My Blog List

Sunday 27 November 2011

නිල්මිනි අක්ක............!

(අළු පාට හැන්දෑව 11) 


එදා රාජ් ගෙ ගමන නතර උනත්....පහුවදා එයාගෙ අසනීපෙ ආයෙමත් හොඳටම වැඩි උනා..එයාට කතා කර ගන්නවත් බැරි තරමට අමාරු උනා..එදත් හොස්පිටල් එකේ ඉඳල ආපහු ගෙදර ඇවිත් එයා කිව්වෙ මෙහෙම.........


''.. නංගියා....මම ඊයෙ උදේ පාන්දර ෂවර් එක යට උන්න පැයක්,ඇල්වතුර ඔලුවට වැටෙන්න...ඒකයි මට අමාරු උනේ,මට ඕන උනේ මේ අසනීපෙන්ම මැරෙන්න...මේ ගෙදර මිනිස්සු දන්නවා නම් මාව එලවල දානව දැන්ම...''


මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා මට..හැමදාම වගේ මම බණ කිව්ව...!!
දරුවෙකුට අම්ම කෙනෙක් අවවාද කරද්දි වගේ එයා අහගෙන ඉන්නව...එයාට ආදරෙන් කරුණාවෙන් දේවල් කියල දෙන්න ඕනෙ.එයාගෙ හිත සනසන දේවල් කියනවට පුදුම කැමැත්තක් එයාගෙ තිබුනෙ...එයා ට නිතරම එයාගෙ තනියට ඉන්න මාව ඕනෙ උනා...
ඒ දවස් වල මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුනෙ නැහැ..හදිසියෙම රාජ් මට එදා කිව්ව ෆේස්බුක් එකට එන්න කියල..එයාගෙ කතාව අනුව එයාට ඕනෙ උනේ අනුත්තරාට පේන්න මා එක්ක රිලේෂන්ශිප් එක දාගන්න ඒකෙ..මම ඒකට කොහෙත්ම කැමති උනේ නැතිඋනත්, ඒක එයාට කෙලින්ම කිව්වෙ නැහැ..පස්සෙ ඒ බව එයාට දැනිලද කොහෙද ''..ඔව් එක අතකට ඒක මම මාවම රවට්ට ගන්නවා වගේ වැඩක් නෙ..''කියල....
පස්සෙ රාජ් කිව්ව එයා අනුත්තරාව ෆේස්බුක් එකෙන් බ්ලොක් කලා කියල..ඊට පස්සෙයි මම එයාගෙ කීමට ෆේස්බුක් එකට ගියෙ..


එයාගෙ එෆ්බී එකේ උන්නෙ යාලුවො 5 දෙනෙක් විතරයි..ඒකෙන් 4 දෙන් පිරිමි ලමයි..එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ..එක්කෙනෙක් ඉතාලියෙ..අනිත් දෙන්න ලංකාවෙ..ඔය අතර උන්න එකම ගැහැනු යාලුවා නමින් 'නිල්මිනි'..රාජ්ගෙ 'නිල්මිනි අක්ක' එයා ලේඩි ඩොක්ටර් කෙනෙක්...මෙයා මට කලින් කියල තිබුන විදියට නිල්මිනි කුරේරා මීගමුවෙ රජයේ රෝහලේ සේවයෙන් ඉවත් වෙලා මීගමුවෙම පුද්ගලික රෝහලක සේවය කලා..එෆ්බී එකේ නිල්මිනි දිසානායක නමින් උන්න නිසා,මම ඇහුවාම රාජ් කිව්වෙ එයාගෙ හස්බන්ඩ් දිසානායක,දැනට ඉන්නෙ එංගලන්තෙ කියල..නිල්මිනි අක්ක කියන්නෙ රාජ්ගෙ තාත්තගෙ පොඩිකාලෙ ඉඳන්ම තාමත් එකට ඉන්න හොඳම යාලුවගෙ ලොකු දුව..එයාට නංගි කෙනෙක් ඉන්නවා නමින් 'උපුලි'..ඒ දුවල දෙන්නත්,රාජ් එයාගෙ අයියත් 4 දෙනාම පොඩි කාලෙ ඉඳන්ම හැදුනෙ වැඩුනෙ සෙල්ලම් කලේ එකටලු..ඉස්සර රාජ්ල උන්නෙ නිල්මිනිලගෙ ගෙදරට අල්ලපු වත්තෙලු..නිල්මිනි අක්ක එයාගෙ නංගි උපුලිව රාජ් ට යෝජනා කරාම එයා කැමති උනේ නැහැලු..අනුත්තරා ගැන නිල්මිනිට කිව්වලු..


මේ ඩොක්ටර් නිල්මිනි රාජ්ගෙ ජීවිතේ ප්‍රබල කොටසක් වෙලා උන්න බව මට දැනුන එයා කිව්ව හැම වචනයක් වචනයක් පාසාම...එයාගෙන් රාජ්ට එක එක විදියෙ බලපෑම් තිබුන බවත් මට දැනුන...මම හිතුවෙ පොඩි කාලෙ ඉඳන්ම එකට හැදුන නිසාත්,මෙයාලට වැඩිමල් අක්ක කෙනෙක් නැති නිසාත් එයා එහෙම හැසිරෙනව ඇති කියල...........


