My Blog List

Saturday 29 October 2011

රාජ් ගෙ ජීවිත කතාව ..

( අළු පාට හැන්දෑව 6.)


දවස්  3 ක් ගත උනා..මම කල්පනා කලේම රාජ් ගෙ ජීවිතේ ගැන..අහිංසක කම ගැන..ඒ වයසෙ කොල්ලෙකුට එහෙම ජීවත් වෙන්න පුලුවන්ද..ලස්සන තරුණ කාලෙ..සතුටින්ම ඉන්න ඕන කාලෙ..???


හතරවෙනි දවසෙ එයා ඇවිත් හවස ඔන්ලයින් උන්නා..ගිය ගමන සාර්ථකයි එයා හොඳින් කිව්ව..අපි වෙනදා වගේ කතා කලා..මේ කාලෙ එයා සති අන්තෙ දවස් දෙක බම්බලපිටියෙ esoft  එකට පන්ති ගියා..ඒ යද්දි උදේ ට බස් එකේදිත්,දවල්ට කෑම වෙලාවෙදිත්,හවස පන්තියෙන් එලියට ආවමත්,මට කෙටි පණිවිඩ එව්ව.මිස් කෝල්ස් දුන්න..පස්සෙ ගෙදර එන්න බස් එකට නැගල මීගමුවට එනකම්ම මා එක්ක පෝන් එකේ ස්කයිප් එකෙන් කතා කර කර එන්නෙ..උදේ නැගිටපු ගමන්, දවල් කෑම වෙලාවට, නොවරදවාම මට කෙටි පනිවිඩයක් දෙනවා..මිස් කෝල් එකක් දෙනවා..ගෙදර අය එක්ක ගමනක් ගියත්, නෑ ගෙදරක ගියත්,අම්ම එක්ක ටවුන් එකට බඩු ගන්න ගියත් හොරෙන් පැත්තකට වෙලා මට කතා කරන්න එයා පුරුදු වෙල උන්න....මට මතකයි දවසක් ෆිල්ම් එකක් බලන්න ගිහින් ගෙදර අය එක්ක විවේක කාලෙදි එලියට දුවන් ඇවිත් මට කතා කලා...එදාම රෑ ෆිල්ම් එකෙන් පස්සෙ රෑ කෑම කන්න හොටෙල් එකකට ගිහිනුත් මා එක්ක කතා කලා...ඔෆිස් එකේ ඉන්න වෙලාවට දවල්ට ටික වෙලාවක් මා එක්ක චැට් කරන එයා හවස වැඩ අරුන ගමන් මට කෙටි පණිවිඩයක් එවනව ''නංගි මම වැඩ ඇරුනෙ දැන් ඉක්මනින් ගෙදර එනවා'' කියල.....එහෙම නැත්නම් ''නංගි මම අද පරක්කුයි ඉක්මනින් එන්නම්'' කියල....


මම එයාගෙ ටෙලිපෝන් කෝල් වලට එක පාරම පිලිතුරු දුන්නෙ නැහැ..එයා කෝල් කරපු හැම වෙලාවකම ඒක කට් කරල මමයි එයාට ආපසු කෝල් කලේ...හේතුව මම පිටරටක රැකියාවක් කරන කෙනෙක්...මට ගන්න කෝල්ස් වලට එයාට ලංකාවෙන් ලොකු මුදලක් ගෙවන්න වෙනවා..රාජ් කිව්වෙ එයාගෙ මාසෙ වැටුප රුපියල් 22,000 ක් කියල...මගෙ වැටුප අනුව ඒක ගොඩාක් සුලු ගානක් නිසා මම හිතුව එයාගෙ සල්ලි වියදම් කරන එක පව් කියල.....අනික එයාට සල්ලි දෙන්න උදව් කරන්න කවුරුවත්ම හිටියෙ නැහැ..මට එහෙම නෙවේ..මගෙ අම්ම..අයියල මට කිසිම දේකින් අඩුවක් කලේ නැහැ..ඇත්තම කියනවා නම් මගෙ මාසෙ වැටුපෙන් එක සතයක් මට වියදම් උනේ නැහැ...


ඉතින් මම දවසක් එයාගෙන් අහුවා මට ගොඩාක් කල් ඉඳන්ම දැනගන්න ඕන වෙලා තිබ්බ එයාගෙ සම්පූර්ණ ජීවිත කතාව ගැන...ඒ කතාව එයා එදා මට කිව්වෙ මේ විදියට..........


''.......ඔය ඉන්න අයියට වයස අවුරුදු 2 දි අම්මි අයියවයි තාත්තිවයි දාල වෙන පිරිමි කෙනෙක් එක්ක පැනල ගිහින්.....ඒ කෙනාගෙන් තමා අම්මිට මාව හම්බවෙන්න ඉඳල තියෙන්නෙ......පස්සෙ ඒ මිනිහා අම්මිව දාල ගිහින්....අම්මි ආච්චිලගෙ ගෙදර මාව හම්බවෙන්න ඉන්නකොට මේ තාත්ති ආයෙමත් අම්මිව ගෙදර එක්ක ඇවිත්......මාව ඉපදුනාම මේ තාත්තිගෙ නම දීල මාව හදාගෙන......''
''......ඒ කියන්නෙ තාත්ත එක්ක ඉන්නකොටම ඔයාලගෙ අම්ම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලද?...''
''......ඔව් නංගියො...ඒකට වන්දි ගෙවන්නෙ දැන් මම.....''
''......ඔයාගෙ මේ තාත්ත ගොඩාක් හොඳ දෙවි කෙනෙක් වගේ කෙනෙක් නේද?....'' 
''.....ඔව් එයා හින්දයි මම තාමත් මේ දුක් විඳගෙන ලංකවෙ ඉන්නෙ...මට ඕස්ට්‍රේලියාවට යන්න ඔක්කොම ලෑස්තියි දැන්....ඒත් මේ තාත්ති මගෙම තාත්ති වගේනෙ.. මට එයා යන්න එපා කියනව....මම් මේ ඒක ගැන හිත හිත ඉන්නෙ....මට දුක මෙයාව දාල යන්න..මොනා කරන්නද මන්ද නංගි.. නොගියොත් තව ටික කාලයයි ඒ චාන්ස් එක මට නැති වෙනව...මට පිස්සු වගේ මේව කල්පනා කරල....''
''......මෙහෙමයි අයියෙ..ඔයා එහෙ යන්නෙ ස්ටඩි කරන්න නෙ?..ඔයා යන්න..තාත්තට ඒක තේරුම් කරල දීල ඔයා යන්න..ඔයාගෙ ඔය හිතේ තියන ඔක්කොම දේවල් එතකොට අමතක වෙල අලුත් ජීවිතයක් පටන් ගන්නත් ලැබෙනවනෙ...''
''....හ්ම්ම්..ඔව්..බලමුකො තව ටිකක්...එයා කියන්නෙ මට ඕනෙම නම් යන්නලු...''


