැහි උන අයටත් ඔබින විදියට,ගෑනු පිරිමි අයට සුදුසු විදියට,ඕනම පාටකින් ඕනම මෝස්තරයකින් මේවා මිල දී ගන්න පුලුවන්..
ඒ වගේම මේවා සිගරට්ස් විතරක්ම නෙවේ සුරුට්ටුත් තියනවා මෙන්න මේ වගේ...




මේ සිගරට්ස් වල විශේෂත්වය තමා, මේවා  ''ශරීරයට අහිතකර නොමැති වීම''.
අපි දන්න දකින සාමාන්‍ය සිගරට් එකකින් ලැබෙන දුම්බීමේ තෘප්තිය බිඳක්වත් වෙනස් නොවී එලෙසින්ම මේවයින් ලැබෙන අතර,ශරීරයට කිසිම අයුරක අහිතරකර තත්වයක් අනතුරක් වෙන්නෙ නැති බවට නිශ්පාදකයො සහතික වෙනව..
ඔය පින්තූර වල පේන විදියට මේවා නොයෙක් පාට වලින් වෙනස් මෝස්තර වලින් නිපදවල තියනවා.හරිම ලස්සන හිත් ඇදගන්න ඇසුරුම් වල එන්නෙ එක ඇසුරුමක සිගරට්ස් දෙකක් බැගින්..මේ සිගරට්ස් එකක් මාස 6 ක් නොකඩවා පාවිච්චි කරන්න පුලුවන්.මේවා ඇතුලෙ තියන පුංචි ෆිල්ටර් එකකට විශේෂ දියරයක් පුරවන්න ඕනෙ පාවිච්චියට කලින්..ඒ දියරයත් පුංචි ලස්සන කුප්පි වල එනව අපූරු ඇසුරුමක.....




මේවල මුල් නිෂ්පාදකයො තමා චීනය...ඉතින් එයාල අපේ අසල්වැසියො නිසා මේවා අපේ රටේ නැති වෙන්න බැහැ කියලයි මට නම් හිතෙන්නෙ..දුම් පානයෙන් කාව හරි මුදව ගන්න එක ලොකු පිනක්..!!


දුම් පානයට ඇබ්බැහි උන ඔයාල ආදරේ කරන කාටම හරි,අයියලාට අක්කලාට තාත්තලාට නැත්නම් පෙම්වතාට එයාලගෙ ජීවිතේ විශේෂ අවස්තාවකදි තෑග්ගක් වශයෙන් පිරිනමන්න මේක හරිම ෂෝක් බඩුවක් නේද??? :) :) :)

Monday 16 July 2012

නයෙක්ද මන්ද.....

        YEAH  HA...!!!!!


මුලින්ම මේ රතු රෝස මල් පොකුර මගේ ආදර දයාබර මිතුරු මිතුරියන් පිරිසට......!!


හේතුකාරනා දෙකක් මත.....එකක් කිසිම සද්දයක් තොරතුරක් නැතුව කිරිල්ලි හැංඟිලා උන්නට සමාවෙන්න කියන්නයි..අනික කිරිල්ලි නැති අතරෙ බ්ලොග් එකට කොමෙන්ට්ස් 64 ක් එවලා..මූණුපොතෙන්,මේල් වලින් පණිවිඩ මහා ගොඩාක් එවල..කිරිල්ලිට ඔයාල පෙන්වපු ඔයාලගෙ ආදරෙයි ලෙන්ගතු කමටයි කිරිල්ලි හදවතින්ම ස්තූතියි කියන්නයි....!!


අවංකවම මහා ගොඩාක් ස්තූතියි..! ඔයාල වගේ බුද්ධිමත් කොල්ලො කෙල්ලො ටිකක් ඇසුරු කරන්න ලැබීම මගේ තවත් වාසනාවක්..!!


ඉතින් මම ඔයාලගෙන් කීප දෙනෙකුට කිව්වනෙ මට 30 වෙනිද ඉඳල දවස් 15ක් නිවාඩු කියල..කිසිම අයිඩියා එකක් තිබ්බෙ නැහැ නිවාඩුවට මොකෝ කරන්නෙ කියල..මොකද මට විතරනෙ නිවාඩු අම්ම වැඩ...එදා 1 දින මම අලුත් පෝස්ට් එකක් ලියන්න හැදුව විතරයි අම්ම කිව්ව යමු අයියලව බලල එන්න කියල..එතකොටයි මට මතක් උනේ ලොකු අයියගෙ උපන් දිනේ පහුවදා බව..(අයියල දෙන්න ඉන්නෙ වෙන රටක..මමත් කලින් උන්නෙ එයාල එක්ක එහෙ, මගෙ පලමු ජොබ් එකට 
ගිහින්.)ඔන්න 1 දින රෑ අපි පිටත් උනා..පහුවදා ආපසු එන්න හිතන් ගිය ගමනක් නිසා මගෙ ලැපීව අරන් ගියෙ නැහැ..
ඉතින් පසුවදා හරිම අනපේක්ෂිත දෙයක් සිදු උනා මම හීනෙකින්වත් නොසිතපු...ලොකු අයියගෙ උපන් දිනේට කාගෙදෝ ගෙදරක සාදයක් සූදානම් කරල තිබුනා..අපිට එහෙ යන්න සිදු උනා..ටිකක් දුර නගරයකට..එයාල සිංහල පවුලක්,අම්ම තාත්ත,උස හැන්ඩි කොල්ලෙක්.:D:D..ලස්සන හීනි උස කෙල්ලෙක් අපිව මහ ඉහලින් පිළිගත්ත කියමුකො..!.ඊට පස්සෙ ලොකු අයිය අර හීනි කෙල්ලව අපිට හදුන්වල දුන්න 'එයාගෙ ආදරණීය අනාගත බිරිඳ' කියල..කෙළියයි මහ රජ..!! කිව්වලු......මතකද මගෙ ''පොහොරියි මමයි''?? ආන්න ඒකෙ පොහොරිවයි පැටව් ටිකයි දැක්ක වෙලේ වගේ මගෙ කට ඇරුනා..ඇස්දෙක ලොකු උනා....!! අවුරුදු ගානක ඉඳන් මගෙ හිතේ තිබ්බ හීනයක් සැබෑ උනා වගේ සතුටක් දැනුන මට..අනේ මටත් දැන් මගේම කියන්න අක්කියෙක් ඉන්නව..ලස්සන අක්කියෙක්..මම හිතේ මවාගෙන උන්න වගේම කෙනෙක් එයා..
කවදා හරි ලොකු අයිය මේ රටකම ඉන්න කැරපොතු සුද්දියෙක්ව බැඳගනීවිදෝ කියල මගෙ හිතේ තිබ්බ 'නයිට් මෙයර්' එක දැන් ඉවරයි..! අපි දෙන්න හරිම ඉක්මනින් යාලුවො උනා..හරියට ආත්ම ගානක ඉඳන් එකට ආපු සහෝදරියො වගේ..එයා කටකාරයි,දඟකාරයි,විහිලුයි..අම්ම නම් අපි දෙන්න දිහා බලල හිනා උනේ ''අපූරු දෙන්න එකතු උනේ'' කියල...
පහුවදා අම්ම ආපසු එන්න ආවත් එයාල මට එන්න දුන්නෙ නැහැ..''ඔයා කොහෙ යන්නද? අපි දන්නව ඔයාට සති දෙකක් නිවාඩු කියල මෙන්න මෙහෙ ඉන්න අපි එක්ක''හ්ම්ම්ම්.ඔන්න ඉතින් මාව නවත්ව ගත්ත...ඉතින් ඒ දවස් 10 එකම විනෝද සාගරයක් උනා කිව්වොත් තමා හරි...
අපි ඈත ගම්වලට ගියා එලවලු පලතුරු කඩන්න..ඒ පැත්තෙ ගොඩාක් තිබ්බෙ ඇප්‍රිකට් වතු..කිවි වතු..මිදි වතු..මිදි වැල් වල ඇරෙන්න අනිත් ගස්වල ගෙඩි පිරීල ඉදිලා ගස්යට ගොඩවල් වැටිල..මට පුදුමයි ඒ මිනිස්සු ඒවට ලෝභ නැත්තෙ ඇයිද කියල..අක්ක කිව්වෙ ඒ මිනිස්සුන්ට ඒවා විකුනන්න බැරිලු..හැමෝටම තියන නිසා..ඒ ගම්වල මිනිස්සු ගෙදරම චීස් හදනවා..එක ගෙදරක එළදෙන්නු 6ක් උන්න..ඒ හය දෙනාගෙන්ම කිරි ගන්නව..එයාල ඒවලින් චීස් හදනව..මට එකපාරම හිතට ආවෙ ඇයි අපේ ලංකාවෙ අයට එහෙම කරන්න බැරි කියල..අපේ රටේ චීස් කියන්නෙ පිටරටින් ගෙන්වන මිල අධික කෑමක්නෙ..ඒත් ටිකක් මහන්සි උනොත් අපිටත් ලේසියෙන්ම හදා ගන්න පුලුවන්...(හප්පොච්චියේ කතාව පීලි පැන්න..නයෙක් යයිද මන්ද මෙතනින්.)