රාජ්ලගෙ ෆැමිලි එකේ අය නිතරම වගේ නිල්මිනී අක්කලගෙ ගෙදර ගියා..එයා කිව්වෙ තාත්තල එකතු වෙලා පොඩි පාර්ටි ගන්නව කියල...විශේෂයෙන් රාත්‍රි කාලවල..රාජ් ඒ ගෙදරට ගියාමත් මා එක්ක කතා කලා ස්කයිප් එකෙන්..සමහර දින වල යම් යම් ගමන් බිමන් ගිහින් එන අතර තුරත් එයා කිව්ව නිල්මිනි අක්කලගෙ ගෙදරින් කෑම කාල ආවෙ කියල.....''ආ ඔයා උපුලිව බලන්න ගියාද?..'' කියල මම විහිලු කලාම,එයා කිව්වෙ උපුලි ඉන්නෙ නිල්මිනි අක්කලගෙ ගෙදර නෙවේ එයාලගෙ අම්මල ඉන්න මහ ගෙදර කියල............
ඒ අනුව මට එක දෙයක් තේරුම් ගන්න පුලුවන් උනා...නිල්මිනි අක්ක ගෙදරක තනියම ජීවත්වෙන ගෑනු කෙනෙක් විය යුතුයි..මොකද එයාගෙ සැමියා ඉන්නෙ පිටරට..!!
ඔය අතරම රාජ් මට ගැහැනු ලමයෙකුගෙ උඩුකයේ පොටෝ එකක් එව්ව..එයා තමා 'උපුලි' එදා මම ඇහුව 
''..ඇයි ඔයා මට මේක එව්වෙ?..'' කියල.. එයා කිව්වෙ.
''..ඕක මම අනුත්තරාට යැව්ව මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියල 
එහෙම කලේ අනුත්තරාව මගෙන් ඈත් කරන්නම බැරි නිසා..'' 
''..හරි ඉතින් දැන් මට එව්වෙ?..''  
''..නිකම් එව්වෙ,ඔයාට උපුලිව පෙන්වන්න ඕනෙ නිසා..''
ඒ පොටෝ එක දැකල කිසිම විශේෂයක් හිතුනෙ නැහැ මට...කොටින්ම අවංකවම කියනවා නම්,ඒ පොටෝ එක මගෙ එකක් අහලකින් වත් තියන්න පුලුවන් එකක් නෙවේ.....හැබැයි මම රාජ් ගෙන් එදා මෙහෙම දෙයක් ඇහුව..
''..ඉතින් දැන් අනුත්තරා නැති නිසා ඔයාට පුලුවන්නෙ උපුලිට කැමති වෙන්න?..''
''..අපෝ ඒක කරන්න බැහැ..අපි පොඩි කාලෙ ඉඳන් සහෝදරයො වගේ,කවදාවත් එහෙම අදහසක් මට ඇති වෙන්නෙ නැහැ..එයා මට මගෙම නංගි වගේ..ඒ නංගි දන්නෙවත් නැතුව ඇති අක්ක එයාව මට යෝජනා කලා කියල..''


රාජ් කිව්වෙ එයා ජීවිතේටම වැඩිම වේලාවක් කතා කරපු එකම ගැහැනු ලමය මමලු..අනුත්තරා එක්ක වත් මා එක්ක තරම් විවෘතව ගොඩාක් වේලාවක් කවදාවත් කතා කරල නැහැ කියල එයා කිව්වෙ......
මේ අතරම දවසක් එයා මට කිව්ව එයාගෙ ඇත්ත තාත්තව හොයා ගන්න ඕනෙ කියල...මටත් ඒ අදහස හිතට ඇවිත් ගොඩාක් දවස්,ඒත් මම එයාට කිව්වෙ නැහැ..මම එයාගෙන් ඒ ගැන ගොඩාක් ප්‍රශ්න ඇහුව ඒත් එයා කිව්වෙ  ඒ කිසිම දෙයක් හොයා ගන්න බැහැ කියල විතරයි...ඒක රහසක්ලු ආච්චි විතරක් එයාට පොඩි විස්තරයක් කිව්වලු..ආච්චි නම් දන්නවලු ඒත් දැන් කියන්නෙ නැතිලු...අම්මගෙන් අහන්න බැරිලු...ඇත්ත තාත්ත ගැන හොයන බව මේ ඉන්න තාත්ත දැනගත්තොත් එයාට අනිවාර්යයෙන්ම ගෙදරින් යන්න වෙනව කිව්ව..............


''..ඉතින් දැන් මොකද අපි කරන්නෙ? කෝමද ඔයාගෙ තාත්තව  හොයා ගන්නෙ?..''


''..අනේ මන්ද නංගි...මට මගෙ තාත්තව හොයා ගන්න ඕනෙ...මැරෙන්න දවසකට කලින් හරි මට මගෙ තාත්තව හොයා ගන්න ඕනෙ..''


Friday 25 November 2011

රුක් අත්තන මල් ...................!!





අද අපේ අම්ම ඇවිත්.....ඔන්න ඇහෙනව සිංහල සින්දුවක්..!


''......රුක් අත්තන මල මුදුනේ...බඹරු නටන සැන්දෑවේ....''


සින්දුවට කන් දීගෙන ඉන්නකොට ඉබේම හිතට ආවා ඈත කාලෙක එක්තරා මතකයක්..මතකයක් විතරක්ම උනත් මම ආශයි මොහොතකට හරි ඒ මතකයේ ජීවත් වෙන්න.....


ඉස්සර අපේ ගෙදර..ඒකට කවුරුත් කිව්වෙ 'මහ ගෙදර' කියල..මොකද තාත්තගෙ උපන් ගෙදර ඒක....ඔය මහ ගෙදර තුබුන සොල්දරයක් ඒ කියන්නෙ උඩ තට්ටුවක්..අපි පවුලෙ අය ජීවත් උනේ පහල..සොල්දරේ කවුරුත් නැහැ පාලුයි..සීයලාගෙ ආත්තම්මලාගෙ පරණ බඩු තිබුන ඒකෙ...අපි ඉස්සර හැංගි මුත්තන් සෙල්ලම් කරද්දි විතරක් සොල්දරේට යනව ඒකෙ හැංගෙන්න..පස්සෙ පස්සෙ ආත්තම්ම ඒකට යන්න අපිට තහනම් කලා,එයාගෙ කෞතුක වස්තු ටික කඩා බිඳ දමාවි කියල.....ඉතින්, ඉස්සර මට පුරුද්දක් තිබුන ගෙදර කවුරු එක්ක හරි ඔය පුංචි දේකට තරහ උනාම සොල්දරේට වෙලා හැංගිලා ඉන්න...මගේ ප්‍රියතම තැනක් තිබුන..ජනේලයක් ගාව මිටි පෙට්ටගමක් තිබුන ඒක උඩ ඉඳගෙන මම ජනේලෙන් ඈත වෙල්යාය දිහා බලාගෙන ඉන්නවා...කොක්කු..කිරල්ලු..පිළිහුඩුවො...දිහා බල බල මට දවසක් උනත් ඉන්න පුලුවන්...බොහෝ දුරට මම ඔතෙන්ට යන්නෙ හැන්දෑවට ඉස්කෝලෙ ඇරිල ආවට පස්සෙ...............


ඔය කාලෙ එක දවසක් මට දැනුන එතන ජනේලෙ ගාවට අමුතුම අමුතු සුවඳක් එනවා....මොන වගේද කියල හරියටම විස්තර කරන්න බැරි,මෙන්න මේක වගේ කියල උදාහරනයක් වත් දෙන්න බැරි,අමුතුම මිහිරි..ගැඹුරු..සුවඳක්..!..ඒ වගේම මොකක්දෝ අමුතු පාලු ගුප්ථ ගතියකුත් ඒ සුවඳෙ මට දැනුන........


ආත්තම්මගෙන් ඇහුවාම එයා කිව්ව..වෙල්යායෙන් එහා ඈත ගමක රුක් අත්තන ගස් වල මල් පිපිල කියල...ඒ සුවඳලු ඔය එන්නෙ...


