My Blog List

Tuesday 28 February 2012

මූණු පොතේ සෙල්ලම...!!


 (අළු පාට හැන්දෑව 27.)

ඒ වෙනකොට රාජ්ට අවශ්‍යම දෙයක් වෙලා තිබුනෙ ලැප්ටොප් එකක්..ඒ වගේම එයා ගොඩාක් දුක් වෙවී උන්නනෙ එයාගෙ නැති උන ලැප්ටොප් එක ගැන..ඉතින් ඒ වෙලාවෙ මට කල හැකි එකම දේ තමා එයාට ලැප් එකක් අරන් දෙන එක..එයාගෙ උපන්දිනේට සුදුසුම තෑග්ග ඒක කියලයි මට හිතුනෙ.......
ඒත් එයා කිව්වෙ ලැප්ටොප් එකක් ගන්න එයා ගාව මුදල් තිබෙන නිසා මගෙන් එහෙම දෙයක් අවශ්‍ය නොවන බව......
අපේම මගේම කියන කෙනෙකුගෙ උපන් දිනයකට එයාව සතුටු කරන්න තෑග්ගක් අරන් දීල සුභපතන  එක අපේ සිරිතක්නෙ, ඉතින් මාත් හිතුව එහෙම නම්  එයාට වෙන මොකක් හරි තැග්ගක් යැවිය යුතුයි කියල...
පස්සෙ උපන්දිනය වෙනුවෙනුත් ලඟම තිබ්බ නත්තල වෙනුවෙනුත් දෙකටම මම ආයෙමත් තෑගි පෙට්ටියක් හදල එයාගෙ ගෙදර ලිපිනය ඉල්ලුවාම මට දුන්නෙ නැහැ, අම්මලගෙන් ගොඩාක් කරදර වේවි කිව්ව..පස්සෙ මම මීගමුවෙ එයා වැඩ කරනව කිව්ව ඔෆිස් එකේ ලිපිනය ඉල්ලුවාම එයා කිව්වෙ....
''..ඕනෙ නැහැ ඔයාට මම අර කලින් දුන්න ජාඇල ඔෆිස් එකටම එවන්නකො..''
''..අපරාදෙනෙ එහෙ යන්නෙ ඔයාගෙ අතටම ලැබෙනවනෙ ඔයා ඉන්න ඔෆිස් එකේ ඇඩ්‍රස් එක දෙන්නෙකො මට..''
''..නැහැ..මේකයි  අපි ලඟදිම ආපහු ජාඇල ඔෆිස් එකට යනව ඒ නිසා ඒකටම එවන්න මට ලේසියි ඒක..''
මේ දවස් වල අපි අතර මෙහෙම කතාවකුත් වෙලා තිබුන..දවසක් හදිසියෙම රාජ් මගෙන් ඇහුව....
''..ඔයාගෙ කාමරේ ටෙඩිබෙයාර්ස්ල ගොඩාක් ඉන්නව නේද?..''
''..ඔව් මම එයාලව එකතු කරනවනෙ..ඇයි?..''
''..නැහැ..මට පුංචිකාලෙ උන්නෙ එකම එක ටෙඩියෙක්..ගොඩාක් ලොකු වෙනකම්ම මම ඌව තියන් උන්න..මේ ලඟකදි දැක්ක උගෙ කෑල්ලක් වත්තෙ කුනු ගොඩක තිබුන..''
එයා එහෙම කිව්වෙ ගොඩාක් දුකින් වගේ.....(මගෙ ''පඬුපුල් ආසනේ'' උනු වෙනවනෙ ඕව ඇහෙනකොට.)ඉතින් එදා මම කිව්ව..
 ''..දුක් වෙන්න එපා මම ඔයාට මගෙ ටෙඩියෙක් එවන්නම්..'' කියල..........

ඉතින් මම එදා අමතක කලේ නැහැ එදා ඒ යැව්ව පෙට්ටියට ලස්සණ වටින ටෙඩි බෙයාර් කෙනෙකුත් අරන් දාන්න......
(පස්සෙ කාලෙක මට ආරංචි උනා මේ මම යැව්ව ටෙඩියව එයා එයාගෙ අම්මට දුන්න කියල..) ....ඒත් මට නම් කිව්වෙ එදා එයාගෙ ඇඳේ තියාගෙන ඉඳල පහුවදා අම්මලාට පේන්නෙ නැති වෙන්න එයාගෙ අල්මාරියෙ හැංගුව කියල....!!!