ඉතින්....ඒ දවස් කීපයෙම හවස් කාලෙ අපි ගත කලේ මුහුදු වෙරළෙ..අයියලත් වැඩ ඇරිල ඇවිත් අපිට එකතු උනා..මම කවදාවත් මුහුදෙ නාල තිබුනෙ නැහැ..විශ්වාස කරන්න අමාරුයි නේද?ඔව්.ඒත් ඇත්ත..ලංකාවෙදි රැල්ල පාගල තිබුන විතරයි..මෙහෙ ඇවිත් අවුරුදු 12 ක් දැන්..මුහුද අයිනට ගියාට මම කවදාවත් නාන්නෙ නැහැ..පිහිනුම් තටාක වලට බහින්නෙත් නැහැ..හේතු ගොඩක් තියනව..මම ම හදා ගත්ත හේතු...ඒත් මේ පාර නම් ඒ ප්‍රතිපත්ති බිඳ වැටුන..අක්කි මාව ඇදගෙන ගිහින් මූදෙ ගිල්ලුව..අනිත් එක තමා කවදාවත් අයිස්ක්‍රීම් කන්නෙ නැති මාව අල්ලගෙන බලෙන් අයිස්ක්‍රීම් කැව්ව..(මේවා අපේ අයියලගෙ කුමන්ත්‍රණ වල ප්‍රතිඵල.)..
ඉතින් අපි රෑ වෙරළෙ ගිනිගොඩවල් පත්තු කරන් සින්දු කිව්ව..බාබකිව් දැම්ම..කෑව බිව්වා..නැටුවා..කෑගැහුවා...
අක්කි මාව එක්ක ගියා ඉස්සර කාලෙ පරන රජමාළිගාවක් බලන්න..
තව ඒ පැත්තෙම තිබ්බ විශේෂ පොලක් බලන්න..ඒකෙ තිබ්බෙ ඔක්කොම අත්වලින් හදපු ඇඳ රෙදි,කොට්ට උර,මේස රෙදි,අත් පිස්න,දොර ජනෙල්,රෙදි වගේ දේවල්..ආ ලස්සන රෙදි බෝනික්කො....
තවත් අපූරු දෙයක් උනා..මම කවදාවත් සිංහල ටෙලි ඩ්‍රාම බලන්නෙ නැහැනෙ..අක්කිගෙ කීමට එකක් බැලුව ''මලී'' ඇත්තටම ඒක ලස්සනයි..ඒ 'මුදුනාගල' ගමට 'වෙදහාමිනේ' ගෙ චරිතයට මම ගොඩාක් ආශයි..'දුලීකා මාරපන' විශිෂ්ඨ ගනයේ නිලියක් මට හිතෙන්නෙ..
ඉතින් ඔන්න ඔහොමලු උනා කියන්නෙ ගිය බදාද හවස මම ගෙදර ආව..ඒ ආවාමයි දැක්කෙ බ්ලොග් අවකාශෙත් එක්තරා සැණකෙලියක් තිබිල බව..ඒක නම් මට පෙනුනෙ මෙන්න මෙහෙම.............




..ක්ලැප්..ක්ලැප්..ක්ලැප්..ක්ලැප්..!! 


අවසාන වශයෙන් මගෙ යාලුවන්ට පොඩිකාරනා ටිකක් කියන්න ඕනෙ කියල හිතුනා...


*..මමජීමේල්..ගූග්ල්බුස්..ගූග්ල්ප්ලස්..ගූග්ල්ටෝක්..ස්කයිප්..ෆේස්බුක්...ඔය එකී මෙකී හැම අස්සක් මුල්ලක් ගානෙම උන්නෙත් ඉන්නෙත් මගෙ නියම නමින්,සම්පූර්න නමින් විතරක් නෙවේ වාසගමත් එක්කම..මට හැංගිලා ඉන්න කිසිම හේතුවක් නෑ..ඒත් මේ බ්ලොග් එකේ කිරිල්ලියක් උනේ,මම ලිව්ව රකුසු කතාව මගේ නෑයින් දකිනවට මම අකමැති නිසා පමනයි...මගේ පවුලෙ අයත් රකුසගෙ පවුලෙ අයත් මේ සිද්දි දන්නව උනාට මම කැමති නැහැ මගෙ නෑයො මේවා දැනගන්න වට..එපමනයි...


*..මම වින්චැට් කිරිල්ලි කියන්න තියන දේ කෙලින් කියනව..කාගෙවත් බ්ලොග්ස් වල ඇනෝ කොමෙන්ට්ස් දාන්නෙ නැහැ..''අමා'' කියල මට ප්‍රොෆයිල් එකක් ඇත්තෙත් නැහැ..මම දන්න තරමින් ''අමාල'' 3 දෙනෙක් බ්ලොග්ස් වල කොමෙන්ට්ස් කරනව..මම මේ බ්ලොග් අවකාශෙ කාටවත් මඩ ගහල ගල් ගහල විනෝද වෙන කෙනෙක් නෙවේ..එහෙම කරලත් නැහැ..කරන්නෙත් නැහැ..අනික ඔය ලක්ශ 2ක් මාසෙ පඩිය ගන්නව කිව්ව මහත්තුරුන්ව අල්ලගන්න උගුල් අටවල ඒ උගුල්වලම පැටලිලා නලල දක්ව ගිලෙන්න මඩ කාපු කෙනෙකුත් නෙවේ...


*..මම ලිව්වෙ 'දුක්බර ආදර කතාවක්' නෙවේ..(මොකද මට ඒ ගැන කිසිම දුකක් නැහැ.)මම ලිව්වෙ,ආදරෙයි කියල මාව රවට්ටපු වංචාකාරයෙක් ගැන පමනයි.ඔහුගෙ පොටෝ පල කලේ තවත් අයව රැවටීමෙන් වලක්වන්නයි,මගේ යාලුවන්ගේ ඉල්ලීමටයි.ඔහුගෙන් පලිගැනීමෙ අවශ්‍යථාවයක් ඇත්නම් ඒකට මේ වගේ බ්ලොග් එකක් ලිය ලිය කාලය කා දමන්න මට උවමනා නැහැ..'රකුසු කතාව' ලිවීමේදි ඊට අදාල සිදුවීම්.කතාබහ.දෙබස්, ඇත්ත ඇති හැටියෙන් ලිව්ව මිසක්..ඒ අතර නයි පොළොඟු ගැරඬි උන්නද කියන්න මම දන්නෙ නැහැ..මොකද උන් මෙහෙ නැති නිසා මට උන් ගැන වැටහීමක් නැහැ....


*..මම ආදරෙන් ඉල්ලා සිටිනව මගෙ පෝස්ට් වල තියන වැරදි අඩුපාඩු ගැන එවෙලෙම මට කියන්න...ඒ වගේම ඔයාලගෙ බ්ලොග්ස් වල මම නයි පොළොඟු දැම්මොත් ඒ ඒ බ්ලොග්ස් වල ඇඩ්මින්ල ඒක මට කියන්න..
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපි දවසට එක වේලක් කාල මුලු දවස පුරාම ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු..අපිට අපේ ජීවිත වල බොහොම වැදගත් පුද්ගලික කාරනා කටයුතු ඉදිරි සැලසුම් තියනව හිතන්න කියන්න කරන්න...අනුන්ගෙ දේවල් හොයන්න බලන්න..ඇඟිලි ගහන්න..ඊරිසියා කරන්න කුහක කම් කරන්න..මඩ ගහල අපහාස කරල තුට්ටු දෙකෙ විනෝදයක් ලබන්න ඔය වගේ පහත් නූගත් මිනිස්සු කරන වැඩ මම,අපි කරන්නෙ නැහැ...අපිට ඒවා පුරුදු නැහැ...
 ආයෙමත් ඔයාලගෙන් සමාව ඉල්ලනව ඔයාල එව්ව ඔක්කොම කොමෙන්ට්ස් පල කරන්න නොහැකිවීම ගැන..ඒත් මම හිතනව මේ දිග පෝස්ට් එකෙන් මම ඔයාලට පිලිතුරු දීල ඇති කියල..මේකෙ වැරදි අඩුපාඩු ගොඩාක් ඇති. ගමන් මහන්සියත් දේශගුනය වෙනස් වීමත් නිසා මම ඉන්නෙ තරමක් අසනීපෙන්..එහෙනම් නැවතත් අමුතු කතාවක් අරන් ඉක්මනින් එන්නම්... ස්තූතියි...!!!

Saturday 23 June 2012

එදා...අද සහ හෙට......