ඊට පස්සෙ හැමදාම හැන්දෑවට මම පුරුද්දක් වශයෙන් සොල්දරේට යනව ජනේලෙ ගාව ඉඳන් රුක් අත්තන මල් සුවඳ විඳින්න....ඒක හරිම අමුතු සුවඳක්.....!! ඒත් ටික කාලෙකට පස්සෙ ඒ සුවඳ එන්නෙ නැති උනා...මල් වාරෙ අවසන් වෙලා වෙන්න ඇති............


ආයෙමත් කාලෙකට පස්සෙ ඒ සුවඳම සුපුරුදු විදියට දැනෙන්න ගත්තාම මට උවමනා උනා ඒ මල් පිපෙන ගස් මොනවද කියල බලා ගන්න..ඒක මට ඒ දවස් වල 'පොඩි පිස්සුවක්' වගේ තමා තිබුනෙ...දවසක් අපි කොහෙද ගිහින් එනකොට තාත්ත කනත්තක් ගාව නතර කරල මට පෙන්නුව ලොකු ගස් වගයක්...ඒවා තමා රුක් අත්තන ගස්..! සුදු පාට පුංචිම පුංචි මල් පොකුරු පොකුරු ඒ ගස් වල පිරීලා තිබුන මට අද වගේ මතකයි.......ඒත් අනේ අර මට වෙනද දැනෙන අර පාලු ගුප්ථ මිහිරි සුවඳ  ඒවලින් නම් දැනුනෙ නැහැ...ඇත්තටම ඒක වෙන්න බැරි දෙයක්නෙ....තාත්තගෙන් අහුවාම එයා කිව්වෙ මේ වගේ කතාවක්...........


''...රුක් අත්තන මල් වල සුවඳ දැනෙන්නෙ ලඟට නෙවේ දුරට....''


ආත්තම්ම කිව්ව්ව..රුක් අත්තන මල් පිපෙන්නෙ හැන්දෑවටලු...මිනී කනතු වගේ පාලුවට ගිය තැන් වල ලු ඒ ගස් වැඩිපුර හැදෙන්නෙ...පොළඟ කියන සර්පයා කෑවාම ඉස්සර කාලෙ මිනිස්සු සිහි මුර්ජාවෙල ඉන්න ලෙඩාව රුක් අත්තන ගහේ ලෑල්ලක් උඩ තියාගෙන ලු වෙදකම් කරන්නෙ...රුක් අත්තන ගහේ ලීයට සර්පයගෙ විස ඇද ගන්න පුලුවන්ද මොකක්ද කතාවක් කිව්ව වගේ මට මතකයි...................


අද මට නන්දා මාලනීගෙ ඒ ගීතය ඇහුනාම ආයෙමත් ඒ මල් සුවඳ මතක් උනා....


තාත්ත ඒ මල් ගැන එදා කිව්ව කතාව මතක් උනා....''...රුක් අත්තන මල් වල සුවඳ දැනෙන්නෙ ලඟට නෙවේ දුරට...''.....අද මට හිතෙන්නෙ මෙහෙම.....ආදරෙත්  ඒ වගේ......රුක් අත්තන මල් සුවඳ වගේ........ඔව්..හරියටම ඒ වගේ...!!!!

Tuesday 22 November 2011

සමාවෙන්න අනුත්තරා................

(අළු පාට හැන්දෑව 10)


ඒ මේල් එක දැක්ක ගමන්ම මට හිතුනෙ රාජ් කොහේ හෝ දුර පලාතකට ගිහින් ජීවිතේ නැති කර ගනීවි කියල... එයා උන්නෙ ඒ තරම්ම ජීවිතෙන් අන්තයටම වැටිල.....මට හොඳටම බය හිතුන..බයටත් වඩා දරාගන්න බැරි තරම් දුකක් දැනුන...කවදාවත් නොදැනුන මහා පාලුවක්,බය හිතෙන තනිකමක් වගේ දෙයක් දැනුන...දැන් ඉතින් කෝමද තවත් එයා ගැන දැන ගන්නෙ? එයාට මොකද උනේ?ආයෙ කවමදාවත් එයා මට හමුවෙන එකක් නැද්ද? කාගෙන් අහන්නද?කාට කියන්නද? මේවා හිතල මට පිස්සු හැදීගෙන එන්නතරම්...මම මහා හයියෙන් අඬන්න පටන් ගත්ත....ගෙදර අනෙක් අයට ඇහෙයි කියල මගෙ කාමරේ ටී.වී එක සද්දෙන් දාල,එදා හිම වැස්සට යට වෙලා තිබ්බ් බැල්කනියට වෙලා සීතලෙන් වෙව්ල වෙව්ල මම ඇඬුව.........


මේ ලියන මොහොතෙත් මගෙ ඇස්වලින් කඳුලු ගලාගෙන යනව.......ඒත් ඒ රාජ් ගැනවත්..අතීතයක් ගැන වත් හිතිල නෙවේ කොහෙත්ම...අපේ අම්මගෙත් තාත්තගෙත් අනිත්  පවුල් වල ඉපදිලා ඉන්න දරුවො අතරින් 'බුද්ධිමත්ම කෙල්ල' විදියට නමක් අරන් ඉන්න මම... මගේ ආත්මය,තත්වය,කවදාවත් මුණ නොගැහුන ඒ වගේ පුද්ගලයෙක්, වෙනුවෙන් ඒ තරම් හෑල්ලුවට පත් කර ගත්ත දුකටයි..වේදනාවටයි මේ කඳුලු.......


මම හිතුවටත් වඩා ඉක්මනින් මගෙ හිත රාජ් ට බැඳිල කියල මට  වැටහුනේ එදා...මටත් නොදැනිම ඒක හරියටම මායාවකට හසු උනා වගේ.................................