මේ දවස් වල අපි දෙන්න හරිම ආදරෙන් උන්නෙ....(සමාවෙන්න... මම හිතුව ඒක තමා ආදරේ කියන්නෙ කියල..)
අර හැමදාම තිබ්බ ගුප්ථ ගති,,පරස්පර විරෝධී කතා,,අදහස්,,අහුවෙන බොරු,,පළි ගැනීම්,,නොවරදවාම වරින් වර ඉස්මතු උනත්,මෙයා ඒ හැම වෙලාවකදීම පොඩි එකෙක් වගේ නහයෙන් අඬ අඬ මගෙන් සමාව ඉල්ල ඉල්ල,මට ආදරෙයි කිය කිය...පූස් පැටියෙක් වගේ හුරතල් වෙවී මා ගාව උන්න..කිසිම විදියකින් මට එයාව දාල යන්න බැරි වෙන්න..එහෙම අවස්ථාවක් උදා නොවෙන්න....!!
මේ දවස් වල මොකක් හරි හේතුවකට අනුත්තරා ගැන කතාව ඇදිලා ආව..
''..ඔයාට කිසිම ආරංචිඅයක් නැද්ද අනුත්තරා ගැන?..''මම ඇහුවා..
''..නෑ..කිසිම දෙයක් නෑ.. දැන් නම් මැරි කරලත් ඇති..'' එයා කිව්ව..
පස්සෙ රාජ් කිව්ව අනුත්තරා මූණුපොතෙනුත් රාජ්ව බ්ලොක් කල නිසා කිසිම දෙයක් දැනගන්න විදියක් නෑ ඒ නිසා මට පොඩ්ඩක් මූණුපොතේ බලන්න කියල...එයා දුන්න හෝඩුවාවල් ඔස්සෙ හොයද්දි මට හමු උනා අනුත්තරාවයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්වයි..රාජ්ගෙ අනුදැනුම පිට මම එයාලට ෆ්‍රෙන්ඩ් රික්: යැව්වා..දවසක් අනුත්තරා ඔන්ලයින් උන්න, මම එයාට කතා කලා...එයා දකින්න ඇති අපේ රිලේශන් ශිප් එක..එයා මගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා මම ඒවට උත්තර දුන්නාම එයා කිව්ව ''රාජ්'' නමින් එයාගෙත් යාලුවෙක් උන්න කියල..පස්සෙ මට සුභ පතල එයා මාවත් මූනු පොතෙන් බ්ලොක් කරල දැම්ම....
ඊට දවසකට පස්සෙ මම දැක්ක අනුත්තරාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මූනුපොතේ ඔන්ලයින් ඉන්නව...එක පාරම එයා මට මෙහෙම කතා කලා.....
''..හෙල්ලෝ..''- - - -'' බේබී...! කෝමද?..'' මම ගැස්සුනා.. පුදුම හිතුන..!..මේ මිනිහ කෝමද මට එහෙම කතා කරන්නෙ.? එවෙලෙම මම දැක්ක රාජ් ඉන්නව ඔන්ලයින්...බැලින්නම් දෙවියනේ ඒ මට එහෙම කතා කලේ අනුත්තරාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙවේ,ඒ බෝයිගෙ එකවුන්ට් එකට හොරෙන් රිංගගත්තු රාජ්...!!

''..හුරේ..වැඩේ හරී..භයවෙන්න එපා..මේ මම..දුන්න වැඩේ මූට...''
මට පුදුම බයක් දැනුන ඒ වගේම මහා පිලිකුලක්...!!

''..ඔයාට පිස්සුද?? ඔයා මොකෝ කරන්නෙ ඔය අනුන්ගෙ එකවුන්ට් එකක? එපා ඕකෙන් කතා කරන්න මා එක්ක..යන්න අහකට.. ඒ බෝයි දැක්කොත්..? යන්න ඕකෙන්..''

''..හහ්..දැක්කොත් මොනා කරන්නද? ඌට බයේද මම..?''

කරන්න තියන පහත්ම ජරා වැඩක් කරල රාජ් එදා ඒ එකවුන්ට් එකෙන් අයින් වෙලා තිබ්බෙ.....

එදා අපේ රිලේෂන් ශිප් එක අනුත්තරාට පෙන්වන්නත්.අනුත්තරාගෙයි එයාගෙ බෝයිගෙයි පුද්ගලික ජීවිතේ යම් යම් දේවල් දැනගන්නත්,ඒ වගේම ඒ බෝයිගෙ මූනුපොත් එකවුන්ට් එක විනාශ කරල දාන්නත්,මටත් නොදැනිම රාජ් මාව යොදාගත්ත බව මම දැන ගත්තෙ ගොඩාක් පහුවෙලා.....!!

Friday 24 February 2012

රකුසු ගීතය......!!!!

 (අළු පාට හැන්දෑව 26..)
අද මුලින්ම දෙයක් කියන්න ඕනෙ,අනුත්තරා ගැනත් මා ගැනත් කාගෙ හරි හිතක වැරදි වැටහීමක් තියනවා නම් ඒක නිවැරදි කල යුතුයි.......
අනුත්තරා රාජ්ගෙ පෙම්වතිය නොවෙයි...කිසිම දාක එහෙම වෙලා ඉඳලත් නැහැ...රාජ් අනුත්තරාගෙ හොඳ යාලුවෙක් වෙලා උන්න පමණයි..නමුත් මේ හොඳ යාලුකම ඇතිකර ගෙන තියෙන්නෙත්,මෙම යාලුකම පවත්වාගෙන ගිහින් තිබෙන්නෙත්, රාජ් මවල ගොතල කිව්ව බොරු සම්භාරයක් මත බව අනුත්තරා පසුව දැනගත්තා.......