මේ අතරතුර මම එයාගෙන් ඇහුව ...''ඇයි ඉතින් ඔයාගෙම අම්ම ඔයාට වෙනස් කම් කරන්නෙ ඔය විදියට..? එයා ඔයාට එපායැ වැඩියෙන්ම ආදරේ වෙන්න..? ''
''.....අනේ මන්ද නංගි එයාට මාව දකිද්දි එයාගෙ අතීතෙ මතක් වෙනව ඇති..එයා කරපු දේ මතක් වෙනව ඇති..මගේ ඇත්ත තාත්තිට එයා වයිර කරනවා..මාව දකිනකොට එයාව මතක් වෙනව ඇති..මටත් එයා වයිර කරනවා.....''
''....ඒක හරි පුදුම කතාවක්නෙ එහෙනම් ඇයි ඔයාව පොඩි කාලෙ ඉඳන් හදා ගත්තෙ? එහෙනම් ඔයාව ඒ කාලෙම අනාථ නිවාසෙකට දෙන්න තිබ්බනෙ...?''
''....ඒක තමා මාත් ඇහුව ඒක කීප වතාවක් ම..අම්මිට මාව පේන්නම බැහැ නංගි..මට බනිනවා උඹ ඇයි මගෙ බඩේ ඉපදුනේ කියල...අද උදේ වැඩට යද්දි මම යන්නම් කිව්වාම අපූරුවට හා කිව්ව කෙනා හවස මම ගෙදර ඇවිත් අම්මි රෑට මොනාද කන්නෙ කිව්වාම ..උඹට කන්න මෙහෙ නැහැ ගිහින් ඕනෙ දිහාවකින් කාපන් කිව්ව.....''
''.....අනේ මට නම් හිතාගන්නවත් බැහැ ඇයි ඔයාගෙ අම්ම එහෙම හැසිරෙන්නෙ කියල එයාට මොකක් හරි මානසික ගැටලුවක්..ඔයා එයා ගැන අනුකම්පා කරන්න ඔයා තරහ ගන්න එපා...එයා අයිය එක්ක කෝමද?...''
''....අයියට එයා පන වගේ...මට පේන්න එයාට වැඩියෙන් සලකනවා...මට ඇනුම් පද කිය කිය අයියට ආදරේ කරනවා...මම තනියම මගෙ කාමරේට වෙලා අඬ අඬ ඉන්නවා නංගියො...මම කා එක්කවත් කතා කරන්නෙ නැහැ..මට දැන් කන්න කෑම ටික හදල දෙන්නෙ නැහැ..මගෙ ඇඳුම් හෝදල තනියම අයර්න් කර ගන්නෙ මම...මට උයන්න දන්නෙ නැහැ..ඒත් බඩගිනි උනාම මොනා හරි හදා ගන්නවා..ඒවා මටම කන්න බැහැ..මම කොහේ හරි යනව යන්න නංගියො..මම  මහා කරුමයක් කරල ඉපදිලා ඉන්නෙ..මට කාත් කවුරුත් නැහැ..මගෙ මල්ලියත් මාව දාල යන්න ගියා..එයා උන්න නම් අද මට මෙහෙම වෙන්නෙ නැහැ... මගෙ මේ කරුම අසනීපෙ නිසා මාත් ඉක්මනින්ම මල්ලියා ගාවට යාවි...දැන් 3 පාරක් එතෙන්ටම ගිහින් ආපහු ආව..එක පාරක් මම ජීවිතේ නැති කර ගන්න ගියා..එවෙලෙ මල්ලියගෙ මූන මගෙ ඉස්සරහ ඇත්තටම වගේ මැවිල පෙනුනා..පස්සෙ මම හිත හදා ගත්තා....''
''.....ඔයාට ඔය තරම් වෙනස් කම් කරද්දි එතකොට තාත්ත? එයා ඕව දන්නෙ නැද්ද...?''
''.....එයා නිතරම ගෙදර නැහැ...එක එක සයිට් වලට යනවා..දවස් දෙක තුන ගෙදර එන්නෙ නැහැ..එයා ගෙදර ඉන්න වෙලාවට අම්මි හොඳයි...''
''.....එතකොට ඔයාගෙ අයියා..? එයා කෝමද ඔයා එක්ක..?..''
''......එයාට පුංචි කාලෙ ඉඳන්ම මාව පේන්නම බැහැ...දන්න තේරෙන දා ඉඳන්ම මට වෙනස් කම් කලා..දැන් මට මේ ගෙදරිනුන් යන්න කියනවා..මේවා එයාට අයිති දේවල්...මට කියල කිසිම දෙයක් නැහැ.......''
''......ඔයාලගෙ නෑයො...ඔයාට යාලුවො නැද්ද?...''
''.......නැහැ නංගි.. මගෙ කිසිම යාලුවෙකුට මේ ගෙදරට එන්න දෙන්නෙ නැහැ අම්මි....අඩුම ගානෙ කෝල් එකක් ආවත් මට එදාට ගෙදර ඉඳල ඉවරයි...මේ තාත්තගෙ පැත්තෙ නෑයො මාව අයින් කලේ මාව කොන් කරල දැම්මෙ මම පුංචිකාලෙදිමයි...මම පවුලට එකතු උන කාලකන්නියෙක්ලු..මම අවජාතකයෙක්ලු...මට චුට්ටක් සලකනව මගෙ ආච්චි...අම්මි මා දිහා බැලුවෙ වත් නැහැ පොඩි කාලෙ ඉඳන්ම මාව හැදුවෙ ආච්චි...මල්ලි මැරුනට පස්සෙ මෙයාල 3 දෙනා ඉන්දියාවෙ තාත්තිගෙ යාලුවගෙ ගෙදර උන්න මාස 3 ක්...මම මෙහෙ ඉන්නවද මැරුනද කියල නිකම් එක කෝල් එකක් දීල හොයල බැලුවෙ නැහැ නංගි.......''
''....හප්පේ...මට නම් හිතාගන්නම බැහැ ඔයාගෙ අම්ම එහෙම කරනව කිව්වාම...මොනා කියන්නද කියල මට වචන එන්නෙත් නැහැ.....''
''.....ඔව් නංගි..මාත් ඉවසල ඉවසල බැරිම තැන මේ ඊයෙ පෙරේද කියල දුන්න එයාට හොඳ ඒවයින් ටිකක්....''
''......ඒ මොකෝ උනේ..ඔයා මොනාද කිව්වෙ එයාට...?''
''......අනේ මගෙන් ඒක අහන්න එපා නංගි.....මට ඒව ඔක්කෝම කියන්න බැහැ....මම ඇහුව එයාගෙන් පැනල ගිහින් කරගෙන ආව දේවල් වලට මමද දැන් පලි කියල......ඒත් මම ඒක කියල පස්සෙ එයාගෙන් වැඳල සමාව ඉල්ලුව.......''


එයාගෙ මේ කතාව අහල මට ඇත්තටම කතා කරන්න වචන හොයා ගන්න බැරි උනා.....එයා මේවා සමහරක් කිව්වෙ අඬ අඬ..මම ගොඩාක් සංවේදී හිතක් ඇතුව ඉපදුන කෙනෙක්...මට එවෙලෙ හිතුන දේවල් මේ දැනටවත් අකුරු කරන්න මට තේරුමක් නැහැ.....මේවා මා එක්ක කියන වෙලාවෙත් එයා ගෙදර උන්නෙ තනියම...අම්මල නෑදෑයෙකුගෙ ගෙදර ගිහින් කිව්වා..එන්නෙ පහුවෙනිදට කිව්වා...ඒත් එයාට කන්න කිසිම දෙයක් එදා දවල්ට වත් රෑ වත් ගෙදර තිබුනෙ නැහැ කිව්ව.................මගෙ බල කිරීමට එයා කුස්සියට ගිහින් කිරි එකක් හදාගෙන ආව.......................



Wednesday 26 October 2011

වඳුරෙක් කරපු හදියක්......!!!!



රකුසන්ගෙන් විතරද..? නැහ්.!  මම වඳුරෙකුගෙනුත් අනූ නවයෙන් බේරුනා...!!