ඉතින්....එයාට මෝටර් බයික් එකක් තිබුන ඒකෙ පොටෝ එකකුත් මට එවලයි තිබුනෙ...එයා හැම තැනම යන්නෙ ඒකෙන්...මට ඕන කලේ එයාගෙ මේ ගමන කෝම හරි නතර කරන්න...ඉතින් මම එයාට කෝල් කලා..එයාගෙ පෝන් දෙකම වහල දාල...මම ඊටපස්සෙ කලේ කෙටි පණිවිඩ යවන්න පටන් ගත්ත එක නොනවත්වාම....විටින් විට නොනවත්වාම කෝල් කලා....ඔය විදියට පාන්දර  වෙනතුරුත් නිදි නැතුව මම එයා ගෙන් පිලිතුරක් බලන් උන්න.... ලංකාවෙ වෙලාවෙන් පාන්දර 0630 ට විතර එයා ඔන්ලයින් ආවා...යන්න ලෑස්තිවෙලා පෝන් එක බලද්දි මගෙ පණිවිඩ නොනවත්වාම ආවලු ඒ නිසා කොම්පියුටර් එකට ආව කිව්ව.............කොහෙද යන්නෙ ඇයි මොකද උනේ හේතුව ඇහුවාම එයා කිව්වෙ මෙහෙම.....
''.....නංගි මට තවත් ඉඳල වැඩක් නැහැ....අනුත්තරා ඊයෙ මා එක්ක චැට් කරද්දි මට තේරුනා එයා වෙනද වගේ නෙවේ කියල මට තේරුනා එයා තවත් කෙනෙක් එක්ක චැට් කරනව කියල..මම ඒක ඇහුවාම එයා කිව්වෙ..එහෙම එකක් නැහැ කියල..එයාගෙ ඊමේල් එකේ පාස් වර්ඩ් එක මා ගාව තියනව..ඉතින් මම පස්සෙ ඒකට ගිහින් බැලුව...එයා එයාගෙ අම්මල එයාට කතා කරපු බෝයි එක්ක කතා කර කර ඉඳල තියෙන්නෙ...ඒ දෙන්න කතා කරපු ඔක්කෝම මම කියෙව්ව....එයාල දෙන්න  ෆේස්බුක් එකෙත් රිලේෂන්ශිප් දාගෙන ඉන්නෙ...''


''....ඉතින් අයියෙ..ඔයා දන්නව නේද එයා ඒ බෝයිව මැරි කරන්න යන්නෙ කියල? ඔයා මටත් කිව්වෙ? ඇයි ඉතින් ඔයා ඒව ගැන හොයන්න යන්නෙ? අනුන්ගෙ පුද්ගලික දේවල් කියවන්න ගියෙ ඇයි ඔයා?..එයා ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේනෙ..'' 


''....ඔව් නංගි ඒක හරි,මම දන්නව..මම දන්නව එයා කවද හරි ඒ දේ කරන බව...ඒත් මම හිතුවෙ නැහැ මේ තරම් ඉක්මනට එයා එහෙම කරාවි කියල නංගියො.. මම යනවා යන්න..මම කොහේ හරි යනව ඈතකට...''
මට එවෙලෙ දැනුනෙ නම් කේන්තියක් වගේම මහා අප්‍රසන්න හැඟීමක්...ඒත් ඒ වෙලාවෙ මට උවමනා කලේ එයාගෙ ගමන නතර කරවන්න කෝම හරි....ඒ ගැන මේකෙ ලියන්න මට හිත දෙන්නෙම නැහැ...දැන් ඒ දවස ගැන මතක් වෙද්දි දැනෙන්නෙ මහා අපුලක්..!!
මම අඬපු තරමක්..! වැඳපු වැඳිල්ලක්..! හිඟන්නියෙක් වගේ ආයාචනා කරපු තරමක්..! ඒ වගේම අනුත්තරාට බැනපු තරමක්..!(සමාවෙන්න අනුත්තරා).........


කෝම හරි නොවඳිනා වැදුම් වැඳල ඒ ගමන යන්න නොදී මම එයාව නතර කර ගත්ත.......


ඇත්තටම එයා එහෙම ගමනක් යන්න ප්ලෑන් කලාද?..නැත්නම් ඒකත් මාව අල්ලා ගැනීමේ තවත් දක්ෂ ප්ලෑන් එකක්ද?


දයාබර අනුත්තරා අක්කි......!




මගේ මේ කතාව ඔයා මුල ඉඳන්ම කියවන බව මම දන්නව.....මේක ලියන්න පටන් ගන්නත් කලින් ඉඳන්ම අපි දෙන්නට දෙන්න අපේ හිත් වල තිබ්බ ඔක්කොම ගැටලු නිරාකරනය කර ගත්ත.....හිතින් ගොඩාක් නොමග ගිහින් උන්න මමයි ඔයාට වැරදි කලේ....මම ඒවට ඔයාගෙන් සමාව ගත්ත...මේ කතාව ලියන අතර තුරෙත් ඔයාගෙ හිත රිදෙන දේවල් මගෙ අතින් ලියවෙනව වෙන්න පුලුවනි...මම දන්නව ඔයා මේ මෝඩ නංග එක්ක තරහ වෙන්නෙ නැහැ කියල...සමාවෙන්න මට...!! 

Friday 18 November 2011

පුංචි මල්ලියෝ...ඔයාට නිවන් සුව..!

එදා සෙනසුරාදා දවසක්..................


( අළු පාට හැන්දෑව 9.)


''..නංගි මම අද හවස ගමනක් ගිහින් එන්නම්..''


''..ඔයා කොහෙද යන්නෙ..?


''..මම යනවා මල්ලියව බලන්න මිනි පිට්ටනියට...ගොඩාක් දවසකින් එයාව බලන්න යන්න බැරි උනා ගිහින් ටිකක් කතා කරල එන්නම් එයත් එක්ක...''


''..කනත්ත තියෙන්නෙ ගොඩාක් දුරද..?


''මෙතන ඉඳන් කිලෝ මීටර් 15 ක් විතර නංගි...මම ඉක්මනින් එන්නම්..''


කිලෝ මීටර් පහලොවක්..?මම තනියම හිතුවා..වෙන්න ඇති මල්ලි නැති වෙන්න කලින් එයාල උන්නෙ වෙන ගෙදරක කිව්වනෙ..හ්ම්ම්....


''..ඔයා හවස ඔන්ලයින් ඉන්නවනෙ නේද?
''..ඔව් අයියෙ, මම ඉන්නම්,ඔයා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකො..''


එයා හවස ආපසු ආවාම මම ගමනෙ විස්තර ඇහුවා...


''..ඔව් මම ගියා.. මල්ලියා එක්ක කතා කලා..මම ඔයා ගැනත් කිව්ව එයාට..අපේ ගෙදර අයට නම් දැන් මල්ලියව අමතකම වෙලා..කනත්ත මුර කරන්න ඉන්න අන්කල් කිව්ව..වැඩිපුරම ඒ කනත්තට එන කෙනා මම ලු..ඒකෙ තියන වැඩිම ලස්සන සොහොන් කොතත් මගෙ මල්ලියගෙලු..අනේ දැන් හිටිය නම් ලොකු කොල්ලෙක්,එහෙනම් මම තනි වෙන්නෙත් නැහැ මෙහෙම...''  