මම දන්න තරමින් රාජ් අනුත්තරාටත් එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ටත් මහාම මහා ඇනයක් වෙලා උන්න.....

මම හරිද අනුත්තරා අක්කී?....වැරැද්දක් අඩුපාඩුවක් තියනවානම් නිවරද කරන්න ප්ලීස්.......

එදා 2010-10-10 දිනය..මගේ 20 වන උපන් දිනය..!!

තවත් බ්ලොග් එකක් ලියන අක්ක කෙනෙකුගෙත් උපන් දිනේ එදාටම යෙදිල තිබුන...ඒ අක්ක උන්නෙ ලංකාවෙ නෙවේ ගොඩාක් දුර රටක....

((විශේෂයෙන් කියන්න ඕනෙ මේ අක්ක එදත් අදත් මා එක්ක මගෙ දුකට සැපට ඉන්න කෙනෙක්..කවදත් මගේ ප්‍රශ්න දුක් කතා වලට සාධාරනව ඇහුම් කන් දුන්න කෙනෙක්..ඒවගේම යහලුවො කාටත් හැකි පමණින් උදව් උපකාර කරගෙන ඉන්න මෙයා..''අනුන්ගේ ප්‍රශ්න දිහා තමුන්ගේ රාමුවෙන් බල බල පිළිතුරු දෙන්නෙ නැති,අනුන්ට බොරු වැදිබණ දේශනා කරන්නෙ නැති'' උගත් බුද්ධිමත් අවංක කාන්තාවක්..!!...මම ඔයාට හැමදාම ගොඩාක් ගරු කරනව අක්කේ  ස්තූතියි...!!))

ඉතින් එදා......මගෙ උපන් දිනේට කලින් දා මහා රෑ 12 ට රාජ් මට පලමු සුභ පැතුම එව්ව කෙටි පණිවිඩයකින්..පහුවදා උදේ මූණුපොතේ මෙන්න මෙහෙම තිබුන.........

Ra- - - - -  - - -  - --
මගෙ පුංචි තාර පැටියට සුභම සුභ උපන්දිනයක් වේවා!

--බකමූණා--
 ·  · October 10, 2010 at 12:13am


ඔය අතරෙ එයා නිතරම කනස්සල්ලෙන් උන්න එයා ඉගෙන ගන්න විෂයයන් එයාට තේරුම් ගන්න බැහැ කියල..මම දන්න තරමින් මීට කලින් තිබ්බ විභාග පරීක්ෂන වලදි එයා සමහර විශය යන් වලට පිළිතුරු දුන්න සමහර ඒවා මග ඇරල දැම්ම..එයා නිතරම කිව්වෙ..''මට මේව මොකුත් තේරෙන්නෙ නැහැ මම මේවා අල්ලල වීසි කරල දානව'' කියල...

ඊට පස්සෙ,ඊට පස්සෙ කිව්ව එයාට ඉදිරියට කරන්න තියන එයාගෙ 'ප්‍රොජෙක්ට් එක' කරන්න විදියක් නැහැ කියල..ඒක එයාට අහගන්න කෙනෙක් නැතිලු..උදව් කරන්න කෙනෙක් නැතිලු..ඒකට සුපවයිසර් කෙනෙක් හොයා ගන්න බැරිලු..ඉතින් මේ දවස් වල මට අහන්න උනේම ඔය වගේ අඳෝනා කන් කෙඳිරි මැසිවිලි.......

මෙයාට ඒ සම්බන්ධ්ව උදව් කරන්න කෙනෙක් හෙව්ව මම..මම පුදුම විදියට මහන්සි උනා මේ නිසා..රෑ නිදි මරාගෙන පිට රට ඉන්න ලංකාවෙ අයගෙන් උදව් ඉල්ලුවා ලංකාවෙ එහෙම කෙනෙක් හොයල දෙන්න කියල..කොපමන මුදලක් අය කරත් කමක් නැහැ කියල..රාජ් ගෙ ගෙදරට ගිහින් හෝ රාජ්ට ඒ තැනැත්තන්ව හමු වෙලා අවශ්‍ය දේවල් ඉගෙන ගන්න..මේ අතර පිට රට උන්න ලංකාවෙ හිතවත් අයගෙ මාර්ගයෙන් ලංකාවෙ කීපදෙනෙක් මේකට මට හමු උනත්,මොකක්දෝ ගුප්ථ හේතුවක් නිසා රාජ් මෙම පුද්ගලයින්ම මග හැරියා...උවමනාවෙන්ම මග ඇරල දැම්ම........(මම මේ කියන දේ ගැන දන්න අය ඉන්නව මේ බ්ලොග් එක කියවන අය අතරත්.)