ඔන්න මේකයි කතාව...එතකොට මට වයස මාස 10 ලු..අපේ ලොකු අයියට අවුරුදු 8 ලු..පොඩි අයියට අවුරුදු 5 ලු......අපෝ ..මේ 'ලු'.. 'ලු' එකට මම කැමති නැහැ...ඒ නිසා මේක ලියන්නම් හරියටම මම ඇහින් දැක්කම වගේ..ඉතින් මොකටද 'දැක්ක වගේ' කියන්නෙ? මට වෙච්ච දේ මම අනිවාර්යයෙන්ම දකින්න ඕනනෙ....මතක නැති එක වෙනම කතාවක්..!    මේකයි කතාව...!!!

ලංකාවෙ අපේ ගමේ අපේ ගෙදර වත්ත ටිකක් ලොකුයි..වත්ත මායිම දිගටම ඇල පාරක් ගලාගෙන යනව..මේ ඇල ටිකක් ගැඹුරු උනාට වතුර තියෙන්නෙ වැහිකාලෙට විතරයි..පායන කාලවලට මේකෙ සුදුවැලි මතුවෙලා තියනව..මේ ඇල දිගටම තියනව වැව් කණ්ඩියක් වගේ ඒත් ඒ තරම්ම උස නැති ඇල කණ්ඩියකුත්.....අල්ලපු වත්තෙ මායිමේ තිබුන ලොකු ගස්වල දිග අතු අපේ පැත්තටත් වැවිල තිබුන අර ඇල උඩින්,ඇල කණ්ඩියටත් උඩින්..........

ඒ දවස් වල අපේ බාප්පගෙ ගෙවල් තිබ්බෙත් ඒ කිට්ටුවම...එයාට උන්නෙ දුවල දෙන්නෙක් අපේ අය්යලගෙම වයසෙ...ඒ අක්කිල දෙන්න පුරුද්දක් කරගෙන උන්න හැම සෙනසුරාද දවසකම හවස අපේ ගෙදර ඇවිත් අය්යල එක්ක වත්තෙ සෙල්ලම් කරන්න...එයාල දෙන්න එන්නෙත් තනියම නෙවේ තව යාලුවො දෙතුන් දෙනෙක් එක්කගෙන...........

ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු උනාම 6 දෙනෙක් 7 දෙනෙක් විතර උනා....අපේ අම්ම අර අක්කිල ට හරිම ආදරෙයි..අම්ම එයාල ගෙනත් දීල තිබුන සෙල්ලම් බත් උයන වලන් සෙට් එකක්....මෙයාල අපේ ගෙදර ආවම මොකෝ කරන්නෙ ,අම්මට ටිකක් චාටු දාල රවට්ටල..හාල්,පොල්,එලවලු,පරිප්පු වගේ ටික ටික ඉල්ලගෙන වත්තෙ සෙල්ලම් ගෙයක් හදල සෙල්ලම් බත් උයනව.මේ සෙල්ලම් ගෙදර අය ඔක්කොම අම්ම තාත්ත අය්යල නංගිල...මම හැමදාම දරුවා....ලොකු අයිය හැමදාම තාත්ත උනේ මාව වඩාගෙන ඉන්න පුලුවන් එයාට විතරක් නිසා.........(එයා තමයි දැනටත් මගෙ තාත්ත.)

ඔන්න ඉතින් එක දවසක්....මෙයාල කතා උනාලු උයල බත් මුල් බැඳගෙන ට්‍රිප් එකක් යමු කියල...දැන් ඔන්න ට්‍රිප් එක යන්න තීරනය උනේ අර මම කලින් කිව්ව ඇල කණ්ඩිය දිගේම ඈතට වත්ත කොනටම...ගිහින් බත් කාල ආපහු එන්න..............

ඉතින් අක්කිල දෙන්න ඉක්මනින් උයල කෙහෙල් කොල වල බත් පාර්සල් ඔතාගෙන ඔන්න කට්ටිය දැන් ඇල කණ්ඩියට නැගල හෙමින් හෙමින් යනවලු...පොඩි කට්ටිය ඉස්සර වෙලා යනවලු..ලොකු අය පිටිපස්සෙන් යනවලු...දැන් තාත්ත(ලොකුඅයිය.) තමා අන්තිමටම යන්නෙ දරුවව(මාව.) කරේ තියාගෙන...එයා මාව කර උඩින් තියාගෙන මගෙ කකුල් දෙක බෙල්ල දෙපැත්තෙන් පහලට දාගෙන අල්ලගෙනලු යන්නෙ.............

දැන් ඔන්න කට්ටිය යනවලු අර මම කලින් කිව්ව ලොකු ගස් වල අතු ඇල කණ්ඩිය උඩට නැවිල තියන හරියෙ... ඊට පස්සෙ උන දේ ලොකු අයියගෙම වචන වලින්......!!

''නංගිය එක පාරටම උඩට ඉගිල්ලුනා...ඒත් මම කකුල් දෙකෙන් අල්ලගෙන උන්නෙ...මම අතැරියෙ නැහැ...මට කතා කරන්න බැරුව ගියා...අත්ත උඩ උන්න තඩි වඳුරා නංගියගෙ කිහිළිදෙක යටින්ම අත්දෙක දාගෙන බබෙක් වඩාගන්නවා වගේම...හරියට එයාගෙ බබාව වගේ නංගියව උදුරනවා...මම කකුල් දෙකෙන් නංගියව පහලට අදිනවා...වඳුරා අත්දෙකෙන් එයාව උඩට අදිනව...නංගියා යටිගිරියෙන් කෑගහල ඇඬුවා...ඌ මට ගැහුවා...දත් විරිත්තගෙන යකෙක් වගේ මාව සීරුවා...ඒ අතරම පුලුවන් තරම් හයියෙන් නංගියව උඩට ඇද්දා...ඒත් මම අත ඇරියෙම නැහැ...අන්තිමේදි අනිත් අයගෙ කෑගැහිල්ල ඇහිල අම්මයි තාත්තයි දුවගෙන ආව...තාත්ත මහා හයියෙන් කෑගහපු සද්දෙට භය වෙලාද කොහෙද වඳුර නංගියව අතැරියා...ඒත් එතකොට මම අල්ලන් උන්නෙ එයාගෙ කකුල් වල අන්තිම හරියෙන්...එයාව ඇලට වැටුනා මාවත් එක්කම....!!!!''

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............ඊට පස්සෙ අපි දෙන්නවම හොස්පිටල් ගෙනිහින් තිබුනා...අපි දෙන්නටම පොඩි පොඩි තුවාල විතරලු....ඒත් අම්මල කියන්නෙ මාව අර තරම් තදින් අල්ලගෙන පොරකෑවත් ඒ වඳුරගෙ එකම නියපොතු පාරක් වත් සීරීමක් වත් මගෙ ඇඟේ තිබුනෙ නැහැ කියල...ඒ තරම්ම පරිස්සමෙන් ඌ මාව උදුරගෙන යන්න හදල තියෙන්නෙ...මට තුවාල වෙලා තිබුනෙ ගහේ අතු වලට සීරිලා..ඒ වගේම ඇලට වැටුන පාරට....හොඳ වෙලාවට ඇලේ වතුර නැති කාලෙක ඒක උනේ....පොඩ්ඩක් හිතන්න බැරිවෙලාවත් අයියගෙ අතින් මාව අතඇරුන නම්????????

ඒ වඳුරු තඩියා අල්ලපු ගමක ගෙදරකට ඇතිකරන්න අල්ලන් ආපු  එකෙක්ලු... පැනල ඇවිත් අපේ පැත්තට කියල පස්සෙ ආරංචි උනා.............