එයා දිගටම කියව ගෙන ගියෙ දරාගන්න බැරි තරම් දුකකින්....එයාගෙ හිත සනසන්න මම නොකියපු දෙයක් නැහැ...එයා ඒ මැරුන මල්ලි වෙනුවෙන් පුදුම දුකක් වින්ද..


''..එයා දැන් හොඳ ලෝකෙක හොඳ තැනක ඉපදිලා ඇති අයියෙ,ඔයා තවත් දුක් වෙන්න එපා..ඔයාගෙ ජීවිතේ ලස්සන ට ගෙනියන්න හිතන්න..එතකොට ඒ මල්ලිත් ඔයා දිහා බලාගෙන සතුටු වේවි ඉන්න තැනක ඉඳන්..''.....
මම දන්නව මේ වචන වලින් කෙනෙකුගෙ ඒ වගේ නැතිවීමක දුක වේදනාව නැති කරන්න බැහැ කියල ඒත් මට ඒ වෙනුවෙන් වෙන කරන්න දේකුත් නැහැනෙ......ඒ ගැන හිතල මාත් ගොඩාක් දුක් උනා...එයාට උන්න එකම හිතවතාත් එයාට නැති වෙලා සදහටම...


''..ඔයා දන්නවද නංගිය...මල්ලි නිදාගත්තෙ මා එක්ක එකම ඇඳේ..අපි දෙන්න දෙපැත්තෙ..එයා නිදපු කොට්ටෙ මේ තාමත් එතනම තියනව..මම ඒක එතනින් අහක් කරන්න දෙන්නෙ නැහැ කාටවත්...''


හ්ම්...ගෙවල් මාරු කලාට පස්සෙවත් මෙයා දෙන්න නිදාගත්ත ඇඳයි කොට්ටයි වෙනස් කරල නැහැ...දැන් මල්ලි මැරිල අවුරුදු 11 ක්..! පුදුම ආදරේකින් ඉඳල තියෙන්නෙ මල්ලිට...අවුරුදු 11 කට පස්සෙත් ඒ මල්ලිව අමතක කරන්න බැරුව දුක් විඳිනව මේ අසරනය..පව් දෙවියනේ..මගෙ පපුව කඩා වැටෙන්න තරම් දුකක් දැනුන....මේ වගේ සහෝදරයෙක්..මේ වගේ හිත හොඳ කොල්ලෙක්,හොඳ දයාබර හිතක් හිමි මනුස්සයෙක් මෙහෙම හමු උන එකත් මගෙත් වාසනාවක් වෙන්න ඇති කියල මට හිතුන...........


''...නංගියා...මම ඔයාට බලන්න එවන්නද මල්ලිගෙ පොටෝ එකක්?..


''...හා..හා...එවන්න..'' 


 මට ඒක බලන්න ඉවසුමක් නැති උනා.....එයා එවෙලෙම එව්ව මට,මුහුදු වෙරළක හිටගෙන ඉන්න අවුරුදු 4 ක විතර පිරිමි ලමයෙකුගෙ පොටෝ එකක්,ඒ පොඩි ලමයා ඇඟ වටේ තුවායක් ඔතාගෙන උන්නෙ........ඒ පොටෝ එකේ රාජ් ලියල තිබ්බ ''මගේ පන'' කියල...ඒ පොටෝ එකේ උන්න ලමයගෙ මූන රාජ්ගෙ මූනමයි..රාජ් පුංචි කාලෙ වගේ මට පෙනුනෙ.....මේවා අහල දැකල මට ගොඩාක් දුක හිතුන රාජ් ගැන.....එදා එයා කිව්ව මෙහෙමත්.......


''....නංගි..ඔයාව මට හොයල දුන්නෙ මගෙ මල්ලියා...එයයි ඔයාව මා ගාවට එව්වෙ....එයා දන්නව දැන් මට මගෙයි කියල කිසිම කෙනෙක් නෑ කියල....ඉස්කෝලෙ මගෙ උන්න එකම හොඳම යාලුවත් මගෙ ජීවිත කතාව ඇහුවට පස්සෙ මාව දාල ගියෙ පැදුරටත් නොකියා..එයා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ..ඒත් මා එක්ක එක වචනයක් කතා කරන්නෙ නැහැ...ඊට පස්සෙ මම කිසිම යාලුවෙක් ට ලන් උනේ නැහැ...මාව  හැමෝම දාල යනව නංගියො..ඔයත් මාව දාල යාවි..එහෙම නේද?..ඔයත් මාව දාල යනව නේද?...''


''...නැහැ..නැහැ....මම ඔයාව දාල යන්නෙ නැහැ..කවදාවත් නැහැ...''


මම එකපාරටම එහෙම කිව්ව... ඒක එහෙම කිව්වෙ ඉබේම කටට ආවට නම් නෙවේ....මම ඒක එහෙම අදහස් කලා..ඇත්තටම ඒ වෙද්දි මට එයාව දාල යන්න බැරි තත්වයක් තිබුනෙ...ඒ වගේ ජීවිතේ අන්තයටම ඇද වැටිල ඉන්න කෙනෙක්ව දැන දැනම දාල ගියොත් මට මහා ගෙවා ගන්න බැරි තරම් පවක් වේවි කියලයි මට හිතුනෙ...........


ඔය අතරම දවසක් මට රාජ් කිව්ව අනුත්තරාට ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනත් එයා ඒකට කැමති උන බවත්..දැන්  ඒ දෙන්නගෙ කේන්දර බලන්න යන වගකුත්...පස්සෙ එයා කිව්ව අනුත්තරා විවාහ වෙන්න තීරනය කලා ලු කියල....මම එයාට නිතරම කිව්වෙ අතීතය ගැන හිතන්නෙ නැතුව එදිරිය බලන්න කියල...


''නැහැ නංගි මම මගෙ අතීතය සම්පූර්නයෙන් අමතක කරනවා..මම දැන් එයා ගැන හිතන්නෙ නැහැ..'' කියල එයා ඒ හැම වෙලේම කිව්ව....


ඒ දවස් වල අපේ වෙලාවෙ වෙනස පැය 3ක් මිනිත්තු 30 ක්...අපේ වෙලාවෙන් හවස 0430 ට එයාට රෑ 0800 වෙන්නෙ...එයා රෑ කෑමට යන්නෙ හරියටම 0800 ට...මම එයා කාල එනකම් ඉන්නව..ඊට පස්සෙ එයා ආවාම එයා කෑවෙ බිව්වෙ මොනාද විස්තර අහලා තමා මම අපේ  ගෙදර රෑ කෑම හදන්න යන්නෙ....ඊට පස්සෙ මම කෑම කාල එනකම් එයත් ඉන්නව...මම එද්දි හැමදාම රෑ 0900 වෙනව...ඒ කියන්නෙ එයාට 1230.....ඊට පස්සෙත් අපි දෙන්න ගොඩාක් වෙලා කතා කර කර ඉන්නව ස්කයිප් නැත් නම් ගූග්ල් එකෙන්.........ගොඩාක් දවස් වල එයා පාන්දර වෙනකම්ම උන්න..........
එදත් සුපුරුදු විදියට මම රෑට කෑම කාල එද්දි රෑ 0900 විතර උනා.....රාජ් ඔන්ලයින් උන්නෙ නැහැ...ඒ වෙනුවට එයාගෙන් මේල් එකක් තිබුන.....