මම පුංචිකාලෙ අපි ජීවත් උන අපේ ලංකාවෙ ගේ තිබුනෙ ටිකක් ලොකු වත්තක් මැද්දෙ..අපේ ගේ අවුරුදු 100 කට වඩා පරන ගෙයක්..මගෙ පුංචි කාලෙත්,අපේ මහ ගෙදර ජීවිතෙත් ඒ වට පිටාවත් මතක් වෙද්දි මේ දැනුත් ඇස්වලට කඳුලක් එනවා..


ජීවිතේ හැම දෙයක්ම ලබාගෙන දුකක් අහලකවත් නැතුව කිරිල්ලියෙක් වගේම ගොඩාක් සතුටින් ඉන්න මම..ඒ අතීත කාලෙට නම් හරිම ලෝභයි..ඒ කාලෙ මතක් කරල මම දුක් වෙනව කාටත් හොරා...
අපේ ගේ වටෙත්.වත්තත් කැලෑවක් වගේ ගස්කොලන් වලින් පිරිල තිබුන..ඒවා ඉබේට වැවුන කැලෑ ගස් නම් නෙවේ..අපේ සීයල ආත්තල එයාල ගැන විතරක් නෙවේ එයාලගෙ දරුමුණුබුරු අපි ගැනත් හිතල..''අපිට බැරි උනත් අපේ දරුවො හරි මේවල ඵලදාව ගනීවි'' කියන අදහසින්, දෑතෙ මහන්සියෙන් වවපු ගොඩාක් ප්‍රයෝජනවත් ගස් වර්ග ඒවා...


අපේ ගේ වටේ ඒ ගස් කැලෑව තිබුනෙ මෙන්න මෙහෙම..
ගෙට ඉස්සරහින් අතු විහිදුන විශාල අඹ ගස් ඒවා රට අඹ..කර්තකොලොම්බ..පොල් අඹ.......ඒ ගස් යට ලොකු ගෙඩි හැදෙන පේර ගස්...ගෙට වම් පැත්තෙන් තිබුන ජම්බෝල ගස් දෙකක් පාට දෙකකින් ගෙඩි හැදෙන..ඒ එක්කම ජම නාරං..හීන් නාරං..සිදරන් ගස් 3 ක් තිබ්බ..ගේ ඉස්සරහ දකුනු පැත්තට වෙන්න ලොකු මිදි වැලක් යැව්ව මැස්සක් තිබුන ඒක යට හරිම හෙවනයි සිසිලයි..මම ඉස්සර ඉස්කෝලෙ වැඩ කරන්නෙ මිදිවැල යට ඉඳන්..හැබැයි ඒකෙ ගෙඩි නම් පැණිරස නැහැ...ඒ පැත්තෙම ගෙට ටිකක් දුරින් තිබුන ලොකු ලොවි ගහක්..ලාවුලු ගහක්..වම් පැත්තෙ පිලිකන්නෙ තිබුන උගුරැස්ස,නමිනං,කාඹරන්ග,ඇඹරැල්ල..ඊට ටිකක් දුරින් තිබුන ලොකු දිවුල් ගස් දෙකක්,ලෙලි ඇරපු පොල්ගෙඩි තරම් ලොකු ගෙඩි හැදෙන බෙලි ගස් දෙකක්..වෙරලු ගහක්....
ගේ පිටුපස්සෙ ඉඳල පහල වෙල ගාවට යන කම්ම තැනින් තැන තේක්ක ගස් වවල තිබුන..කෙහෙල් කොටුවක් තිබුන..ඉබේ හැදුන පැපොල් ගස් වල ගෙඩි කෑවෙ අපි නෙවේ කාක්කො ලේන්නු කුරුල්ලො...සුදු පාට ලොකු ගෙඩි හැදුන පිනිජම්බු ගහකුත් ඒ කිට්ටුවම කොහිල වලවල් දෙකකුත් තිබුන..
සීයගෙ ලොකු බුලත් පාත්තිය ඇතුලට ආත්තම්මට අම්මට මට (ගැහැනු ලමයින්ට.) එන්න තහනම් කරල තිබුනෙ..ගැහැනු ලමයි කොන්ඩෙට පොල්තෙල් ගානවලු ඒ තෙල් බුලත් කොල වල වැදෙන්න හොඳ නැතිලු..!!
ඒ බුලත් පාත්තිය ඇතුලෙ අපූරුවට වවල තිබුන මිරිස් කොච්චි වම්බටු බන්ඩක්ක...දඹල වැල්.....
වෙල අයිනෙ තිබුන ලොකු කුඹුක් ගහක්..නවසි පොල් ගහකුත් හැමදාම අඩුවෙන්නෙ නැතුව ගෙඩි පිරුනු තැඹිලි ගසුත්...වෙල අයිනෙ පොල්ගස් වටේ හරිම සාරෙට ගොටුකොල වැවිල තිබුන...වෙලේ නියරවල් වල මෑකරල් පාත්ති කරවිල පාත්ති දාල තිබ්බ..බන්ඩක්ක හිටවල තිබුන..ඒ නියර වලම මුකුනුවැන්න,ගිරා පලා හැදිල තිබුන හැටි දකිනකොට ආශාවෙ බැහැ..හරිම දුකයි දැන් මතක් වෙද්දි...
වහිනකොට වත්ත හේදිල යාවි කියල හරහට දිග කානු (අගල්) කපල තිබුන..ඒවල කොහුබත් දාල කිරිඅල හිටවල තිබුන..කිරි අල ගස් දෙකක් ගැලෙව්වාම පොඩි බකට් එකකින් පුරවල අල...
වෙල පැත්තෙ වත්තෙ කොනක තිබුන කොස්ගස් ගොඩාක්..අපෝ මම නම් ඒ පැත්ත පලාතෙ කවදාවත් යන්නෙ නැහැ..වැල වරක ඉදිල ගස්යට වැටිල ගමේම ඉන්න
බල්ලොයි,කබරයොයි,ලේන්නුයි,කාක්කොයි,මැස්සොයි,කෝඳුරුවොයි,පනුවොයි ඒ පැත්තෙ පදිංචි වෙලා උන්න......
ගේ පිටිපස්සෙ තිබුන කෝපි ගස්වල රතුම රතු පාට ගෙඩි කඩන්න මම ඉස්සර හරිම කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ..ඒක හරිම ආශ හිතෙන වැඩක්..!


මම හරිම ආඩම්බරයෙන් කියනව අපේ ගෙදර කවදාවත් ශීතකරනයක් තිබුනෙ නැහැ..!!
කූල් වතුර ලිඳේ තිබුන..අලුත්ම එලවලු පලතුරු වත්තෙ හැදුන..උවමනා වෙලාවට අලුත් මාලු මස් බිත්තර මාකට් එකෙන් ගෙනාව..(ඇයි අපේ අර කුකුල් ගෲප් එකෙන් බිත්තරත් ලැබුනනෙ.)
ඉතින් මට තව කියන්න අමතක උනා ඔය දෙල් කජු මුරුංග අල බතල වගේ දේවලුත් අපේ වත්තෙම තිබුනා..........ඒ එදා..


 ඉතින්...අද...සෙනසුරාද උදේ පාන්දර අම්මගෙ සුපුරුදු සින්දුව....
''...ෂොඩූ..නැගිටින්නකො අනේ දැන් වෙලාව කීයද දන්නවද? ඔයා එනවද මා එක්ක සුපර් යන්න? නැත්නම් මම ගිහින් එනකම් ප්‍රිජ් එක අස්කරල ක්ලීන් කරල තියනවද?...''
හැම සෙනසුරාදාවකම උදේට මම අහන්න අප්‍රියම රාජකාරිය..!!  හ්ම්ම්ම්ම්ම්ම්...........ඉතින් අපි සුපර්මාකට් ගිහින් වතුර ටික පවා සල්ලි වලට අරන් ඇවිත් ප්‍රිජ් එක පුරව ගෙන සතියක් කනවා...පොහොර දාල..රසායනික ද්‍රව්‍ය ඉහල..එක එක කෘතිම තුරුම්පු ගහල ලස්සනට දිලිසෙන්න හදල තියන එලවලු පලතුරු ගෙඩි දිහා බලාගෙන මම ඉතින් පිලිකුල් භාවනාව කරනව..!!
අපේ මේ ගෙට ඉස්සරහින් ඝෝශාකාර මහ පාර...ගේ දෙපැත්තෙන්ම අහස උසට බිල්ඩින් ඒවා දිහා බැලුවාම මට ඔලුව කැක්කුම හැදෙනව....ගේ පිටුපස්සෙන් ගඟ...(මගේ එකම සැණසීම.)දැන් සමර් කාලෙ පටන් අරන් එලිය දිහා බලන්න බැහැ..එලියට බහින්න බැහැ පිච්චෙන තරම් අව් රශ්නෙ...ඇඳුමක් ඇඳන් ඉන්න බැහැ දාඩියෙන් නෑවෙනවා..තව මාස තුනකින් හතරකින් මුලු ලෝකෙම මලගෙයක් වගේ බලන බලන අත සුදුම සුදු පාට වෙනවා..හිම වැටිල..හිම කඳු හැදිල..ගස්කොලන් ඔක්කොම වේලිලා ඉපල් වෙලා කෝටු විතරයි එතකොට..බලන බලන අත සුදුපාට හිම විතරයි..මේ පහල තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ දර්ශනයක් බලන්න මේක දිහා.......