ඒත් දැන් මේ කතාව ලොකු අයිය කියද්දි ..පොඩි අයිය කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්..........''අනේ ඇයි දෙවියනේ එදා මේකි මගෙ අතේ උන්නෙ නැත්තෙ...? එහෙනම් කරෙත් නෑ.....ගහෙත් නෑ....ලොවෙත් නෑ........''

Sunday 23 October 2011

මගේ අමුත්තා.......

(අළු පාට හැන්දෑව 5)






එදා මම ඔයාලට කිව්වනෙ මගෙ ගූග්ල් එකවුන්ට් එකේ අමුත්තෙක් උන්න කියල?...ඔව්..ඉතින් අපි ලංකාවෙ උපන් මිනිස්සුනෙ ගෙදරකට අමුත්තෙක් ආවාම එලවල දාල දොරවල් වහගන්නෙ නැහැනෙ...මම එයාට හලෝ කිව්ව..
එයාට නමක් තිබුනෙ නැහැ..''ආදර කතාව'' කියන නමින් එයා උන්නෙ...ඒ එයාගෙ බ්ලොග් එකේ නම..මේ කතාව ලියන්න පහසු වෙන්න දැන් මම එයාට නමක් දාන්නම් එයාගෙ නම 'රාජ්' කියමුකො...රාජ් ගෙ මේල් ලිපිනයෙ තිබුනෙ එයාගෙයි, එයා අර ආදර කතාවෙ කියන ගෑනු ලමයගෙයි නම එකතු කරල...මම ඒ ගෑනු ලමයව මෙතන ඉඳන් හඳුන්වන්නම් 'අනුත්තරා' කියල...ඉතින් එයාගෙ මේල් නම තිබුනෙ..''රාජ් අනු'' වගේ නමක් හොඳේ?
රාජ් එදා මා එක්ක චැට් කලා..එයා ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්න බව කිව්ව..එයාගෙ පදිංචිය මීගමුවෙ කිව්ව..මාත් මීගමුව ටිකක් දන්න නිසා මීගමුවෙ කොහෙද ගෙවල් ඇහුවාම එයා කිව්ව ''සාන්ත අන්තෝනි පාරෙ'' කියල.......එයා බ්ලොග් එකේ ලිව්ව විදියටම එයා ජීවත් උනේ අම්මත් තාත්තත් විවාහ වෙලා උන්න අයියත් නෑනත් එක්ක ...ඒ පලමු දවසෙ අපි සාමාන්‍ය යාලුවො උනා.....
දෙවන දවසෙ මම වැඩ ඇරිල ඇවිත් ඔන්ලයින් එද්දි එයත් උන්න...එදා එයාගෙ නම ''ලව් ස්ටෝරි'' කියල වෙනස් කරල තිබුන...එයා මගෙන් ඇහුව ඔයා ස්කයිප් එකේ ඉන්නවා නේද කියල..මම ඔව් කිව්වාම එහෙනම් එන්න ඒකට කිව්ව....මම ස්කයිප් එකට ගියා.....ඒ වෙනකොටත් එයා මාව එයාගෙ එකවුන්ට් එකට ඇඩ් කරන් උන්නෙ..එයාගෙ නම තිබුනෙ ''ආදර කතාව'' කියල....
මම ස්කයිප් එකට ගියාම මෙයා එකපාරටම මට කෝල් එකක් ගත්ත....ඒ වගේ දෙයක් වෙන කෙනෙක් කලා නම් මම කොහෙත්ම රිප්ලයි කරන්නෙ නැහැ..ඒත් රාජ් ගැන මම බ්ලොග් එකෙන් කියවල තිබ්බ දේවල් අනුව එයා අහිංසකයෙක්..! එයා හදවත් රෝගියෙක්..! අවංකවම කියනවා නම් මට උවමනා වෙලා තිබුනෙත් එයා එක්ක කතා කරන්නයි...එයා ගැන දැන ගන්නයි..ඉතින් මම හෙල්ලෝ කිව්වාම එයා කතා නොකර අහගෙන උන්න...කීප වතාවක් මම කතා කලත් එයා කතා කලේ නැහැ..පස්සෙ මම චැට් එකෙන් ඇහුවා ''ඇයි ඔයා කතා කරන්නෙ නැත් නම් කෝල් එක ගත්තෙ?'' කියල..එයා ලියල එව්ව ''මට හෙඩ්සෙට් එකක් නැහැ'' කියල..මට දුක හිතුන ඒකට...පස්සෙ එයා ආයෙමත් කිව්ව ''ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල බලන්නයි කතා කලේ'' කියල..ආයෙමත් එයා එදාම කිව්ව ''ඔයා අනුත්තරා වෙන්න ඇති කියල මම හිතුවා'' කියල.........


රාජ් මගෙ පොඩි අයියගෙ වයසෙමයි..එයා මට කතා කලෙත් 'නංගි' කියල..මාත් එයාට අයියෙ කිව්ව..තවත් දවසකට පස්සෙ රාජ් මගෙන් ඇහුව '' නංගි අර බ්ලොග් එකේ දාල තියන පොටෝ එක ඔයාගෙමද?'' කියල...මම ඔව් කිව්වාම ''එහෙනම් ඔයාගෙ සම්පූර්ණ පොටෝ එකක් මට බලන්න එවන්නකො අපි යාලුවොනෙ, මගෙ යාලුව මොන වගේද කියල මට ආසයි බලා ගන්න'' කිව්වාම මම එයාට මගෙ පොටෝ එකක් දුන්න...ඒ පොටෝ එකේ මම උන්නෙ සායක් බ්ලවුස් එකක් ඇඳල,ශීත කාලෙට අඳින කලු දිග මේස් ඇඳල(ස්ටොකින්ස්)කලු දිග බූට්ස් දෙකක් දාල....(මම මේකෙන් අදහස්  කලේ ඒක සම්පූර්ණයෙන් ඇඟ වැහෙන්න ඇඳල ගත්ත වැදගත් විදියෙ පොටෝ එකක් කියල කියන්න විතරයි.)


ඉතින් අපි යාලුවො උනේ ඔය විදියට...මට නෙට් එකේ තව යාලුවො 4 දෙනෙක් උන්න...මේ වෙද්දි රාජ් එයාගෙත් අනුත්තරාගෙත් කතාව ලිවීම නතර කරල උන්න..ඒ වෙනුවට එයා ගැන දුක හිතෙන විදියෙ දේවලුත්,සින්දුත් පළ කලා බ්ලොග් එකේ......ඔය අතරෙදි එයා දවසක් ලිව්වා පොඩි කාලෙ, එයාගෙ ගෙදර අනෙක් අය එයාට බොරුවක් කියල රවට්ටලා වෙන ගෙදරක දාල අනිත් නෑයො යාලුවො එක්ක නුවර එලියෙ විනෝද ගමනක් ගිය පුවතක්...එදාත් සුපුරුදු විදියට රෑ ඔන්ලයින් ඇවිත් මම ඒක ගැන විස්තර ඇහුවාම එයා ගොඩාක් දුකින් ඒ අම්මල එයාව දාල ගිය ගමන ගැන කිව්වෙ..ඒ සිදුවීම වෙලා හරියටම මාසෙකින් එයාගෙ මල්ලිත් එයාව සදහටම දාල ගියා කියල එයා ඇඬුව...!  රාජ් මා එක්ක වැඩිපුරම කතා කලේ එයාට උන වෙනස් කම් ගැන......එයාව තනි කරපු විදි....එයාට නොසළකා හැරපු හැටි......මම එයාගෙන් ඇහුව ඒ ඇයි එහෙම අම්මල කරන්නෙ කියල එයා කිව්වෙ ඒ කතාව වෙන දවසක කියන්නම් කියල...දැනට එයා කාත් කවුරුවත්ම නැති අනාතයෙක් කියල විතරක් හිතේ තියාගන්නයි කිව්ව..........