ඊට පස්සෙ මෙයා කොලඹ යනව කිව්ව එයාලගෙ ක්ලාස් එකේ සර් ගෙන්ම ඒවා අහගන්න....ඒ එක්කම ආයෙමත් මෙයාට ඇති උන ප්‍රශ්නෙ තමා..සර් කියන ඒවා කොපි කර ගන්න ඕනෙලු..එයාට තියෙන්නෙ පෙන් එකක් ලු...ඒක නැති උනොත් ඔක්කොම ඉවරලු..ලැප්ටොප් එකක් නැතුව ඒක කොහෙත්ම කරන්නම අමාරුයිලු........
මගෙ උපන් දිනේ පහුවෙලා ඊගාව මාසෙ එයාගෙ උපන් දිනේට දින කීපයක් තිබුනෙ...මම කලින් කිව්ව වගේම එයාට කිව්ව..
''ඔයාට මම ලැප් එකක් අරන් දෙන්නම්..එවන්න ඔයාගෙ බෑන්ක් එකවුන්ට් නම්බර් එක..මම සල්ලි එවන්නම් ඔහෙන් ඔයාට හොඳ එකක් ගන්න..''
ඒකට එයා කිව්වෙ මෙහෙම.....
''..නෑ..නෑ මට ඔයාගෙ සල්ලි එපා මා ගාව සල්ලි තියනව මම ලැප් එකක් ගන්නම් ගන්න දාට ඔයාගෙන් රුපියල් 10 ක් ඉල්ල ගන්නම්කො..''
''..රුපියල් 10 ක්?..''
''..ඔව්.ඔව්..ඒ ඇති එතකොට ඔයත් ඒකට සම්මාදන් වෙලානෙ..''

ඔය දවස් වල රකුස මට සින්දුවක් රෙකෝර්ඩ් කරල එව්ව..ඔයාලත් කැමතිද ''රකුසු ගීත'' අහන්න???????

මෙන්න එහෙනම්.........(මේ ලස්සන රකුසු ගීතය මෙතන පළ කරන්න මට උදව් කරපු අයියට ගොඩාක් පින්..! :):)

රකුස කියපු සිංදුව

Sunday 19 February 2012

මගුල් ගමන..!!


මම මුලින්ම මණමාලියෙක් (යහළු.) උනේ මීට අවුරුදු 3 කට කලින්..මේක අමුතුම දවසක් මගේ ජීවිතේ...කවදාවත් අමතක කරන්න බැරි......!!

අපේ අම්මගෙ හොඳම යාලුව තමා එයාගෙම ඔෆිස් එකේ ඉන්න නැන්සි..නැන්සි අපේ අල්ලපු රටක කෙනෙක්,ජොබ් එක නිසා ඉන්නෙ මෙහෙ,එයාගෙ මහත්තයයි පුතයි එක්ක...එයාල නිතරම අපේ ගෙදර යනව එනව..එක නිවාඩු කාලෙක අපිත් නැන්සිල එක්ක එයාලගෙ රටට ගියා..එයාලගෙ ගෙදර උන්නෙ එයාගෙ එකම මල්ලියි..නංගියි විතරයි..අම්ම තාත්ත නැතිවෙලා ගොඩාක් කල්..මල්ලි අවුරුදු 40ක් විතර අවිවාහක කෙනෙක්,ප්‍රියමනාප චරිතයක් තිබුන එයා 'මිශෙල්'..නැන්සිගෙ නංගි මට වඩා අවුරුදු 4ක් වැඩිමල්..එයාගෙ නම 'ලියා'..එයා නැන්සිලාගෙ එකකුසේ උපන් සහෝදරි නෙවේ..අවුරු 2 වයසෙදි ලු ලියාව හදා ගන්න අරන් තියෙන්නෙ එයාල..ලියා හරිම ලස්සන උගත් කඩිසර කෙල්ලෙක්..රසට කෑමබීම හදන්න,කඩිය වගේ දුව දුව ගෙදර වැඩ කරන්න..ඒ වගේම ලස්සනට ඇඳුම් මහන්නත් එයාට පුලුවන්......
ඉතින් එදා ලියයි මමයි ගොඩාක් හිතවත් උනා..අපි හොඳ යාලුවො උනා..එයා මාව එක්ක ගියා ඒ ගෙවල් කිට්ටුව තිබුන සුපර්මාකට් එකකට පළතුරු ගේන්න..ඒ සුපර් එකේ අයිතිකාරය අවුරුදු 38 ක විතර, උස මහත පුද්ගලයෙක්..එක ඇහැක විකෘති පෙනුමක් වගෙත් තිබුන එයාගෙ..මෙයා 'කෙවින්',ඉදිරි මාස කීපය තුල ලියා මැරි කරන්න ඉන්න කෙනා කියල මට හඳුන් වල දුන්නෙ....
දෙයියෝ සාක්කි..!ඒක අහල මට පුදුම හිතුන..ඒ දෙන්න කොහෙත්ම ගැළපෙන්නෙ නම් නැහැ..ඒ ගෙදර පුංචි කුමාරියක් වගේ ඉන්න ලියා මේ දඩෝරියං මිනිහට කැමති උනේ කෝමද කියල මට පුදුම හිතුන..! ලියාට මගෙ හිත තේරිලාද මන්ද.......
''..ඔයා කෙවින්ට කැමති නැහැ..එහෙම නේද?..''
''..ම්ම්..නෑ එහෙම නෑ..''
''..මේ අහන්න..කෙවින් හරීම හොඳ කෙනෙක්..මට තාත්ත වගේ..අයිය වගේ..හොඳම බෝය්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එයා.. හොඳ හස්බන්ඩ් කෙනෙක් වගේ මාව බලා ගන්නව එයා..එයාට ගොඩාක් සල්ලි තියනව..අනික මම එයාලගෙ ගම්පලාතට පුදුම විදියට කැමතියි..ඔයා දැක්කොත් පිස්සු වේවි ඒ පැත්ත..!..''
''..මම එහෙම ගොඩාක් දේවල් හිතුවෙ නෑ ලියා..ඔයාල දෙන්නව මම දැක්ක විතරනෙ සොරි..!..''
''..හරි ඒකෙන් කමක් නැහැ..අපි අද කතා උනා දෙයක් දන්නවද? අපේ වෙඩින් එකේ ඔයා තමා මගෙ බ්‍රයිඩ්මේඩ්..''