දැන් ඔන්න කට්ටිය කියාවි..''හානේ මරුනෙ..ලස්සනයි..ඔයා හරීම ලකී..අපිට නෑනෙ ඔහොම වාසනාවක්..හිම ගොඩේ බදාගෙන පෙරලෙන්න හිතෙනව..'' කියල...ඔව්..ඔව් මාත් එක කාලයක් එහෙම හිතුව අර ගමේ  කොලපාට ගස් යට සීතල හෙවනෙ ඉඳන් අලුත්ම ගහෙන් කඩාපු එලවලු පලතුරු කකා ලිඳෙන් කූල් වතුර බි බී ගමේ සුවඳ විඳ විඳ ඉන්නකොට..අඹ ගස් පේර ගස් උඩට වෙලා ඉඳගෙන මාත් එහෙම තමා හීන මැව්වෙ...ඉවසිල්ලක් නැතුව උන්නෙ හිම ගොඩවල් වල පෙරලෙන්න..! හිම සෙල්ලම් කරන්න..!
ඒත් ඒ ආශාව එක සතියයි..ගේ ඇතුලෙ අපාය වගේ ගිනිගොඩවල් ගහගෙන..කිලෝ 10 ක විතර බරට ඇඳුම් ඇඳන් ගෝනි බිල්ලො වගේ ඔලුවෙ ඉඳන් වහගෙන..අත්වලට කකුල් වලට මේස් දාගෙන..අලි බූට්ස් සපත්තු දාගෙන..මහා දුකක් විඳිනකොට....ශීතලට තොල් පැලිල ඇඟිලි තුඩු පැලිල ලේ ඇවිත් වේදනා දෙනකොට...හිමේ ලිස්සල වැටිල අත් ඇඟිලි වැලමිටි කඩා ගත්තාම මම කෑගහ ගහ ඇඬුවෙ වැඩිපුරම හිතේ වේදනාවට.. ගමේ ගෙදරදි ජංගි කොටයක් ඇඳන් පෙර ගහේ අත්තකට වෙලා ඉඳගෙන ලේන්නුත් එක්ක පේර ගෙඩියක් අඹ ගෙඩියක් ක කා සැනසිල්ලෙ උන්න හැටි මතක් වෙලා...


ඉතින්....කෙසේ හෝ අවුරුදු 10 ක්ම වෙව්ලන ශීතලේ පාන්දර 4 ට නැගිටල පාඩම් කරල..ඉස්කෝලෙ පැය ගානට වඩා පන්ති වල පැය ගනන් ගෙවල මහා දුකක් විඳල මම අම්මලගෙ බලාපොරොත්තුව ඉටු කලාට...මම මගේ හිතේ හැමදාම හංගගෙන උන්න ලොකූ බලාපොරොත්තුවක්..මගෙම කියන ලස්සන හීනයක්..!! ඒ හීනය තමා කවදා හරි මගෙ රටට,මගෙ ගමට පියාඹල ගිහින් නිසංසල සීතල පැත්තක..කොලම කොල පාට ගස් ගොඩාක් තියන වත්තක මගේම කියන පුංචි කූඩුවක් හදා ගන්න..!!
මෙන්න මේ වගේ...!!!! :D:D:D:D




හිතට දැනෙන, කියන්න ඕනෙ කියල හිතෙන හැම දෙයක්ම හරියටම ඒ විදියට අකුරු කරන්න තරම් මම දක්ෂ නැහැ...ඒත් මම හිතනව මම මේ කිව්ව දේ ඔයාලට තේරුනා කියල...
ඒ අතරම මේ වගේ දෙයක් කියන්න හිතුනා....සල්ලි නැති මිනිස්සු හිතනව සල්ලි තියන මිනිස්සු වාසනාවන්තයි එයාල තමා සතුටින් ඉන්නෙ කියල..ඒක හරි වැරදි..ජීවත් වෙන්න සල්ලි ඕනෙ තමා..ඒත් කෙනෙකුගෙ සතුට තියෙන්නෙ සල්ලි මතම නෙවේ......
අනිත් කාරනාව ඉල්ලීමක්..! ඔයාලත් ගෙදර වත්තෙ පලතුරු ගහක් දෙකක් හිටවන්න..පුලුවන්නම් ගොඩාක්..සමහරු කියනව මම අහල තියනව ''..අනේ අපි ඔය ගස් ලොකු වෙලා ගෙඩි කනකොට බැරියැ..අපි මැරුන තැන් වල ගසුත් පැලවෙලා තියේවි එතකොට..'' කියල..ඒ කතාව හරිම ආත්මාර්තකාමියි නේද?අපේ සීයල අර තරම් දේවල් වවලා තිබුනෙ එයාලට ම නෙවේ අපිට..එයාලගෙ දරු මුණුබුරන්ට...අඹ පැලයක්..පේර පැලයක්..රඹුටන් පැලයක් ලොකු වෙලා ගෙඩි හැදෙන්න යන්නෙ අවුරුදු 4 ක් විතරයි..ඒක මහා කාලයක් නෙවේ... !!
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපේ කොලපාට රටේ ජීවත් වෙන ඔයාල ගොඩාක් වාසනාවන්තයි..!!

Sunday 10 June 2012

බේබි සිටින්....!!