ඔය අතරෙදි තමා එයා මට කිව්වෙ ඔෆිස් එකේ වැඩකට දෙවෙනි වතාවටත් එයාට ඉන්දියාවට යන්න වෙලා කියල...ඊට පහුවෙනිද රෑ එයා යන්න කලින් මම එයාට ''සුභ ගමන්'' කිව්වාම...''අනේ මාව අඬවන්න එපා'' කිව්ව එයා....ඇයි අනුත්තරාත් එයාට ඒ විදියටම සුභ ගමන් කිව්වලු......එයා මට කිව්වෙ අනුත්තරා එයාට ආදරේ කියල, පස්සෙ කිව්වලු එහෙම කිව්වෙ විහිලුවට කියල.....(අනුත්තරා ගැන මගෙ හිතේ තිබ්බෙ පුදුම තරහක්)


ඉතින් රාජ් එදා රෑ එකොලහකුත් ගානට කටුනායක එයාර්පෝර්ට් එකෙන් ඉන්දියාව බලා පිටත් උනා..........

ඉතිං ඊට පස්සෙ........

(අළු පාට හැන්දෑව 4)


ඉතින්  ඊට පස්සෙ මොකද උනේ කියන්න කලින්.....ගොඩාක් වැදගත් කාරනා කීපයක් ඔයාලට කියන්න ඕනි කියල හිතුන මට........


මම මේ කතාව කියන්නෙ,මේ බ්ලොග් එක ලියන්නෙ,...''මගේ නිර්දෝෂී භාවය''කාටවත් කියන්නවත්,ලෝකෙට පැහැදිලි කරන්නවත් නම් නෙවේ කොහෙත්ම......''නිර්දෝෂී වෙන්න'' වැරද්දක් හෝ වැරදි කරල තියෙන්න එපායැ නේද? අනේ මම මටවත් වෙන කිසි කෙනෙකුටවත් වැරදි කරන කෙනෙක් නෙවේ..වචනෙන්,ක්‍රියාවෙන්,මුදලින් උනත් උදව් උපකාරම විතරයි හැමදාම කලේ...ඉතින් වැරදි කරල නැති කෙනෙක් ''නිර්දෝෂී වෙන්න'' ඕනෙ නැහැනෙ...කවුරුවත් එහෙම හිතන්න එපා කරුණාකරල හොඳේ?

අවුරුදු එකහමාරක තරම් කාලයක් මටම තේරුම් ගන්න බැරුව තිබුන මට වෙලා තිබ්බ දේ.....මායාකාරය මාව හරිම අපූරුවට රවට්ටල මගෙ ඇස්බැඳල තිබුන....මම ඇඬුව..වැළපුනා..හිතේ වේදනාව ඉවසගන්න බැරි උනාම තරහෙන් කෑගැහුවා......මගේ හැබෑ යාලුවො කියල මම හිතා උන්න ලංකාවෙ ඉන්න අයගෙන් උදව් ඉල්ලලා කන්නලව් කලා...මේකෙ අගක් මුලක් හොයල මාව බේරගන්න කියල...ඒත් ඒ කිසි කෙනෙක් මට උදව් කලේ නැහැ...හැමෝම අහක බලා ගත්ත...එයාලගෙ උපදෙස් උනේ..''ඔන්න ඕකව අමතක කරල දාපන්..!!ඕක අල්ලලා දාපන්...!! තව කුරුල්ලො කොච්චර ඉන්නවද මේ ලෝකෙ?..!!...එකෙක් මත්තෙම නැහෙන්න හදන්නෙ පිස්සුද?..!!''


අනේ මට එහෙම කරන්න බැරි උනා..මම ගොඩාක් අසරණ වෙලා උන්නෙ...අන්ධ වෙලා උන්න මම ඒ මායාකාරයටම දිවිහිමියෙන් ආදරේ කලා.........ඔව් මම රකුසෙකුට ආදරේ කලා.............
ඊට පස්සෙ මගෙ අර යාලුවො මොකද කලේ....''මේකි කියන දෙයක් අහන්නැති මහා හිතුවක්කාර..මුරණ්ඩු..කාගෙවත් කීමක් සතේකට පිළිගන්නැති දරදඬු එකියක්''කියල හංවඩුවකුත් ගහල මාව පැත්තකට දැම්ම.......
ඇති තරම් තනියම විඳවල..විඳවල..මම මායාකාරයගෙන් බේරුනා....
දැන් මම දන්නවා මේ රකුසගේ මායාවලට අහුවෙලා දුක් විඳින තව අහිංසකයො ඉන්න බව....මේක ලියන්න අදහස් කලේ මට උන දේ කියල අනිත් අයවත් බේරා ගන්න විතරයි.......මම හිතනවා ඒක මගේ යුතුකමක් කියල..පිං සිදුවෙන වැඩක් කියලා........


ඒත් එදා මාව හංවඩුගහල අත හැරල දාපු යාලුවො දැන් ගොඩාක් කාර්යබහුල වෙලා මා වෙනුවෙන්.......''ඕක ලියන්න එපා..!!  ඔයාගෙ අනාගතේට හොඳ නැහැ..කැළලක්...!! ඔයා ගැන නරක කතා පැතිරෙනවා..!! ඔයා කෙල්ලෙක් නේද?..!! ඕක ලියාගෙන යද්දි රකුසා බෙල්ලෙ වැල දා ගනීවි..!! (හික්ස්..ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ අලුගෝසුවෙක් කවදාවත් බෙල්ලෙ වැල දාගෙන මැරෙන්නෙ නැහැ කියල?)ඇයි දෙවියනේ මොකද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ???????


ඉස්සර ලංකාවෙ කාන්තාවො එයාලට පිරිමින්ගෙන් කරදරයක් උනාම එයාල වංචා වලට අහු උනාම සද්ද නොකර ඉන්නව..ලැජ්ජාවට..පවුලට,පරම්පරාවට අවනම්බු වේවි කැළලක් වේවි කියල....ඒත් නව පරපුර එහෙම නැහැ කියල දැන් ඔප්පු වෙලා ඉවරයි....දැන් කාන්තාවො ඒ මතයෙන් මිදිලා එලියට එනවා.......
මම බොහෝම විවෘතව අදහස් ප්‍රකාශ කරන,කෙලින් එලිපිට කතා කරන,බටහිර ජීවත් වෙන ලංකාවෙ කෙල්ලෙක්...!! (ඔව්....හරි  තාම පොඩි එකියක් කියමුකෝ)....මගෙ ලඟින් ඉන්න..මාව හඳුනන..මගේම කියන අය හොඳින් දන්නව මම මොන විදියෙ කෙනෙක්ද කියල..මගෙ චරිතෙ මොන වගේද කියල...පවුලෙ බාලයා නිසා පොඩ්ඩක් හිතුවක්කාරි උනාට මට මගේම කියන අය ගොඩාක් ආදරෙයි....ඒ ඇති මට ජීවත් වෙන්න.....
ඉතින්.......මම මේක ලියන්නෙ බ්ලොග් අවකාසෙ ප්‍රසිද්ධ වෙන අදහසකින් නම් නම් නෙවේ කොහෙත්ම..!! මම බලාපොරොත්තුවෙන විදියෙ ප්‍රසිද්ධියත්,අවධානයත්,ආදරයත් මට සැබෑ සාමන්‍ය ජීවිතේදි ලැබෙනවා කිසිම අඩුවක් නැතුව..!! මම ඉන්නෙ තරහින් නෙවේ ගොඩාක් සතුටින්..!! කාගෙන්වත් පළිගන්න චේතනාවෙන් ලියන දේකුත් නෙවේ මේක...එහෙම පළිගන්න ඕනෙ නම්, නීති මාර්ගයෙන් ඒක හරිම අපූරුවට කරන්න මගෙ පවුලේ අය ලෑස්තියි...!! ඒකට අවශ්‍ය කරන ඔක්කෝම ඔප්පු කල හැකි ශාක්ෂි අපි ගාව තියනව ඕනවටත් වඩා...........