''......නංගියො මට සමාවෙන්න...මේ විදියට ඔයාට නොකියම යන්න ගියාට...මේ විදියට ජීවත් වෙන්න බැහැ මට තවත්...මගෙ ජීවිතෙන් මට පලක් නැහැ තවත්...මාව හොයන්න එපා,හෙට උදෙන්ම මම මෙහෙන් යනවා යන්න මාව කාටවත් හොයන්න බැරි තැනකට...මම ආයෙ කවදාවත් අපහු එන්නෙ නැහැ....ඔයා පරිස්සමින් ඉන්න නංගියො...ඔයාට බුදුසරනයි...''

Sunday 13 November 2011

අනුත්තරාගෙන් සමු ගන්න ගිහින්..........

( අළු පාට හැන්දෑව 8.)




''අයියෙ..ඇත්තටම ඔයාගෙ හාර්ට් එකේ තියන ඔය අසනීපෙ මොකක්ද?''  මම දවසක් ඇහුව රාජ් ගෙන්,


''මේකයි නංගි...මගෙ හාර්ට් එක වටේට සෙම තට්ටුවක් බැඳෙනව..ඒක වැඩි උනාම මට ගොඩාක් අමාරු වෙනව..හුස්ම ගන්න බැරි වෙනව..ඔයා දන්නවනෙ හුස්ම හිර උනාම මොකද වෙන්නෙ කියල..සමහර වෙලාවට නින්දෙන් මගෙ හුස්ම හිරවෙනව..''


''ඔයාට ගොඩාක් කල් ඉඳන් ඔය අසනීපෙ තිබුනද..?''


''නැහැ..නැහැ..දැනට අවුරුදු දෙක තුනකට කලින් ආපු එකක් මේක..මම දෙපාරක් මැරෙන්න ගියා..මගෙ මල්ලිය ගාවටම ගිහින් මම ආපහු ආව නංගි..''


''එතකොට අර දෙසැම්බර් මාසෙ කරපු ඔපරේශන් එකෙන් හොඳ උනේ නැද්ද...?''


''මෙහෙමයි නංගි...කලින් බෙහෙත් ගත්ත ගත්ත හොඳක් නැහැ..පස්සෙ ඩොක්ටර්ස්ල නහයෙන් බටයක් වගේ එකක් දාල ඒ සෙම එලියට ගන්න ට්‍රයි කලා...ඒත් ඒක හරි ගියෙ නැහැ..පස්සෙ තමා ඔපරේශන් එක කලේ..''


''ඉතින් ඒත් ඔයා ආයෙම ලෙඩ වෙනවනෙ ඇයි ඒ..?''


''මට ඇල්වතුර අල්ලන්නවත් එපා කිව්ව..සෙම තියන කෑම කන්න එපා කිව්ව..යාන්තම් වත් වැස්සකට තෙමුනත් මේ ලෙඩේ වැඩිවෙනවා..''


''එතකොට ඕක සම්පූර්ණයෙන්ම සුව වෙන්නෙ නැද්ද? ඒක ලංකාවෙ ඩොක්ටර්ස්ලට කරන්න බැරිද.?''


''හ්ම්ම්ම්...මේක මගෙ කරුමෙ නංගියො...සමහර විට කාලයක් බලන් ඉන්න වේවි...සමහර විට සදහටම මම ලෙඩෙක් විදියට ජීවත් වේවි..''


''මොනාද ඔයා මේ කියන්නෙ?..ඕනම ලෙඩකට බෙහෙත් තියනවනෙ..ඕක සනීප කරන්න බැරි ලෙඩක් නෙවේනෙ..හරි මට එවන්න බලන්න ඔයාගෙ මෙඩිකල් රිපෝර්ට්ස් වල කොපි ..මම මෙහෙ ප්‍රොෆෙසර් කෙනෙක්ට පෙන්වල අහන්නම් මොනාද කරන්න ඕනෙ කියල..මම ඔයාට එවන්නම් ඔක්කොම බෙහෙත් මෙහෙන්..''


''හරි...අපි තව ටිකක් බලමුකො..දැන් මට සනීපයිනෙ..''


එයාගෙ අසනීපෙ මොකක්ද කියල හරියටම දැනගන්න මම ගොඩාක් මහන්සි උනා...ඒත් ඒක මට හොයා ගන්න බැරි උනා..ආයෙම  ආයෙම මෙඩිකල් රිපෝර්ට්ස් ඉල්ලල කරදර කලත් එයා මොකක් හරි කියල මග  හැරිය.. මම හිතුවෙ එයාට තියෙන්නෙ එයා මට කියනවට වඩා දරුනු අසනීපයක් කියල...මම ඒ ගැන ගොඩාක් හිතුව..හිතින් වද වින්ද...........


දවසක් එයා ලොකු කලබලේකින් මගෙන් උදව්වක් ඉල්ලුව.....


''නංගි මට ලොකු උදව්වක් කරන්න..


''මොකක්ද කියන්න..''


''මට අනුත්තරාව මගෙ ජීවිතෙන් අහකට යවන්න විදියක් කියන්න..ඔයාල ගෑනුළමයි දන්නවනෙ ඔයාලගෙ හිත්,මට කියන්න මම මොකක්ද කරන්න ඕනෙ කියල..?''


''ඒක පුදුම කතාවක්නෙ..එයාට බෝයි කෙනෙක් ඉන්නව නේද? ඉතින් ඔයා කියන්නකො එයාට ඔයාගෙ  පාඩුවෙ ඉන්න දෙන්න කියල..?''


''මම කිව්ව නංගි..එයා අහන්නෙ නැහැ..මට ගර්ල් කෙනෙක් හම්බ වෙනකම්ම එයා මා එක්ක ඉන්නවලු..''


''එහෙනම් ඔයා කියන්න ඔයාට දැන් ගර්ල් කෙනෙක් ඉන්නව කියල..''


''එහෙම කියල හරි යන්නෙ  නැහැ නංගි එයා විස්වාශ කරන්නෙ නැහැ..''