එදා අපේ ගෙවල් කිට්ටුව ලස්සන උද්‍යානයක තිබුන පොඩි ලමයින්ගෙ උත්සවයක්..මේකෙ පොඩි සල්පිල් වල රෙදි බෝනික්කො..ලී බෝනික්කො..අර අම්බලංගොඩ රූකඩ වගේ, ඔක්කොම මපට් පප්ට්ස්ලා විකුනන්න තිබුනා..ඒවා අළෙවි කලේ ඒ ලැබෙන මුදල් අප්‍රිකාවෙ අසරන ලමයින්ට අධාර පිනිස යවන්නයි......
මේ පොඩි සල්පිල් භාරව උන්නෙ කඩියො වගේ එහාට මෙහාට දුවන නෝනල දෙන්නෙක්..එක්කෙනෙක් සිවිල් ලෝයර් කෙනෙක් නම මෝනා..අනිත් කඩියා අපේ අම්ම....
අම්මලාගෙ ආයතනයේ වැඩ කරන පවුල් වල පුංචි පැටවුනුත්..තව යාලු හිතවත් පවුල් වලත්,අවට ගමේ පුංචි පැටවුනුත් මහා ගොඩාක් පාක් එකේ පිරිල උන්න..පාට පාට මල් වගේ ලස්සන සමනල්ලු වගේ...
සල්පිළක් ඇතුලෙ ඉඳල ඉඳල කම්මැළි හිතුනාම මාත්  එලියට ඇවිත් පොඩ්ඩක් ඔහේ ඇවිදගෙන ගියා මාලුවොයි ඉබ්බොයි ඉන්න ලොකු වතුර පොකුන පැත්තට..පුංචි ලමයින්ගෙ සැන්දෑවක් නිසා චාම් රෝස පාට සිනිදු ගවුමක් ඇඳල, රෝස පාට සපත්තු දෙකක් දාල, කොන්ඩෙ දෙකට බෙදල කරල් දෙකක් ගොතල රෝසපාට රිබන් වලින් ගැට ගහන් මම එදා උන්නෙ.....
මාලු පොකුණට කිට්ටු වෙද්දිම ඈත ඉඳන් දුවන් ආපු පැටව් ටිකක් මාව වට කර ගත්තා..කටියම කිචි බිචි ගානව..හිනා වෙනවා එකිනෙකාගෙ මූණු බල බල..ඇහ් මේ මොකෝ මේ..??
රන්වන් පාටින් කඩා හැලෙන පොකුටු කොන්ඩෙකුත් තද කොල පාට ලස්සන ඇස්දෙකකුත් තිබුන හරිම හුරතල් මූණක් මගෙ ලඟට ආව...
''..හායි මිස්.. ඔයා රෙඩ් ඉන්ඩියන් නේද..?''
''..ම්ම්ම්..මම..ආහ් ඔව්නෙ.. කෝමද ඔයාල දන්නෙ..?''
''..අපි දන්නව..ඔය විදියට කොන්ඩෙ හදන්නෙ රෙඩ් ඉන්ඩියන්ස්ල..ඉතින් කෝ ඔයාගෙ කුරුලු පිහාටු..?''
''..ම්ම්ම්ම් අද මම කොන්ඩෙට කුරුලු පිහාටු ගැහුවෙ නැහැ ඒවා ගෙදර තියල ආවනෙ..''
''..එතකොට එදා?..එදත් ඔයා කුරුලු පිහාටු ගහල උන්නෙ නැහැනෙ..?''
''..එදා? ඒ කවදද?? ඔයා මාව කලින් දන්නවද..?''
ඔන්න දැන් නම් මාව මේ කෙල්ල කරකවල අත ඇරිය වගේ..මම පුදුම වෙලා එයා දිහා බලන් උන්නෙ..හපෝ එහෙමත් කටක්..! එහෙමත් පන්ඩිත කමක්..!!!
''..ඔව්. ඔයා ඔයාගෙ මමී එක්ක උන්න සුපර්මාකට් එකේ..මම මගෙ මමී එක්ක උන්නා..ඔයාල උඩට ගියා..''
''..හ්ම්ම්ම්ම්..කවුද ඔයාගෙ මමී? කෝ එයා දැන්..?''
පොඩ්ඩි අත දික් කරපු පැත්ත බැලුවාම මම පුදුම උනා..මෙයා මේ මෝනගෙ දුව එමිලි..!! අහල තිබුනට මෙයාව මම දැක්කෙ එදාමයි..මෝනට බබාල 4 දෙනෙක් හම්බ වෙන්න ඉද්දි නැතිවෙලා..එමිලි තමා 5 වෙනි බබා..එමිලිගෙ තාත්තත් ලෝයර් කෙනෙක්..එයා මෝනට වඩා ගොඩාක් වැඩිමල්..හරියට තාත්තයි දුවයි වගේ..එමිලිගෙ සීය වගේ......
ඔන්න ඉතින් එදා අපි දෙන්න ගොඩාක්ම යාලු උනා..මගෙ ජීවිතේටම හැබැහින් දැක්ක ලස්සනම හුරතල් කෙලි පැටික්කි තමා එමිලි..වයස අවු:5.මූණ රෝසම රෝස පාටයි..කැරලි කැරලි රන්වන් පාට කොන්ඩෙ කඩා දාගෙන කොල පාට ටීක් බෝල දෙකකක් වගේ ඇස්දෙක නටව නටව  හුරතල් පන්ඩිත කතා කියද්දි දකින ඕනෙම කෙනෙක්ට ආදරේ හිතෙනව එයාට......
දවසක් අම්මල ගමනක් ගියා එදා මෝනා එමිලිව අපේ ගෙදර තියල ගියා මා එක්ක...මෙයා දඟ කරන ලමයෙක් නෙවේ හරි තැන්පත් ඒත් පොත් වලට පෙරේතයි..පින්තූර පොතක් බල බල උන්න ගමන් හැරුන හදිසියෙන් වගේ මගෙ පැත්තට..
''..හේයි ෂොඩූ..අපි කාටුන් බලමු යන්න පොප්කෝන් හදන් එන්න..''
''..මොකක්? ෂොඩූ??''
''..ඔව්.ඔයා ෂොඩූ.. ඒ ඔයාගෙ නම..''
''..එමිලී ඔයා මගෙ නම දන්නව..වෙන නම් හදන්න එපා මට..''
''..නෑ ඒක තමා ඔයාගෙ නම..මගෙ මමී මට කතා කරන්නෙ එමිලි..ඔයාගෙ මමී ඔයාට කතා කරන්නෙ ෂොඩූ..ඒක තමා ඔයාගෙ නම..''
හ්ම්ම්ම්..ඕන මගුලක්..අද විතරනෙ...මම පොප්කෝන් හදන් ආව ඔන්න දැන් අපි කාටූන් බලනවා...මෙයා ආයෙමත් ඇස් යටින් බැලුව මා දිහා...
''..ෂොඩූ..''
''..ඇයී..''
''..බෝයි කෙනෙක් ඉන්නවද..?''
''..එක්කෙනෙක් නෙවේ ඔය දෙන්නෙක් ඉන්නෙ..එකෙක් නිදි අනික ෆුට්බෝල් වලට ගිහින්..'' අනේ මම හිතුවෙ මෙයා මේ කියවන්නෙ අයියල දෙන්න ගැන කියල....
''..එයාල නෙවේ ෂොඩූ..එයාල බ්‍රදර්ස්ලනෙ..මම කිව්වෙ ඔයාගෙ බෝයි..ඔයාගෙ..''
කොලපාට ටීක් බෝල දෙක කරකවල මේකි අහපු දේට ආයෙත් මාව කැරකිලා ගියා...
''..මෙන්න වැඩක්..ඊඊහ්..ඔයා කෝමද ඕව දන්නෙ? කවුද කියල දුන්නෙ?..''
''..කවුරුත් කිව්වෙ නැහැ මට නම් ඉන්නව බෝයි කෙනෙක් ඉස්කෝලෙ..''
''..ඈහ්හ්...මේ එමිලි බොරු කතා කියන්න හොඳ නැහැ පොඩි ලමයි තේරුනාද? ඔයා තාම පොඩි ලමයෙක්..!''
''..ඉතින් එයත් මං වගේ තමා..එයා මගේ බෝයි..ජින්පෙඩ්‍රෝ..''
''..මොකක්? ජින්?..''
''..ජින්..ජින්..නෙවේ ෂොඩූ ජින්පෙඩ්‍රෝ..''
(හෆ්ෆා...මේ කෙල්ල මා එක්ක කිව්ව ඔක්කොම දේවල් ලියන්නෙ නැහැ මම..ඔයාල හිතාවි මම බොරු ලියනව කියල..ඒ තරම් පුදුමයි මෙයා..)
කෝම හරි එදා අම්මල ආපහු ගෙදර එද්දි මම උන්නෙ කොන්ඩෙ දෙකට බෙදල ගොතල ඒවට බෝල එල්ලලා..නලල වටේට රෙදි පටියක් බැඳල..ඒකෙ කන ගාවින් ලංකාවෙන් මම ගෙනාපු ගිනි කුකුල් පිහාටු ගහල..කම්මුල් රතු කරල, ඇස් නිල් කරල, කට දම් පාට කරල..ගෙදර තිබ්බ ඔක්කොම මාල ඇට මාල පබලු කොන්ත දම්වැල් බෙල්ලට දාල..
අම්ම මාව දැක්ක ගමන් හා..ෆෝ මගෙ බුදු අම්මේ කියල බඩ අල්ලන් ඉඳ ගත්ත......


ඒ එදානෙ....ඊට පස්සෙ දවසක හවස මෝනා ආයෙමත් බැගෑපත් උනා එයාලට වෙඩින් පාටි එකකට යන්න වෙලා..එමිලිව එක්ක යන්න බැහැලු එමිලිට සනීප මදිලු..ඉතින් මට පොඩ්ඩක් එයා එක්ක එහෙ ඇවිත් ඉන්නලු කියල..එමිලි ගෙදර ඉන්න කැමති උනේ මම එනව නම් විතරලු..හ්ම්ම්ම්..ඉතින් බැහැ කියන්නත් බැරි කමට අම්ම මාව එහෙට ගිහින් දැම්ම....
මෙයාලගෙ ගේත් තට්ටු දෙකක්..යට තිබුනෙ ගරාජ් එක..උඩ ගෙදරට යන්න පිටින් පඩි පෙලක් තිබුන..බැල්කොනි කීපයක් තිබුනා ගොඩාක් මල් වවල..එක බැල්කොනියක් තිබ්බ ගේ පිටුපස්සට පාලුවගේ පැත්තකට වෙන්න..ඒ පාලු පැත්තෙ ගෙයින් මීටර් 20ක් විතර දුරින් වත්තෙ කූඩුවක උන්න තඩි ෆිට්බුල් බල්ලෙක්ව හිර කරල..ඒ දඩෝරිය පාරට පැනල මිනිහෙකුට මරණීය තුවාල කරල නිසා එයාට උසාවියෙ නඩුවක් ලු..
ඉතින් රෑ 7 ට විතර ටිකක් අඳුර වැටිල..මෙයාල යන්න පිටත් උනා..මෝන ලස්සන නිල් ගවුමක් ඇඳල එයාගෙ හබී වයසක පොර උනාට ජැන්ඩියට ඇඳල..අලුත්ම කලු කලිසම කලු කෝට් එක දිලිසෙන නිල් ටයිපටිය දිලිසෙන කලු ලෙදර් සපත්තු දෙක..ෂාආහ්!! නිකම් 25 ක කොල්ලෙක් වගේ...ඉතින් ඔන්න දෙන්න පිටත් උනා මට හොඳටම ඇහුන කාර් එක යනව...ඉතින් මට ආශ හිතුන අර දඩෝරියව බලන්න..කවදාවත් දැකල තිබ්බෙත් නැහැනෙ උසාවියෙ නඩුවක් තියන බල්ලෙක්ව..මූට තියෙන්නෙ නිකම් පාතාල මූණක්ද..මරු සිරා මූණක්ද කියල බලා ගන්න කම් මට ඉවසිල්ලක් තිබුනෙ නැහැ..ඉතින් ඔන්න මම එමිලි වත් ඇදන් ගියා අර පාලු පැත්තෙ බැල්කොනියට දඩෝරිය ඉන්නෙ ඒ පැත්තෙනෙ.. අපි බලද්දි ඒක කෑම කනව..හම්මෝ උගෙ සයිස් එක..!!!!!!
ඒ බැල්කොනි එකේ තිබුන ගේ හෝදපු(මොප් කරපු.) වතුර බකට් එකක්..ඈඈය්යා..කලුම කලුපාට ජරා වතුර..අප්පිරියාවෙ බැහැ...
''..එමිලි.මේ මොනාද මේ වතුර කලු පාටට..? ඇයි මේක මෙතන..?''
''..පපී කුස්සියෙ කෝපි හැලුවා..මාත් වමනෙ කලා..''
''..ඊඊයා..ඉතින් මේක මෙතන..?''
''..මමීට අමතක වෙලා..දැන් ඔයා ඕක විසිකරන්න..''
''..මම?..ඊක්.. හරි කොහාටද විසිකරන්නෙ..?''
''..හලන්න ෂොඩූ..හලන්න පහලට වීසිකරන්න..''
මම අර කුනු ජරා වතුර බකට් එක ගත්ත ගමන් හැලුව බැල්කොනියෙන් පහලට...එතකොටම මර හඬක් ආව පහලින්..!!! දඩෝරියාත් මර ලතෝනි දීල බුරන්න ගත්ත..!!!
හෆ්ෆා..මෙන්න හඬ..