ඊට මාස 3 කට විතර පස්සෙ අපි ආයෙමත් නැන්සිලාගෙ ගෙදර ගියෙ ලියාගෙ වෙඩින් එකට..ලස්සන කහ මල් ඇප්ලික් කරපු බටර් පාට ලියාගෙ වෙඩින් ගවුමත්,මගෙ මොනර නිල්පාට යාලුවගෙ ගවුමත් ලියාගෙ අතින්මලු හැදුවෙ තව යාලුවෙක් එක්ක එකතු වෙලා...කහපාට මල් පොකුරු දෙකක් අපි දෙන්නගෙම අත් වලට ලැබුන......
කෙවින් ලගෙ ඒ කියන්නෙ මනමාලයගෙ ගම එහෙ ඉඳන් කිලෝ මීටර් 200ක් විතර දුරක...ඒ ගමේ පල්ලියෙ එදා දවල් 11ට තිබුන මගුල් පූජාවට අපි යා යුතුව තිබුන..පල්ලියෙ කටයුතු වලින් පස්සෙ ඒ පලාතෙ ලස්සනම උද්‍යානයක් එක්ක තිබුන නිවාඩු නිකේතනයක තමා උත්සවය සූදානම් කරල තිබුනෙ...

මණමාලිව එක්ක එන්න කෙවින්ලගෙ පැත්තෙන් එවල තිබුන අලුත්ම දිලිසෙන තද නිල්පාට 'ජගුවර්' කාර් එකක්..ඒකෙ ඉස්සරහ නිල් රිබන් වලින් ගැට ගහපු ලොකු කහ මල් පොකුරක් ගහල තිබුන..දොරවල් දෙපැත්තෙත් කහ මල් කිනිති නිල් රිබන් වලින් ගැට ගහල.....
ඔන්න ඉතින් එදා පාන්දර 0730 විතර උදේට කාල බීල අපි ලියාලගෙ ගෙදරින් පල්ලියට යන්න පිටත් උනා...
අපි ඔක්කෝම හිටියෙ 20ක් විතර..ඉස්සරහින් කාර් එකක් යනව..ඊට පස්සෙන් අර මල් මල් ජගුවර් එකේ මමයි ලියායි..අපේ පිටි පස්සෙන් නැන්සි එයාගෙ හස්බන්ඩ්..එයාලගෙ පුතා අපේ අම්ම....ඊට පස්සෙ අනිත් කාර් ටික.....

අපි හයි වේ එකේ මිනිත්තු 20 විතර ගිහින් අතුරු පාරකට හැරුන කෙවින්ලගෙ ගම්පලාතට යන්න..එහෙම හැරිල මිනිත්තු 2 ක් වත් ගියෙ නැහැ එක පාරම ජගුවර් ගමන බාල කරල ගැස්සිලා නතර උනා පාර මැද්දෙ..ඔන්න කට්ටියම පාරෙ නතර වෙලා දැන්..පිරිමි කීපදෙනෙක් ජගුවර්ව තල්ලු කරන් ගියා පාර අයිනට..ඉස්සරහ බොනට් එකේ තිබ්බ අර විශාල මල් පොකුර කවුද ගෙනත් තිබ්බ මගෙ උකුල උඩින්...හප්පා දූවිලිත් එක්ක..! ඊට පස්සෙ මොනාද මොනාද කරල ඔන්න කාර් එක යාන්තම් ස්ටාට් උනා..ආයෙත් ලොකු මල් පොකුර මගෙ ඔඩොක්කුවෙන් ගියා බොනට් එක උඩට..! හ්ම්...දැන් ඔන්න අපි ඉදිරියට යනව............