''ඒක හරි වැඩක්නෙ..හරි දැන් ඔයා මොකක්ද කරන්නෙ ඒ බෝයි කෙනෙක් ඉන්න කෙල්ලෙක් එක්ක..?''


''මට කාත් කවුරුත් නෑ නංගියො...මට උන්නෙ එයා විතරයි..මගෙ හැම දෙයක්ම කිව්වෙ එයාට..එයා මට ආදරෙයි කිව්ව..එයාගෙ බෝයි මුස්ලිම් කෙනෙක් නිසා එයාල කවදාවත් එක්වෙන්නෙ නැහැ කිව්ව..''


''ඒ කියන්නෙ, එයා කිව්වද කවදා හරි ඔයා ගාවට එනව කියල අරයගෙන් වෙන් උනාම..?''


''නෑ..නෑ..එයා කියන්නෙ මම එයාගෙ හොඳම යාලුව විතරලු..''


''මේක අහන්න අයියෙ..එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නව..එයා ඔයාට කරන්නෙ අනුකම්පාවක්,ඒ ඔයාගෙ ජීවිත කතාව අහපු නිසා..ඔයා ඒක වරදවල තේරුම් අරන් ආදරේ කියල..ඔයා ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දීල පැත්තකට වෙන්න..ඔයා හිතන විදිය වෙනස් කරන්න..ජීවිතේ ගැන අලුත් විදියකට හිතන්න..ඔයාගෙ ස්ටඩි වලට වැඩි වේලාවක් ගන්න..පාඩම් කරන්න..අවුල්කර ගන්න එපා ඔක්කොම..''


''ඔව් නංගි එයාත් මට කියන්නෙ ඔහොමයි වෙනස් විදියකට හිතන්න පුරුදු වෙන්න කියල..ඒත් එයාව මට ලැබෙනවානම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා මම නංගි..''


මට මේ කතාව අහල පුදුමත් හිතුන..මෙයා කලින් කතා කලේ,  අනුත්තරාගෙන් ඈත්වෙන්න..අනුත්තරාව මෙයාගෙන් ඈත් කරන්නෙ කෝමද අහල...දැන් කියනව මේ විදියට....මම එයාට හැමදාම කිව්ව අනුත්තරා ගැන හිතන්නෙ නැතුව ඉගෙනීමේ වැඩ වල යෙදෙන්න කියල..හැමදාම කියවල කියවල මට ඒ කියවිල්ල එපාවෙලත් තිබුන.....ඔය අතර දවසක එයා මට කිව්ව.....


''නංගි..මේ ඉරිද මම යනව අනුත්තරාවයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්වයි හමුවෙලා එයාලගෙන් සදහටම සමු අරන් එන්න..මම කියනව මගෙන් ආයෙ කවදාවත් එයාලට කරදරයක් වෙන්නෙ නැහැ කියල...''


මම ගොඩාක් සතුටු උනා එයා ඒ කිව්ව දේට..ඊට පස්සෙවත් එයා හිත හදාගෙන සතුටින් ඉඳීවි කියල මට හිතුන....එයා එදා කොළඹ ගියා ඒ දෙන්නව හමු වෙන්න..හවස ගෙදර ඇවිත් මා එක්ක විස්තරේ කිව්ව....එදා දහවල් කෑමට මෙයා ඒ දෙන්නව එක්ක ගියා කිව්ව..එයාල දෙන්න පුදුම ආදරේකින් ඉන්න බවත් මෙයා මට කිව්ව.'' ඒ දෙන්න පුදුම ආදරේකින් ඉන්නෙ..මට එතෙන්ට කිට්ටු වෙන්න වත් බැරි තරම්..'' .....එයා කිව්වෙ මෙහෙම......


''ඔන්න අපි එක තැනකදි පාර මාරුවෙන්න ගියා..මම ඒ බෝයි එක්ක ඉස්සර වෙලා ගියෙ අනුත්තරා පිටිපස්සෙන් ආවෙ..එක පාරම අපි දෙන්න පාර පැන්නා..අනුත්තරාට පැනගන්න බැරි උනා..ඒ බෝයි ආපහු දුවන් ගිහින් අනුත්තරාගෙ අතින් අල්ලන් එක්ක ආවා..''


කෝම වෙතත් රාජ් එදා නම් උන්නෙ අමුතු සතුටකින්....හේතුව එදා අර දෙන්න මෙයාට තෑග්ගක් දීල තිබුන....ඒ නිල්පාට අශ්වයෙක්..! එයා ඒක ගැන මහා සතුටකින් කතා කලේ..''මේක මාර ලස්සනයි ඉන්න මම ඔයාට මේකෙ පොටෝ එකක් අරන් එවන්නම්'' කියල ඒ වෙලාවෙම එයා මට ඒ අශ්වයගෙ පොටෝ එකක් අරන් එව්ව.....ඒක එවලත් එයා මගෙන් ආයෙම ආයෙම ඇහුව කෝමද ඕක ලස්සනයි නේද කියල....මට  නම් ඒක විහිලුවක් උනා එදා.............


''ඔව් ඔව් ලස්සනයි...ඒත් ඔයා දන්නවද මේ අශ්වය තෑගි දෙන්න හේතුව මොකක්ද කියල? ඔයා අද ඉඳන් එයාලගෙන් ඈත් වෙලා, සදහටම සමු ගන්න කියලනෙ ගියෙ?...ඉතින් දැන් බලන්න ඒ දෙන්න අශ්වයෙක් තෑගි දුන්නෙ,ඔයාට ඒකගෙ පිටේ නැගලා පුලුවන් තරම් වේගෙන් ඉක්මනින් ඈතට යන්න කියන්නයි..''


මොන හේතුවක් නිසාද මන්ද මේ සිද්දිය මතක් වෙද්දි මට තාමත් හිනා යනවා.....!!!!


ඒත් මේ මෑත කාලෙකදි මට අනුත්තරාගෙන් දැනගන්න ලැබුනෙ,.........රාජ් එදා එයාලව හමුවෙන්න ගිහින්, එයා ඕස්ට්‍රේලියාවට යන බව කියල අනුත්තරායි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලඟයි හඬා වැටුනලු....!!!!!

Thursday 10 November 2011

රාජ් ආයෙමත් රෝහලේ.....................