ඉතින් යාලුවනේ.....අර මගේ යාලුවො මගෙ පස්ස පැත්තෙ ගහපු ඒ '' හිතුවක්කාර..මුරණ්ඩු..නහට අහන් නැති එකී''  කියන හංවඩුව ගලවල අද මම මේ මගෙ නළලෙ ගහගත්තා...ඒ නිසාම අද මගෙ ඔලුවට හෙන හයියක් ආව බ්ලොග් පෝස්ට් දෙකක්ම ලියන්න.....!!!!!!!

Wednesday 19 October 2011

කිරිල්ලිගෙන් ඉල්ලීමක්............


(අළු පාට හැන්දෑව 3)


අළු පාට හැන්දෑවෙන් ඔයාලව හමුවෙන්න වින්චැට් කිරිල්ලි අදහස් කලේ..ඔයාලට ගොඩාක් වැදගත් පනිවිඩයක් ගෙනෙන්නයි..අනතුරු ඇඟවීමක් කරන්නයි..ඒත් කිරිල්ලිට දැන් දැන් හිතෙනව හෙමින් හෙමින් මේ කතාව කියාගෙන යන අතර තුර තව කීදෙනෙක්ව රකුස බිලි ගනීවිදෝ කියල...ඒ නිසයි අකමැත්තෙන් උනත් මේ වගේ පෙර දැන්වීමක් කරන්න හිතුනෙ.....

ආදරණීය අම්මේ,තාත්තේ,අයියේ,අක්කේ..........මම මේ කියන්නෙ ඔයාල ඔක්කෝටමයි...නංගියේ,මල්ලියේ,

තමුන්ගෙ ආර්ථික අගහිග කම් නිසාත්,මානසික අසාවන් වින්දනය සඳහාත්,මානසික ආබාධයන් නිසාත්,දැන් දැන් සමහරු ඉන්නව අපි අතරෙ ඉතාම ශූක්ෂම විදියට අහිංසක හොඳ මිනිස්සුන්ව රවට්ටල තමුන්ගෙ ලෙඩ මනස සුව කරන් ඒ අතරම කීයක් හරි කඩාගෙන තමුන්ගෙ ජීවිතෙ ඕන දේවල් ලබාගන්න, සපුරා ගන්න උදවිය...දැන්  අන්තර්ජාලය එයාල ඒ වැඩේට තෝතැන්නක් කරගෙන..අපේ ඇස්වහල..රවට්ටලා අපිව නොමග යවල අපෙන් අයුතු ප්‍රයෝජන අරන් එයාල අහක බලා ගන්නෙ අපේ ජීවිත එක්ක කරපු ඒ සෙල්ලමේ බරපතල කම ගැන වගක්වත් නැතුවයි.....
ඉතින් කෙනෙක්ව රවට්ටල,නොමග යවල තමුන්ගෙ වසඟයට අරන්,තමුන්ට ඕනා කරන දේවල් ලබා ගන්න මේ උදවිය නොකරන දෙයක් නැහැ...අන්තර්ජාලය ඔස්සේ මේක හරීම පහසු වෙලා තියනව මේ අයට....

මගේ කතාව කියවගෙන යන අතර තුර ඔයාලට තේරේවි,හීනෙකින්වත් හිතාගන්න,විස්වාස කරන්න බැරි තරම් අරුම පුදුම මිනිස්සු නේද අපි අතර ඉන්නෙ කියලා...ඇත්තටම උන් මනුස්සයො නෙවේ මිනිස් වෙස් ගත්ත දුස්ඨ රකුසො..!!  අමනුස්සයො..!!

මම මේ ලියාගෙන යන කතාවෙ ඉන්න රකුසත් ආන්න ඒ වගෙ එකෙක්..!! එයා එක එක වෙස් අරන් මතු වෙනවා..මේල් එකවුන්ට්ස් ගනනාවකින් පෙනී ඉන්නවා..බ්ලොග් කීපයක්ම ලියනවා..(මේ දවස් වල නම් ඒ සමහර බ්ලොග්ස් යට ගහන් ඉන්නෙ.) ඒවල එයා එයාගෙම ඇත්තම ජීවිත කතාව,ආදර කතාව, කිය කිය අපිව ඔයාලව රවට්ටන්න ලියන්නෙ,අමූලික පට්ටපල් තිත්ත පල් බොරු...!!!!
කාත්කවුරුත් නැති අනාතයෙක්...කවදාවත් ජීවිතේට මව් සෙනෙහස නොලැබුන කොල්ලෙක් ....කරුමක්කාරයෙක්....ජීවිතකාලෙම තනියම ජීවත්වෙන අහිංසකයෙක්...තමුන්ගෙම අම්මා අවජාතක කමට වදාගත්තු,ඒ නිසා ලොකෙන්ම හිංසා පීඩා විඳින දරුවෙක්.....යන එන මං නැතුව කිසිකෙනෙක් නැති බෝඩිං කාමරේක ජීවත් වෙන කන්තෝරු කාරයෙක්....පොඩි දරුවන්ට මහාත් උපකාර කරන වැදගත් මහත්මයෙක්....ඉතා ඉක්මනින් තමා මැරෙණ බව කියන හදවත් රෝගයකින් පීඩා විඳින්නෙක්...... 
මෙන්න මේ විදියටයි මේ රකුසා එයාගෙ බ්ලොග් වලින් අහිංසකයින් රවටන්නේ.....අනිත් මනුස්සයින්ට තමුන්ගේ දුක කිය කිය ඇත්තටම ඉකි ගහ ගහ අඬන්න මෙයාට ඇත්තේ සහජ පලපුරුද්දක්...!! මේ බව මා හැර තව දන්න අය සිටිනවා.....!!!  මෙන්න මේ විදියෙ වෙස් අරගෙනයි මේ රකුසා එන්නෙ..

මේ රකුසගේ ඇත්ත හැබෑ ජීවිත තත්වය සොයා ගන්නට ලැබුනේ මට විතරයි...මගේ කථාවෙ අවසන් හරියෙදි මම ඔයලා හැමෝටම කියන්නම් මෙයාගෙ ඇත්තම වගතුග.....එතකම් මම ඔයාල හැමෝගෙන්ම ගොඩාක් කරුණාවෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා...අනේ මේ අමනුස්සය ගැන අවධානයෙන් ඉන්න....!!!!

මෙයාට අහුවෙලා, මෙයාගෙ මායාබන්ධනයට කොටුවෙලා දුක් විඳින තව එක අහිංසකයෙක් හෝ මට බේරාගන්න ලැබෙනවානම් ඒකයි මගේ මේ ප්‍රයත්නය...එකම පැතුම..!!

ස්තූතියි ඔයාල හැමෝටම..

මම - වින්චැට් කිරිල්ලී..........

Monday 17 October 2011

නංගි ඔයාද මේ...............