අපි වෙඩින් එකට ලියා ලගෙ ගෙදරට ආපු වෙලේ සිට මේ දක්වාම මම දැක්කෙ නැහැ ලියාගෙයි,නැන්සිගෙයි අර එකම සහෝදරය මිශෙල්ව..කාටවත් ගානක් වත් නැහැ..ඒ උනාට මට කුතුහලේ..මේ යන ගමන්ම මම ලියාගෙ කනට කරල රහසින් ඇහුව...
''..හේයි..කෝ මිශෙල්? මම එයාව දැක්කෙ නැහැනෙ..''
''..ෂ්ෂ්.!..මේක රහසක් හරිද?.. එයා මුල ඉඳන්ම කෙවින්ට කැමති නැහැ..එයා කිව්ව මේ වෙඩින් එක වෙන්න බැහැ කියල..එහෙම උනොත් මගෙ වෙඩින් එක දාට එයා ගෙදරින් යනව කිව්ව..ඉතින් පෙරේද එයා ගියා..''
''..මොනවා? එයා කොහෙද ගියෙ?..''
''..එයා අසනීපයි කියල - - ප්‍රයිවට් ක්ලිනික් එකේ ඇඩ්මිට් වෙලා සතියකට..''

ඔන්න එතකොටම ජගුවර් ගැස්සිලා ගැස්සිලා ආයෙමත් නතර උනා පාර මැද්දෙ....
කලින් විදියටම මල්පොකුර ආව මගෙ උකුලට..කට්ටිය ඉස්සරහ ඇරගෙන හදනව..ඒ පාර පැය භාගයක් විතර ගියා..ස්ටාට් කර ගත්ත..මල්පොකුර ගියා උන්න තැනටම..

දැන් ඔන්න ආයෙමත් අපි ඉදිරියට යනව...ලියා මට කිව්ව කතාව ඇත්ත ඒ පලාත පුදුම ලස්සනයි..හුස්ම ගන්න සුළඟ පවා අමුතුම සුවඳක්..කඳු බෑවුම්..නිල්පාට වතුර..පාර දෙපැත්තෙම ඇපල් වතු..පෙයාර්ස් වතු..පීච් ගස් වලට පිස්සු හැදිල වගේ...පාර අයිනෙ දෙපැත්තෙම කැලෑ මල් පඳුරු වල පාට පාට පුන්චි මල් පිරීල...බැහැල ගිහින් අර මල් කිනිති ටිකක් කඩාගෙන දුවගෙන එන්න ඇත්නම් කියල හිතුන මට....!!
ඊට පස්සෙ අපි ඇතුල් උනේ ඈත දුර පේන තැනිතලා බිම් පෙදෙසකට..පාර දෙපැත්තෙම තිරිඟු යායවල්..විශාල එලවලු කොටු..ස්ට්‍රෝබෙරි ෆාම් වල රතු බල්බ්ස් දාල වගේ ගෙඩි පිරීලා...!!

වට පිටේ ලස්සන බල බල යනකොට ඔන්න එක පාරටම ආයෙමත් ජගුවර් නතර උනා...

මේ තුන් වෙනි වතාව..!! දැන් දවල් 11 ට ලඟයි..අපි තාම ගමනෙන් භාගයයි ගිහින් තිබුනෙ..දැන් නම් වෙලාවට පල්ලියට යනව තියා හිතන්නවත් බැහැ..ලියාගෙ මූණ මලගෙයක් වගේ..මටත් මල පනිනව අර ලොකු මල් පොකුර දූවිල්ලත් එක්ක උකුලට ගෙනත් තිබ්බාම..! ඔන්න කිව්ව වගේම මල්පොකුර ආව උකුලට ලියා ඒක ගත්ත ගමන් වීසිකලා වීදුරුවෙන් එලියට..!
කාර් එක නවතින එකට කේන්තිය එයා පිට කර ගත්තෙ එහෙම..හිනාව කාගෙන උන්නට මටත් ගමන නම් එපා වෙලා උන්නෙ..දන්න ශිල්ප ඔක්කොම දාල ට්‍රයි කලත් ඒ පාර නම් ජගුවර් හෙල්ලුනේ වත් නැහැ..ඔන්න මණමාලයගෙ පැත්තෙන් පණිවිඩයක් ආව මිකැනික් කෙනෙක් එක්ක ඉක්මනින් එනව කියල...අපි දැන් පාර අයිනට වෙලා බලන් ඉන්නවා........