$%$òò@@FFFF@66
&&%%&UUU&%%%$$$$)))((///ççç@@@@
@@&&CCCCC&%%%@@//
$$$£££@@//??^^!!"FF@@@°((//&&%%%
...,,.-..--.-òò-,ò-,,llò---à


දැන් හඬ එන්නෙ පඩි පෙල පැත්තෙන්...!
''..ෂොඩූ..ඒ මගෙ පපී..!!''
''..නෑ නෑ..එයාල ගියා..''


අපි දෙන්න දිව්ව පඩිපෙල පැත්තට...මෙන්න මේ මොකාද..නාකි පෙරකදෝරුව අර කලු කෝපි වමනෙ කුනු වතුර බකට් එක ඔලුවෙ ඉඳන් නාගෙන පෙරාගෙන රීරි යකා..මහ සෝනා වගේ පඩිපෙල දිගේ උඩට එනව..!!! අර ලස්සන කලු කිට් එක විනාශයි..!!!
අපි දෙන්න පුලුවන් තරම් යයියෙන් කෑගැහුව..!!!
ෂටාආප්..!! තොපි දෙන්නම පලයව් කාමරේට..!!
පෙරකදෝරුව අඩි හප්පල මාරයා වගේ බෙරිහන් දුන්නාම අපි දෙන්න දිව්ව කාමරේට ගිහින් දොර වහ ගත්ත..එමිලි වෙව්ලනව..මම ඊට හපන්..!!
අම්මට කෝල් කලා එයා කතා නැහැ..බාත් රූම් එකේ ශුවර් එකකටම..පැය භාගෙකට විතර පස්සෙ විස්තරේ කිව්වාම අම්ම ඇවිත් ඒ ගේ වහල අපි දෙන්නව ගෙදර එක්ක ගියා....


එදා ඒ දෙන්නගෙ කාර් එක පිටත් වෙනව ඇහුනට ගිහින් තියෙන්නෙ මෝනා විතරයි..මෝනා යාලුවෙක් එක්ක එන්න ගිහින් එන තුරු හබී දඩෝරියට කන්න දෙන්න නතර වෙලා.. අපි දෙන්න බැල්කොනි එකේ ඉන්නව එයාට ඇහිලත් නැහැ.. මිනිහ මිදුලෙ අනිත් පැත්තෙ ඉඳල එතෙන්ට ඒ ආව විතරමලු....


මට නම් දුක හිතුනෙ අර ලස්සන කලු කිට් එක ගැන...!!

Thursday 31 May 2012

මගේ පුංචි ලෝකේ..........ECOSPHERE..!

                                   මේක ගූග්ල් දෙවියන්ගෙන් ඉල්ල ගත්ත පොටෝ එකක්.

ටික දවසකට පස්සෙ ඔන්න කිරිල්ලි ආවා...පහු ගිය දවස් වල මට පොඩි දෝෂයක් තිබුනනෙ..අහ් හා..ඔය අහන්න හදන්නෙ 'කලු කුමාර දෝෂෙද' කියල නේද? කලු කුමාරය කොහෙද අනේ මා දිහාවට කිට්ටු කරන්නෙ මේ තරම් පැණි කුරුල්ලො ගොඩක් වට කරන් ඉන්නකොට??.හහ් පිස්සු හැදෙයි..!!

මේකනෙ උනේ..අප්‍රියෙල් මැයි මාස වෙද්දි මෙහෙ ගස් වල දලු දාල කොල ඇවිත් මල් පිපෙන්න ගන්නව..මේ කාලෙට මෙහෙ ගොඩාක් අය අසාත්මික තාවයකින් පීඩා විඳිනව..මාත් ඒ එක්කෙනෙක්..උදේ පාන්දර නැගිටිනකොට උගුර කසනව,ඇස් කසනව,නොනවත්වා කිවිසුම් යන්න පටන් ගන්නවා..ඉතින් මූණ ලේ පාට කරන් හොටු සූර සූර තමා ජීවිතේ..මේක මොන තරම් වදයක්ද කියල දන්න අය දන්නව....

මේකට බෙහෙත් දෙන්න කලින් ඩොක්ටර්ස්ලා තදින් අවවාද කරනව වාහනයක් පදවගෙන යන්න එපා..බයික් එකක් වත් පදින්න එපා බෙත් ගත්තට පස්සෙ කියල..ඇයි දන්නවද? මේ බෙහෙත් බිව්ව ගමන් නිදි මත එනවා..සමහරුන්ට නින්ද යනවා...ඉතින් මම මේව ගන්නෙ රෑට කෑම කාල..බෙහෙත් බිව්වට පස්සෙ නම් ඔලුව කෙලින් තියන් ඉන්නව බොරු...නිදිමත...නිදිමත.. ඔලුව පැත්තට කඩන් වැටෙනව...ඇයි උදේට??..හෆ්ෆා කෝපි බාල්දියක් බිව්වත් ඒ නිදිමත එහෙමමයි..!!

ඔෆිස් එකට ගිහින් වැඩ කරනවට වඩා කරන්නෙ නිදි කිරන එක...බෙහෙත් නොබිව්වොත් පාන්දරින් පටන් අරන් මුලු දවසෙම කිවිසුම් ඇර ඇර හොටු සූර සූර ඉන්න වෙන්නෙ...එහෙමත් කලා මම ටික දවසක් නිදා වැටෙන්න බැරි කමටම..කෝම හරි ගිය සතියෙ අග වෙද්දි මගෙ මේ දෝෂය සුව උනත්,  අතපසු උන වැඩ වලට කොටුවෙලා උන්න නිසයි මොකුත් ලියාගන්න බැරි උනේ..ඒත් මේ අසනීප නිදිමත මැද්දෙන් මම ඔයාලගෙ බ්ලොග්ස් වලට එන්න අමතක කලේ නැහැ ඔන්න...!!  රැට නිදිමතේ ඔලුව කඩා වැටි වැටි අලුත් පෝස්ට් කියවල කොමෙන්ට්ස් කරල ඇති...(ඒවල ලිව්ව දේවල් දන්නෙ දෙයියො තමා.)

ඉතින් අද මම කියන්න යන්නෙ පුංචි ලස්සන අමුතු දෙයක් ගැන..මීට අවුරුදු 2 කට කලින් මට කොහෙත්ම සිංහල ලියාගන්න බැරි කාලෙ මේක ලියන්න කියල කෙනෙකුට කිව්වට එයා උදව් කලේ නැහැ...හොඳයි මේකයි කතාව...........

මීට අවුරුදු කිහිපයකට කලින් NASA විද්‍යාඥ්ඥයො පිරිසක් එකතුවෙලා පරීක්ෂන කිහිපයක් සිදු කලා,අලුත්ම විදිහෙ අභ්‍යාවකාශ යානයක් නිපදවන හැටි පිළිබඳව....
ඔවුන්ට ඕනෙ උනේ, අභ්‍යාවකාශගාමීන්ට දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යාවකාශයේ රැඳිල ඉන්න පුලුවන් විදියට මේ යානය නිපදවන්නයි.
ඒ වගේම ඔවුන් උත්සාහ කලේ මේ යානයේ අභ්‍යන්තර පරිසරය යානය විසින්ම පවත්වාගෙන යන ආකාරයට මෙය නිපදවන්න.ආහාර නිපදවා ගන්න..යානය තුල යන්නන්ට ඔක්සිජන් නිපදවා ගන්න සහ වාතය මෙන්ම ජලයත් නැවත ප්‍රයෝජනයට ගත හැකි ආකාරයට පවත්වාගෙන යන්න ඔවුන්ට අවශ්‍ය උනා.......