(අළු පාට හැන්දෑව 2)

ඉතින්........මට හරිම නොඉවසිල්ලක් තිබුනෙ ඒ සැත්කමට ලක් උන පිරිමි ලමයා ආයෙ ජීවතුන් අතරට ආව කියල දැනගන්න කම්.....ඒ වගේම එයාට සනීප උනා කියල තිබුනා..එයා ලීවෙ එයා කාත් කවුරුත් නැති අනාතයෙක් කියල..අම්ම තාත්ත එක්ක එයාට තව අය්ය කෙනෙක් ඉන්නව ඒත් ඒ තාත්ත එයාගෙ ඇත්තම තාත්ත නෙවේ, ඒත් ඒ ගැන නම් එයාට විස්තර ලියන්න බැහැ කියල තිබුනෙ......
එයාගෙ අයියා පොඩි කාලෙ ඉඳන්ම එයාව මල්ලි විදියට බාර ගන්න කැමති උනේ නැහැ කිව්ව..එදා ඉඳන්ම කලේ වෙනස් කම් ලු..පොඩිකාලෙ ඉඳන්ම හැදුනෙ වැඩුනෙ ආචිචි එක්ක නැන්දල එක්ක ලු.. අම්ම වත්, හදාගත්ත තාත්ත වත් එයා ගැන හොයල බැලුවෙ නැහැ ලු.

එයා ඒ බ්ලොග් එකේ ලියල තිබුනෙ එයාගෙ ආදරේ ගැන..එයා ගැහැනු ලමයෙකුට ආදරේ කරනව ඒත් ඒ ගැහැනුලමය ආදරේ වෙන කෙනෙකුට...මෙයාව හොඳම යාලුව විදියටලු තියන් ඉන්නෙ...ඉතින් ඔය ගැහැනුලමය එක්ක එයාගෙ කථාව තමා එයා බ්ලොග් එකේ ලිව්වෙ..
වතාවක් ඒ ගැහැනුලමය මෙයාට කිව්වලු ආයෙ කතා කරන්නත් එපා පණිවිඩ එවන්නත් එපා,එයා ට ආදරේ කරන්න බෝයි කෙනෙක් ඉන්න නිසා එහෙම කරන්න එපා කියල.
ඊට පස්සෙ මෙයා මෙයාගෙ එකම මල්ලි මැරුණ විදිය ඒ ගැහැනු ලමයට කියල තිබුන...

මෙයාට උන්නලු පොඩි මල්ලි කෙනෙක්..ඒ මල්ලි විතරලු එයාට මේ ලෝකෙ උන්න එකම නෑයා එකම හිතවතා..මල්ලි එයා නැතුව කන්නෙ නැහැලු..නිදා ගන්නෙ නැහැලු..එයාලු මල්ලිට කවන්න ඕනෙ..නිදි කරවන්න ඕනෙ..පාඩම් කියල දෙන්නෙ.. දෙන්න නිදා ගන්නෙ එකම ඇදේ ලු..මල්ලි එයාට ආදරේ ලු පන වගේ..නැන්දල කිව්වලු මෙයා අයිය නෙවේ ඒ මල්ලිගෙ තාත්ත කියල..ඒ තරමට දෙන්න ආදරෙන් ලු හිටියෙ...ඒත් ඒ ලමයා පොඩි කාලෙ සෙල්ලම් කරද්දි වැටිල ඔලුව වැදිල, නහයෙන් ලේ ඇවිත් පස්සෙ රෝහලේදි සැත්කමකින් පස්සෙ මිය ගියා කිව්ව..ඉතින් මල්ලි නැති උනාට පස්සෙ තාත්ත අම්මවයි අයිය වයි විතරක් අරගෙන ඉන්දියාවට ගියාලු මෙයාව ආච්චි (අම්මගෙ අම්මා) ගාව දමල.......
මෙයා ඒ කාලෙ තනි උනාලු කාමරයක් ඇතුලට වෙලා..කිසි කෙනෙක් එක්ක කතා කලේ නැතිලු..මෙයාට කතා කරන්න බැරිව ගියාලු...

ඉන්දියාව ගිහින් මාස 3 ක කාලෙකින් පසු ආපහු ඇවිත් අම්ම කීවලු ඒ ගෙදර ඉන්න බැහැ කියල පස්සෙ එයාල ඔය දැන් ඉන්න ගෙදරට පදිංචියට ආව කියල ලිව්ව......
මෙයා එයාගෙ පුද්ගලික විස්තරත්,එයාගෙ පවුල ගැනත් ලිව්වෙ ඔය ටික විතරයි..දිගටම ලිව්වෙ එයත් අර ගැහැනු ලමයත් ගැන..(අනුන්ගෙ කෙල්ලෙක් ගැන.)

මට මේ පිරිමි ලමය ගැන ලොකු කණගාටුවක් දුකක් ඇතිවෙලා තිබුනෙ...ඒ මගෙ හැටි..අසරණ මනුස්සයො ගැන මගෙ හිත උණුවෙනව මගේ මැරුණු තාත්ත ට වගේම..ඒත් ඒ වෙනුවෙන් මට කලහැකි දෙයක් තිබුනෙ නැහැ..එයා නිර්ණාමික බ්ලොග් ලියන්නෙක්..අපි අතර දුර කිලෝ මීටර් දහ දාහක් විතර.....ඉතින් අනෙක් අය වගේම මාත් එයාගෙ හිත සනසන්න කොමෙන්ට්ස් දැම්ම....

ඔය අතර දවසක් මම දැක්ක තව අක්ක කෙනෙක් එයාට කොමෙන්ට්ස් දාල තිබ්බ..ඒ අක්කත් ලස්සන බ්ලොග් එකක් ලිව්ව..ඒ අක්ක ලිව්වෙ හරිම අර්ථවත් ලස්සන දේවල්..එයා ටීචර් කෙනෙක්..ඉතින් මම ඒ අක්කගෙ බ්ලොග් එකේ මගෙ නම කෙටි අකුරු දෙකකින් දාල, මගෙ මූණෙ පොටෝ එකකුත් දාල මෙම්බර් කෙනෙක් වෙලා කොමන්ට්ස් කලා......ඒක මගෙ දෙවෙනි බ්ලොග් එක...

ඉතින් අර මගෙ කලින් බ්ලොග් එකේ අනාථ පිරිමි ලමයත් මේකෙ කොමන්ට්ස් කල..එයා මේ ටීචර් අක්කගෙ ගෝලයෙක්  කියල තමා කිව්වෙ..ඒත් ඒ අක්ක නම් එයාව කවදාවත් දැකල වත් අඳුනන්නෙ වත් නැහැ....එයා පන්තියෙ උන්නෙත් නිර්නාමිකව වෙන්න ඇති........

දවස් කීපයක් ගත උනා..දවසක් මේ ලමයා මගෙන් අහුව කොමන්ට්ස් එකකින්ම.......''නංගි,ඔයාද මේ බ්ලොග් එකේ - - කියන නමින් ඉන්නෙ?'' කියල මම කිව්ව ඔව් කියල.....එයා ආයෙමත් එදාම ඒ බ්ලොග් එක හරහා පනිවිඩයක් එවල තිබ්බ ආයෙමත් ඒ ප්‍රශ්ණෙම අහල...මම දැනගෙන හිටියෙ නැහැ ඒකට පිලිතුරු යැව්වොත් මගෙ මේල් ඇඩ් එක එයාගෙ අතට යන බවක්..දුර දිග නොහිතා මම පිලිතුරු යැව්වා...

එදා 2010 පෙබරවාරි මාසෙ මුල් සතියෙ දවසක්.....පලාතම හිමෙන් වැහිල තිබ්බ දවසක්...එදා ඒ පාලු මූසල අළුපාට හැන්දෑවෙ.....මගේ ගූග්ල් එකවුන්ට් එකේ කොලපාට තිත එක්ක උන්න නාදුනන අමුත්තෙක්........!!!!!! 