( අළු පාට හැන්දෑව 7)




මේ අහිංසකයගෙ ජීවිතේ ගැන එයා ජීවත් උන අවාසනාවන්ත විදිය ගැන මම උන්නෙ දරාගන්න බැරි තරම් දුකකින්..එයාගෙම පවුලෙ අය එක්ක එකම වහලයට ඒ මිනිස්සුන්ගෙන්ම හිංසා විඳිමින්..යාලුවෙක් නෑයෙක්..කිසි කෙනෙක් නැතුව එයා ජීවත් වෙන විදිය මට නම් හිතා ගන්න වත් බැරි උනා..එයා කිව්වෙ එයා ඔෆිස් එකේදි උනත් කතා කරන්නෙ වෙන අය එක්ක අවශ්‍ය දේකට විතරමයි, අනෙක් අය එයා එක්ක කතාවට වැඩි කැමැත්තක් නැහැ කියල...එයා ආදරේ කරපු,එයාට ආදරෙයි කිව්ව කෙනත් එයාට පිටුපාල..''ආදරෙයි කිව්වෙ විහිලුවට'' කිව්වලු....ඉතින් මේ අහිංසකය මොන තරම් තනි වෙලාද මොන තරම් වේදනාවක් විඳිනවා ඇත්ද??


එයා අනාතයෙක්...ආදරෙන් පැරදුන කෙනෙක්....දරුනු හෘදයාබාධයකින් පෙලෙන,මරණය පෙනි පෙනී ජීවත් වෙන අහිංසකයෙක්......මට හිතාගන්න බැරි උනා මම කෝමද මේ අහිංසකයට පිහිට වෙන්නෙ කියල......


මට යාලුවො උන්නෙ නැහැ...පුංචි කාලෙම ලංකාවෙන් ආවට පස්සෙ,මම අමුතු ලෝකෙක අමුතු මිනිස්සු කොටසක් මැද්දෙ තනි උනා වගේ..
මෙහෙ පාසැල් යාලුවන්ට මම කැමතිම උනේ නැහැ..එයාල මා එක්ක ගොඩාක් මිතුරු උනා..නොදන්න භාශාවලින් ඉගෙන ගන්න මට ගොඩාක් අමාරු උන හැම අවස්ථාවකදිම එයාල මට ගොඩාක් උදව් කලා...ඒත් මට බැරි උනා යාලුවො වශයෙන් එයාලට ලංවෙන්න...මම ඒකට කැමති උනේ නැහැ...එයාලගෙ සමාජය වෙනස්..ගති පැවතුම් වෙනස්..මම කැමති නැහැ ඒවා ගැන ගොඩාක් කියන්න.....කොටින්ම මම මගෙ ලඟ යාලුවො විදියට එයාලට ලංවෙල ඉන්න කැමති උනේ නැහැ...මම තනිවෙලා ඉන්න මහන්සි ගත්ත..උසස් විදුහලේදි මේ තත්වය වඩාත් දරුණු උනා...ඒ යාලුවන්ගෙ සමාජය මට අපුලම උනා....වසර 10 ක් ගතවෙලත් මට බැරි උනා ඒ සමාජයට ඇතුල් වෙන්න..මේ නිසා මම නිතරම තනියෙන්ම ඉන්න පුරුදු උනා...ගෙයින් පිට ගියා නම් ඒ මගෙ අයියල එක්ක අම්ම එක්ක...ලංකාවෙන් ආපු තව අපි දන්න හඳුනන පවුල් හිටියත්, ඒ පවුල් වල සමහර අය නිසා අපේ ගෙදර අය මාව එයාලගෙන් ඈත් කරල තිබ්බා....


මේ වෙද්දි මම මගේ පලමු රැකියාවට ගිහින් යන්තම් මාස දෙකක් උනා විතරයි..මගේ රැකියා ස්ථානයේ වෙනත් රටවල් වලින් පැමිණුන තවත් අය උන්න..මගෙ ලඟම හිතවතිය උනේ 'මැගී'එයා ජර්මන් ජාතික ගැහැනු ලමයෙක්.. ඇමරිකාවෙ ලාස්වේගාස් නගරයෙන් ඇවිත් උන්න 'නේතන්' කියන දුඹුරුපාට පිරිමි ලමය මා එක්ක අනිත් අයට වඩා හිතවත් උනා....මැගිත්,නේතනුත්,මගෙ හිතවතුන් උනාට එයාලට තව ගොඩාක් යාලුවො උන්න..ඒ එයාලගෙ යාලු සමාජයට එක්වෙන්න මම කැමති උනේ නැහැ...


ඉතින් මේ අතර මට හමු උන ලංකාවෙ මගෙ ඉන්ටර්නට් යාලුව 'රාජ්' ට මම ඉක්මනින් ලංවෙමින් උන්න.. මම මගෙ කාලය වැඩිපුර වෙන් කලා එයා එක්ක කථා කරන්න..එයාගෙ දුක සැප හොයන්න...එයාගෙ දුක හිතෙන කථා අහල එයාගෙ හිත සනසන්න....


මේ අතර දවසක ආයෙමත් රාජ් ගෙ හෘදයාබාධය උත්සන්න වෙලා එයාව පෞද්ගලික රෝහලක නතර කලා ඒ ගෙදර අය....එයාට යාන්තම් ඔලුව උස්සන්න පුලුවන් උන ගමන්ම එයා කලේ රෝහලේ ඇඳේ ඉඳන්ම ඒක මට කියල එස්.එම් එස් එකක් එව්ව එක...මම එයාට කෝල් කලාම එයා කිව්වෙ අම්මියි තාත්තියි ලඟ ඉන්නව පස්සෙ ගන්න කියල..පස්සෙ අපි කතා කලා..එයා කිව්වෙ තව දවස් දෙකකින් විතර ගෙදර එන්න පුලුවන් කියල..මම ඒ වෙලේ එයාට කිව්ව එයාගෙ අසනීපය හොඳකරන්න එයාට අවශ්‍ය ඕනෙම බෙහෙත් වර්ගයක් හෝ ඕනෑම උපකරනයක් හෝ කියන්න මම ඒවා අරගෙන එවන්නම් කියල...එයා කිව්වෙ එහෙම ඕනා උනොත් කියන්නම් කියල විතරයි....එයාව පස්සෙ ගෙදර එක්ක ආවා.......
ඒ දවස් අපිට සීත කාලෙ, දවස පුරාම හිම වහිනවා...අපේ ගෙවල් එක්ක මුලු පලාතම සුදුම සුදු පාටින් හිමෙන් වැහිලා තිබුනෙ....මගෙ කාමරේ මගේ බැල්කොනි එකත් පිරෙන්නම හිම කැට වැටිල තිබ්බ..එදා මම ඒ බැල්කොනි එකේ තිබ්බ හිම කැට එකතු කරල ලස්සන හිම බබෙක් හදල,පොටෝ එකක් අරන්,එයාට ඒක යැව්ව 'ඉක්මනින් සනීප වෙන්න' කියල...ඉක්මන් සුවය පතල............