ඔවුන්ගේ ඒ පරීක්ෂන වල ප්‍රථිපලයක් විදියට, සංවෘත වීදුරු බඳුනක් තුල ස්වයංක්‍රීයව පාලනය වන ලෝකයක් නිර්මාණය කරන්නෙ කෝමද කියල ඔවුන් ගවේෂනය කලා....ඒකට හේතුව තමා මේ පුංචි සියුම් ලෝකෙ ගොඩාක් ලස්සන වීම,ස්වභාධර්මය තුල තියන සමබරතාවය ගැන මිනිස්සුන්ට තේරුම් ගන්න උදව්වීම.....
NASA ආයතනය තාක්ෂනය බෙදා හැරිය ඉවතට...එම නිසා මේ පුංචි ලෝකෙ හදන්න පුලුවන් වේවි ඒ වගේම විශාල මිලකට අළෙවි කරන්න පුලුවන් වේවි කියල ඔවුන් විශ්වාස කලා...ඉතින් ඊට පස්සෙ තමා ECOSPHERE කියන නමින් මේ පුංචිලෝකෙ බිහි උනේ.......
ජලය,වාතය,පුංචි අඟුටුමිට්ටො වගේ ඉස්සො(කූනිස්සො.)වගේම ඇල්ගි සහ බැක්ටීරියා විශේෂ වලින් ECOSPHERE සමන්විත වෙලා තියනව...පුංචි අතු,ගල්පර්වත වලිනුත් මෙය සමන්විතයි..ඒ නිසාම පුංචි කූනිස්සන්ට හැංගෙන්න තැන් වගේම,මේකෙ බැක්ටීරියා වලට තදින් වෙලිල ඉන්න මතුපිටකුත් තියනවා..ඒ වගේම මේ පුංචි ලෝකෙ විනිවිද පෙනෙන එකක් විය යුතුයි..එවිට ආලෝකය හොඳ ශක්ති ප්‍රභවයක් විය හැකියි මුලු පද්ධතියටම.......

ඉතින් NASA විද්‍යාඥ්ඥයො මේ පුංචි ලෝක විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරල ඉහල මිල ගනන් වලට අළෙවි කලා....

බලන්න මේ පින්තූරයෙ තියෙන්නෙත් එයාල ඒ නිර්මාණය කරපු ECOSPHERE  එකක්....


මේක මගෙ..මගේ පුංචි ලෝකෙ..මීට අවුරුදු 6 කට කලින් මගේ ජීවිතයට ගොඩාක් වැදගත් විශේෂ පුද්ගලයෙක් මට මේක තෑගි කලා.. මගෙ පුංචි දරු පැටව් 6 දෙනා(කූනිස්සො.) මේක ඇතුලෙ ජීවත් වෙන්නෙ....එයාලට අවශ්‍ය කෑම,හිරු එළිය,වාතය ඔක්කෝම මේක ඇතුලෙම නිශ්පාදනය වෙනවා...බලන්න මෙන්න මේ විදියට..........

Animated diagram of EcoSphere life processes cycle.


* හිරු එළිය හෝ කෘතිම එලිය ඇල්ගි වැඩීමට සලස්වනව....
* ඇල්ගි ඔක්සිජන් නිපදවනව+ආහාර වෙනව පුංචි කූනිස්සන්ට....
* කූනිස්සො ඔක්සිජන් ආශ්වාස කරනව ඇල්ගි ආහාරයට ගන්නව....
* කූනිස්සන්ගෙන් අපද්‍රව්‍ය සහ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනව....
* බැක්ටීරියා මෙම අපද්‍රව්‍ය මත ක්‍රියා කරල ඇල්ගි වලට ආහාර වෙනව....
* ඇල්ගි කාබන්ඩයොක්සයිඩ් සහ සියුම් එලිය ලබාගෙන වැඩෙනව..ඒවා කූනිස්සන්ගෙ ආහාර බවට පත් වෙනවා....

චක්‍රයක් විදියට මේ ක්‍රියාවලිය සිදුවෙන අතර කූනිස්සො වසර කීපයක් මේ විදියට ජීවත් වෙනව....
මේ විදියට මේ පුංචි ලෝකය තුලත් හැම දෙයක්ම මෙහෙම එකමුතුව සිදු වෙනව අපි මේ ජීවත් වන ලෝකය තුල වගේම....



මේකෙ තියන ඔය tested by nasa කියන පොඩි බට්න් එකට ඇඟිල්ල තියල හෙමින් එහාට මෙහාට අරන් ගියාම  ඕකෙ ඇතුල් පැත්තෙ වීදුරුවෙ බැඳිල තියන ඇල්ගි අහක් වෙලා වීදුරු බෝලෙ ලස්සනට පිරිසිදු වෙනව..ඒ අහකට යන ඇල්ගි මගේ දරු පැටව් ටික දුවගෙන ඇවිත් කාගෙන කාගෙන යනව....


මෙයාලව එක පොටෝ එකකට ගන්න නම් කොහෙත්ම බැහැ...දුවනව හැංගෙනව... ඔය ඉන්නෙ තුන් දෙනෙක් විතරයි...

ඉතින්...ඔයාල මොනාද හිතන්නෙ මගේ පුංචි ලෝකෙ ගැන??


විශේෂ ස්තූතිය: දයාබර හිතුවක්කාර කෙල්ලට..!!  මේක ලියාගන්න ගිහින් සිංහල වචන හොයා ගන්න බැරුව ලෝක අමාරුවක වැටිල උන්න මාව ගොඩ ගත්තෙ එයා..
ඔයාට ගොඩාරියක් ස්තූතියි හිතූ..!!

Friday 11 May 2012

ඉහත ආත්මෙද..? හීනයක්ද..?



මම සිංහල බෞද්ධයෙක්...සත්කෝරලේ කටුගම්පල සිංහල බොදු ගොවි පවුලේ එකම දි..නෑ.නැත් නම් ඕනෙ නැහැ..(මගුල් දැන්වීමක් දාන්නයි ගියෙ ඒක පස්සෙ දාන්නම්.):):):P


වචනෙට විතරක් නෙවේ මම හදවතින්ම බෞද්ධයෙක්,මම මගේ ආගම විශ්වාස කරනව..බටහිර ජීවත් උනාට ඉගෙන ගත්තට යූරෝ හම්බ කලාට..මම මගෙ රටට ආගමට ආදරෙයි.......
ඒ වගේම පුනරුප්පත්තිය ගැන මම විශ්වාස කරනව..අපේ අය කියනව මම පොඩි කාලෙ ඉහත ආත්මෙක දේවල් කතා කලා කියල..ඇත්තටම මට නම් ඒ කිව්ව කියන දේවල් දැන් මතක නැහැ..ඒත්..මට හොඳට මතකයි අම්ම..ආත්තම්ම නැන්දල සමහර වෙලාවල් වලට ඒ කාලෙ මට සැර කරනව...''..මොනාද මේ කියවන්නෙ? කවුද ඕව කියල දුන්නෙ? නෑ..නෑ එහෙම දේවල් උනේ නැහැ..එහෙම වෙන්නෙ නැහැ..ඔයා බොරු නේද කියන්නෙ? බලාගෙනයි ආයෙ කිව්වොත් හෙම තේරුනාද? එහෙම කවුරුවත් උන්නෙ නැහැ..ඔයා හීනෙන් දැකල ඕව කියන්නෙ...'' ඔන්න ඔය විදියට මට මතකයි එයාල මට සැර වැර දානවා......
හ්ම්ම් කෝම හරි එයාලගෙ සැර පාරවල් විතරක් මතක හිටල අනිත් දේවල් මට අමතක උනා.
හැබැයි හදිස්සියෙවත් මතක් කරනවට අපේ අම්ම ගොඩාක් අකමැති සිදුවීම් දෙකක් විතරක් යාන්තම් මගෙ හිතේ කොනක තාමත් හැංගිලා තියනව.හැමදාම හිතේ තියන් ඉන්නව නෙවේ.. ඒත් කවුරු හරි ඉහත ආත්මෙ හෝ පුනරුප්පත්තිය වගේ මාතෘකා ගැන කතා කරනව ඇහුනොත් මට මේව ටක් ගාල මතකෙට එනව..ඇවිත් මගෙ ඔලුවට වද දෙනව..
ඊයෙ ''පොඩිකුමාරිහාමිගෙ එහා ලෝකය'' පෝස්ට් එක දැක්කට පස්සෙ මට ආයෙමත් මේ සිද්ධි 2 මතක උනා..
සමාවෙන්න..මම කියන්න දන්නෙ නැහැ මේවා ඉහත ආත්මෙක උනාද..ඊටත් එහා ආත්මෙක උනාද..එහෙම නැත් නම් කවදාවත් උනේ නැතිමද කියල..ඒත් මේ ආත්මෙදි නම් මේ දේවල් සිදු උනේ නැහැ..ඒ වගේම මේ සිදුවීම් මට හීනෙන් පෙනුන ඒවා වෙන්න කොහෙත්ම ඉඩක් නැහැ..
මම මේක ලියන්නෙ මේ ගැන ඔයාලගෙ අදහස් මොනාද කියල දැනගන්න වගේම මගේ මේ මතකයන් (මට පිස්සුද මන්ද.)අමතක කරන්න පිලිවන්ද බලන්නයි...