Sunday 16 October 2011

මම දැකපු මුල්ම බ්ලොග් එක.............

(අළු පාට හැන්දෑව 1)


මම  ලංකාවෙදි පාසැල් ගියෙ 4 වසරට විතරයි.තවත් අවුරුදු 10 ක ඉගෙනගැනීමේ යුද්ධයක විරාමයක් එක්ක ටික දවසක් නිදහසේ ගෙදරට වෙලා උන්නෙ මම...ඒ 2009 දෙසැම්බර් මාසෙ........
ඉගෙන ගන්න කාලෙ මට අන්තර්ජාලෙ යාලුවො ඇසුරු කරන්න කාලයක් තිබ්බෙ නැහැ.පාසැල් වේලාවෙන් පස්සෙ හැමදාම හවසටත්, රාත්‍රි කාලයෙත් අමතර පන්ති යන්න සිදු උනා.සති අන්ත වල අපි ගෙදර උන්නෙ නැහැ.අම්මට යහලු යෙහෙළියො ගොඩාක් උන්නා අපි ඇවිදින්න ගියා නැත්නම් අය්යල ඉන්න රටට ගියා.එහෙමත් නැත්නම් අය්යල ගෙදර ආව.අපි දුර විනෝද ගමන් ගියා.මගෙ තනි පාවිච්චියට මටම කියල ලැප්ටොප් එකක් හම්බ උනෙත් ඒ කාලෙ.ඒ එක්සෑම් පාස් උනාට මට ලොකු අය්යගෙන් ලැබුන තෑග්ග.......
පාසැලෙත් පිටත් යහලු යෙහෙලියො හිටියට ඒ අය එක්ක ගොඩක් ලඟ ඇසුරක් පවත්වන්න මම කවදාවත් කැමති උනේ නැහැ.ඒකට එකම ඇත්ත හේතුව අවුරුදු 10 ක් බටහිර රටක හිටියත් බටහිර කෙල්ලෙක් විදියට හුරුවෙන්න,හැඩගැහෙන්න මට බැරි උන එක..මගෙ හිතේ තිබ්බ අකමැත්ත........
සියලු සැප සම්පත් ලැබිල කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් ජීවත් උනත්,මම හිතින් ජීවත් උනේ මගේ රටේ..අපේ ගමේ..අපේ මහ ගෙදර..මගෙ පුංචි කාලෙ යහලුවො එක්ක...මට ගොඩාක් ආදරේ කරපු නැන්දල එක්ක..අපේ භාශාවෙන් කතා කරන්න..විහිලු කරන්න..සිංහල පොත්,පත්තර,සඟරා කාමරේ ගොඩගහන් උන්න මම....ලංකාවෙ යහලුවො ඇතිකරගන්න ගොඩාක් ආසාවකින් උන්න නිසාම ස්කයිප් එකවුන්ට් එකක් හදන් යාලුවො කීපදෙනෙක් එකතුකර ගත්තා......
දවසක් ඒ ස්කයිප් යාලුවෙක් මට දුන්න බලන්න කියල සිංහල බ්ලොග් එකක්.ඒක තමා මම මගෙ ජීවිතේට මුලින්ම දැකපු බ්ලොග් එක......කවදාවත් බ්ලොග් එකක් දැකලවත් කියවල වත් පුරුද්දක් නැති කම නිසා මට ඒක පෙනුන් නිකම් තේරුමක් නැති දෙයක් වගේ..උඩින් මත්තෙන් කියවල ඩිලිට් කලා.......
එදා රෑ මට හිතුනා ඒ බ්ලොග් එක හොඳට කියවල බලන්න ඕනෙ කියල..ආයෙමත් හොයාගෙන කියවන්න ගත්ත(පෙර ආත්ම වල කල පව් අපි පසු පස එනවලු..ඒ ගැන දැන් මට හිතෙන්නෙ මෙහෙම.)
ඒ වෙද්දි කතා කොටස් 3 ක් 4ක් විතර ලියල තිබුන ඒ බ්ලොග් එක ලිව්ව කෙනා තමාව හදුන්වල දීල තිබුනෙ...''ජීවිතේ පුංචි කාලෙදිම තනිවෙලා..ඒ තනිකම ජීවිතේ උරුමය කර ගත්ත..තවත් එක කරුමක්කාරයෙක්..'' කියල.(පස්සෙ මේක එයා ටිකක් වෙනස් කලා.)
එයා ලිව්ව විදියට ඒ දවස්වල එයා උන්නෙ අගනුවර පෞද්ගලික රෝහලක.එයාගෙ හදවතේ සැත්කමක් කරන්න නියම වෙලයි උන්නෙ..එයා කියල තිබුන ඒ සැත්කමින් පස්සෙ ආයෙමත් එයාට අපි අතරට එන්න ලැබෙයිද,එයා අවසන් ගමන් යාවිද හරියටම කියන්න බැහැ කියලා.....
මේක කියෙව්වාම මට මහා දුකක් දැනුනා...හුස්ම ගන්න බැරිවෙන්න එක පාරටම යකඩ ගුලියක් පපුව ඇතුලෙ හිර උනා වගේ දැනුනා..මට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු..රාජකුමාරියෙකුට වගේ සැප සම්පත් දීල..ඇස්දෙක වගේ මාව ආරක්ශා කරන් හදල,  අන්තිමට අගනුවර පෞද්ගලික රෝහලකදි අපිව සදහටම දාල ගිය මගේ ලෝකෙ හිටපු එකම දෙවියව මට මතක් උනා......ඒ මගේ තාත්තව....



Friday 14 October 2011

අළු පාට හැන්දෑව...............
( පළමු පිටුව.)


රකුසො එන්නෙ හැන්දෑවට...මළහිරු බැහැගෙන යන වෙලාවට..අන්ධකාර හිම වළාකුලු පොළවට ලංවෙන..අළු පාට හැන්දෑවට........
ලස්සන වින්චැට් කුරුල්ලො ඉන්නෙ ඒ හිම වැහි වහින රටවල..
මීට අවුරුදු දෙකකට ආසන්න කාලෙකට එහා...ඒ වගේ පාලු අළු පාට හැන්දෑවක තමා..ඒ නපුරු රකුසගෙයි පුංචි වින්චැට් කිරිල්ලි ගෙයි කතාව පටන් ගත්තෙ........

ඉස්සර පුංචිකාලෙ මට ආත්තම්ම කියල දුන්න රාජකුමාරියන්ගෙ කතන්දර වලත් උන්න මේ වගේම මයාකාරයො..දිය රකුසො..ඒත් මම කවදාවත් හිතුවෙ නැහැ ඇත්තටම මේ ලෝකෙ එහෙම මායාකාරයො නපුරු රකුසො අපි අතර ඇති කියල....ඇත්තමයි උන් ඉන්නවා අපි අතර....
මේ කතාව ලියන්නෙ ආන්න එහෙම නපුරු රකුසෙකුගෙ මායාබන්ධනයෙන් මිදුනට පස්සෙ...
අන්තර්ජාලයේ ඉන්න මේ වගේ නපුරු රකුසන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියල ඔයාල හැමෝගෙන්ම ඉල්ලනව මම...

එහෙනම් අද ඉඳල ඔයාලත් කියවන්න  ඒ නපුරු රකුසගෙ දුශ්ඨ මායාවට හසු උන ඒ පුංචි වින්චැට් කිරිල්ලි ගැන.....ඒ මම...............