ඔය අතරෙ මගෙ ඇස්දෙක ජිල්බෝල දෙකක් වගේ කැරකෙනව අර අල්ලපු වතු වල තියන රතුපාට අලි ස්ට්‍රෝබෙරි ගෙඩි දිහාවට..!! අපේ අම්මටත් වෙලාවකට දිවැස් පේනවනෙ..මා ගාවට කිට්ටු කරල කියපි..''මම දන්නව ඔයා හිතන දේ මගෙන් ගුටි කන්න එපා හොඳේ?..''
මදැයි කොලා..උදේ ඉඳන් පානුත් නැතුව කන මේ පරිප්පු මදිවට කාපල්ලකො ගුටිත්..!!

හ්ම්ම්ම්..ඉතින් මගෙ ස්ට්‍රෝබෙරි බඩගින්න දුකසේ ඉවසා දරාගෙන උන්න මම...

පැයකට විතර පස්සෙ මණමාලයගෙ පැත්තෙ කීපදෙනෙක් ආව මිකැනික් කෙනෙක් එක්ක...ටික වෙලාවක් බලල එයා කිව්ව ඒක එතන හදන්න බැහැ කියල..මට තේරුනේ නැහැ ඒ කිව්ව දේවල්....
ඉතින්..ජගුවර් ව එතන දාල අපි දෙන්නව වෙන කාර් එකක නග්ගවගෙන කට්ටිය පිටත් උනා පල්ලියට යද්දි දවල් 2 ට විතර ඇති..පල්ලිය ඇතුලෙ කටයුතු වෙද්දි මම උන්නෙ අසිහියෙන් වගේ මහන්සියට,බඩගින්නට මාව කැරකෙන්න ගත්ත..ඊට පස්සෙ අපි ගියා අර උත්සවය ලෑස්ති කරල තිබ්බ තැනට..දවල්ට කෑම කන්න ලෑස්ති වෙද්දි හවස 4 ට විතර ඇති..මම හාමත් වෙලා උන්නෙ..කාර් එකේ තිබ්බ කූල් ඩ්‍රින්ක් බෝතලෙත් නොතිබුනා නම් මග මැරිල මාව......

ඉතින් කවුරුත් මූණ කට සෝදගෙන සැනසුම් සුසුම් හෙලල වාඩි උනා කෑම කන්න..අපි කන්න පටන් ගත්ත විතරයි..වේගෙන් ආපු තව කාර් දෙකක් නතර කලා හොටෙල් මිදුලෙ..පිරිමි තුන් දෙනෙක් කඩිමුඩියෙ බැහැගෙන ඇවිත් නැන්සිවයි එයාගෙ හස්බන්ඩ් වයි පැත්තකට අරන් මොන මොනවද කිව්ව..නැන්සි එක පාරම කෑගහගෙන ඇදන් වැටුන එතන තිබ්බ ඩිවානෝ එක උඩට..!!

ලියා මේසෙන් නැගිටල දිව්ව එතෙන්ට.. මාත් එයාගෙ පස්සෙ දිව්ව..නැන්සිව වෙව්ලනවා..සෙනග වට උනා..ඔක්කොම එකට කතා කරනව..මට නම් මෙලෝ හසරක් තේරෙන්නෙ නැහැ...
''..අම්මෙ මොකද අම්මෙ මේ?..'' මම අම්මගෙ අතින් අල්ල ගත්ත...අම්ම මාව එක්ක ගිහින් ඉන්දෙව්ව පැත්තකින්..
''..මිෂෙල් මැරිල ලු..''
''..මොකක්? ඒ කෝමද?..''
''..අර ක්ලිනික් එකේදි..හාට් ඇටෑක් එකක්ලු එයාට..''

Thursday 16 February 2012

මිනිත්තු 15........

සති දෙකක පිටරට සංචාරයක් සඳහා අද (15) අනුත්තරා ලංකාවෙන් පිටත් උනා....ඊයෙ එයා මට කිව්වා එයා වෙනුවෙන් ඔයාල සියලුම දෙනාට සතුටත් ආදරයත් පිරුනු වැලන්ටයින් දිනයකට සුභ පතන්න කියලා..එහෙනම් ඔන්න හැමෝටම අපි දෙන්නම සුභ පැතුවා..!! ඒ එක්කම ඊයෙ දවස පුරාම ඊමේල් වලිනුත්,ලස්සනම ලස්සන වැලන්ටයින් කාඩ්ස් එවල මට සුභ පතපු මගෙ ආදරණීය යාලුවන්ට මම ආයෙමත් ස්තූති කරනවා......දවසක් ප්‍රමාද උනා තමයි...ඒත් ටිකක් ප්‍රමාද වෙලා හරි එන්නෙ සුභ පැතුමක් නම්......කමක් නෑ නේද??

ඉතින් එදා අර ''බිත්තියෙ සීන් එකට'' පස්සෙ.....(අළු පාට හැන්දෑව 25..)