හොඳයි..මේක තමා පළමු සිද්දිය:
අපේ අම්මගෙ ලොකුම අක්ක එක කාලෙකදි ජීවත් උනා මීගමුව කොච්චිකඩේ කියන නගරෙ ප්‍රධාන පාරෙ අයිනෙම ගෙදරක..තාම ඒ ගේ එතන තියනව..ඒත් ලොකු අම්මල ඉන්නෙ පිටරටක..ඉතින් මම මේ කියන දවස වෙනතුරුම මම දැනගෙන උන්නෙත් නැහැ කවුරුවත්ම මට කිව්වෙත් නැහැ ඒක අපේ ලොකුඅම්මලගෙ ගෙයක් කියල...මට එතකොට අවුරුදු 5 ක් කියල අම්මල කියන්නෙ...ඒ දවස අද වගේ මට මතකයි...
මේ දවසෙ අපි පවුලෙ අය කොච්චිකඩේ පහුකරල මීගමු පැත්තට යමින් උන්නෙ..ඉතින් ඔන්න මේ මම කියන ගේ පහුවෙනකොටම මම ඒ පැත්තට අත දික් කරල අම්මට පෙන්නුව ''..මේක ලොකු අම්මලගෙ ගේ..''  කියල...
අම්ම ගැස්සිලා වගේ ඇස්දෙක ලොකු කරන් මගෙන් ඇහුව..''..ලොකු අම්මලගෙ ගේ?..ඔයා කෝමද දන්නෙ..?මේ පාරෙ අපි වෙනදත් ගියා අපි කවුරුවත් ඔයාට එහෙම කිව්වෙ නෑනෙ..කියන්න කියන්න කෝමද ඔයා දන්නෙ..?''
මට එවෙලෙ හිතුනෙ අම්ම බොරු කියනව කියල...මම අම්ම එක්ක ඒ ගෙදරට ගියා මට හොඳටම මතක තිබුනා....
''...ඇයි අපි ආවෙ අර චූටි බබාව බලන්න..?''
අම්ම මගෙ දිහාවෙ බලන් උන්නෙ හොල්මනක් දැක්ක වගේ ඒ මූණ නම් දැනුත් මැවිල පේනව මට....
''..මොන චුටි බබෙක්ද? කවුද ඔයාට කිව්වෙ එහෙ බබෙක් නැතිඋනා කියල?..''
ඒ වෙලාවෙ නම් මට කේන්ති ආව..අම්ම මොනාද මේ කියන්නෙ....''..ඇයි අම්ම බොරු කියන්නෙ? අම්මනෙ මාව එහෙ එක්ක ගියෙ..මම ඇඳන් ගියෙ සුදුපාට වගේ ගවුමක් රතු සපත්තු දෙකක් දාල අම්ම මගෙ අතින් අල්ලන්නෙ ගියෙ..අපි ගෙට ඇතුල්වෙද්දිම ලොකුඅම්ම හයියෙන් කෑගහල ඇඬුව..චූටි බබා සාලෙ මැද්දෙ පෙට්ටියක උන්නෙ ඇස්දෙක පියාගෙන..නිල් පාට ලස්සන ගවුමක් ඇඳල.නිල්පාටම සපත්තු දෙකක් දාල උන්නෙ..ඒ පෙට්ටිය වටේට මල් එල්ලල තිබුන..''
මම කියාගෙන යද්දි අම්ම මගෙ කට වැහුව අතින් ''..ඇති ඇති...හා එහෙම තමා..මේ ලමයට නම් අනේ මන්ද මොන......''
''..ඇයි අම්මට මතක නැද්ද ලොකුඅම්ම අඬනකොට මම ඇහුවෙ ඇයි එයා අඬන්නෙ කියල..අම්ම කිව්වෙ බබාට සනීප නැහැ එයා නිදි ඒකයි ලොකු අම්ම අඬන්නෙ කියල..ඇයි අම්ම කිව්වෙ..හා නැද්ද? අම්ම එහෙම කිව්වෙ නැද්ද?..''


එදායින් පස්සෙ ආයෙ මට ඒ ගැන කතා කරන්න අම්මවත් තාත්ත වත් ඉඩ දුන්නෙ නැහැ..අම්ම මට බැන්න මම බොරු කියනව කියල..ඒ ගැන මතක් කරන්නවත් එයාල ඉඩ දුන්නෙ නැහැ..ඒත් මට කවදාවත් ඒ සිද්දිය අමතක උනෙත් නැහැ.......
පස්සෙ කාලෙක මම ටිකක් ලොකුයි එතකොට අවුරුදු 7ක් විතර..ඔය සිද්ධිය මම ආයෙමත් මතක් කලාම අම්ම මාව ලඟට අරන් ගොඩාක් ආදරෙන් මෙන්න මෙහෙම කිව්වා..


''...පුතේ..මේක හොඳට අහගන්න හරි?..ඒ ගෙදර ලොකු අම්මල උන්නෙ මීට ගොඩාක් කාලෙකට කලින්..මටවත් ඔය ගැන මතක නෑ ඒ තරම්..ඒ කාලෙ මම ඉස්කෝලෙ යන ලමයෙක්..මට වයස අවුරුදු 16..ඔයා ඉපදිලා නැහැ..ඔයාගෙ අයියල ඉපදිලත් නැහැ..ඔයාගෙ තාත්තව මම දන්නෙවත් දැකලවත් නැහැ ඒ කාලෙ..ඉතින් ආයෙම ඔය කතාව මතක තියන් කියන්න එපා..ඕක ඇත්තක් නෙවේ..ඔයාට කවුරුහරි කියපු දෙයක් ඇහිල..නැත්නම් ඔයා හීනයක් දැකල තේරුනාද ඔයාට??..''
''..හරි එතකොට ඒ බබාට අන්දවල තිබ්බෙ නිල්ගවුමක් නෙවේද?නිල්සපත්තු දෙකක් නෙවේද?ලොකුඅම්ම කෑගහල ඇඬුවෙ නැද්ද?අම්ම කිව්වෙ නැද්ද ඒ බබාට සනීප නැහැ එයා නිදි කියල?..''
''..ඔව්.ඔව්..හරි..එහෙම තමා..ඒත් පුතේ ඔයා මා එක්ක එදා යන්නෙ කෝමද ඔයා එතකොට ඉපදිලත් නැහැනෙ..මම ගියෙ අපේ අම්මල එක්ක..''
''..එතකොට එහෙනම් කෝමද මම අර සුදු සුදු පාට ගවුමක් ඇඳල රතු සපත්තු දෙකක් දාල අම්මගෙ අතේ එල්ලිලා එහෙ ගියෙ??..''
''..ආයෙ පටන් ගත්ත ආයෙ පටන් ගත්ත...!! ඇති ඇති දැන් නවත්වන්න ඕක...''


ඉතින් එදා ඉඳන් තාමත් ඒ ප්‍රශ්නෙට පිළිතුරක් හොයනව මම..තාමත් මේ දැනුත් මැවිල පේනව ඒ සිදුවීම..චූටිබබා ඇස්දෙක පියාගෙන පෙට්ටියක් ඇතුලෙ..ලොකු අම්මලගෙ ගෙදර සාලෙ මැද්දෙ..නිල්පාට ලස්සන ගවුමක් ඇඳල..නිල් සපත්තු දෙකක් දාල..පෙට්ටිය වටේට මල්..ලොකු අම්ම අඬනවා..මම අම්මගෙ දකුනු අතේ මගෙ අත් දෙකෙන්ම එල්ලිලා ඒ සාලෙට ඇතුල් උනේ..
ඒත් ඒ මම ඉපදෙන්නත් අවුරුදු 15 කට විතර කලින්ලු..


කෝමද එහෙම උනේ..?????




ප.ලි....ලියාගෙන ලියාගෙන ගිහින් මට මහන්සියි..අනිත් සිද්ධිය ඊගාව පෝස්ට් එකේ දාන්නම්..(ඒක නම් මම රකුසටත් කියල තියනව ඒ ඒ ස්ථානත් එක්කම.)

Friday 4 May 2012

සුභ වෙසක් මංගල්‍යයක් වේවා.....!



හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුල සැඟවී සැනහීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට
නෙළුමේ නුඹ අසුවන්න එපා.........!!.
(නීලා වික්‍රමසිංහ.)