මම අන්ද මන්ද වෙල උන්නෙ..ඇත්තටම මෙයා මොන වර්ගයේ පිරිමියෙක්ද කියන ප්‍රශ්නයෙන් මම අවුල් වෙලා උන්න....මට මං ගැනම දුක හිතුනා..මෙච්චර කාලෙකට ''මට ඔයාව හමුවෙන්න ඕනෙ...මට ඔයාව බලන්න ඕනෙ'' කියල නිකමට වත් කියන්නෙ නැති මේ පුද්ගලයා ගෙ ආදරේ ගැන කෝම විශ්වාශයක් තියන්නද? ඒත් මම එයාව අවිශ්වාස කරන බව දැනුන හැම මොහොතකම උනේ අපි අතර රන්ඩුවක් ඇති උන එක පමනයි....

මා ගැන ගෙදර අයට කියන්න තරයේම අකමැති උන එයා  ආදරය ගැනවත්,අපේ අනාගතය ගැනවත් එක වචනයක් මා සමග කතා කලේ නැහැ...ඒ වෙනුවට ෆිල්ම් ගැන සින්දු ගැන බ්ලොග්ස් ගැන මූනු පොතේ දෙවල් ගැන අනුන්ගෙ ඕපදූපයක් ගැනම තමා එයා නිතර කතා කලෙ........

නමුත් උදාහරනත් එක්ක එයා මට නිතර පැහැදිළි කලේ,''ආදරේ පෙන්වන ආදරෙයි ආදරෙයි කියන අය ඇත්තටම ආදරේ කරන්නෙ නැහැලු..එයාල එහෙම කියනවලු....ඒත් ආදරේ දන්වන්නෙ නැතුව ඉන්න අය තමාලු ඇත්තටම ආදරේ කරන්නෙ..''..ඒ කියන්නෙ මෙයා මට ඇත්තටම ආදරේ කරන බවයි....!

මෙයාගෙ ගුප්ථ රහස් ජීවිතේ ගැන මෙයාගෙම කටින් අල්ලගන්න මම යම් යම් උපායවල් යොදපු අවස්තා තිබුන...දවසක් මම එයාගෙන් මෙහෙම ඇහුව......
''..මේ ඒක නෙවි මැරි කලාම ඔයාට බබාල කී දෙනෙක් ඕනෙද?..''
''..ම්ම් මට දෙන්නෙක් ඕනෙ..ඔයාට?..''
''..අපෝ මට නම් එක්කෙනෙක් ඇති..''
''..නෑ..නෑ..පවුලකට ලමයි දෙන්නෙක් ඉන්න ඕනෙ..''
''..හ්ම්ම්...මේ ඒක නෙවේ.. මම කියන්නම් අපි වැඩක් කරමුද?..''
''..මොකක්ද?..''
''..අපි දෙන්න හොරෙන් පැනල යමුද?..''
''..ඒ මොකටද?..''
''..මොකටද කියල අහන්නෙ? මට ඉක්මනින් බබෙක් හදා ගන්න ඕනෙ..''
''..පිස්සුද ඔයාට?...ඔයාට තාම 20 යි..ඔයා තව 5 ක් ඉන්න ඕනෙ..ඔයා තාම පොඩි ලමයෙක්..තේරුනාද?..''
''..අවුරුදු 5 ක්?  ඒ මොකටද එච්චර කාලයක්?..''
''..මම තාම ඉගෙන ගන්නවා..තව ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් හොයා ගන්න ඕනෙ..කෝ මට සල්ලි ඔයාට කන්න අඳින්න දෙන්න?..''
''..ඇයි ඔයා කරන ඔය ජොබ් එක? ඔයාට මාසෙකට රුපියල් විසි දෙදාහක් හම්බ වෙනව කිව්වෙ?..''
''...........''

ඔන්න මේ අතර ආයෙමත් දවසක් මෙයා මුලු දවසම අතුරුදහන් උනා...එදා රෑ මගෙ පෝන් එකට පනිවිඩයක් ආව..''..මාව බයික් එකෙන් වැටුනා අත ටිකක් තුවාලයි..අවුලක් නෑ..''
පහුවදා උදේ ඔන්ලයින් ඇවිත් කිව්ව  ඔෆිස් එකේ අයිය කෙනෙකුගෙ බයික් එකෙන් ලෝයර් කෙනෙක් ගාවට ගියාලු එද්දි හරස් පාරකට දානකොට ලිස්සල වැටුනලු..අතට බෙහෙත් බඳින්න ''ලුනුවිල වෙදමහත්තයා ගාවට යන්න'' ලෑස්තිය කිව්ව.හ්ම්ම්ම්ම්....මම කල්පනා කලා මීගමුවෙ ඉන්න කෙනා අතට බෙහෙත් ගන්න යන්නෙ ලුනුවිල...!
''..ගෙදර ඉඳන් ගොඩාක් දුරද ලුනුවිලට?..''
''..නෑ ගෙදර ඉඳන් මිනිත්තු 15 යි..''

පුදුමම වැඩේ කියන්නෙ එයාගෙ ගෙදර ඉඳන් එයා යන ඕනෙම තැනකට ගත උනේ මිනිත්තු 15 ක් විතරයි හැමදාම...!
ගෙදර ඉඳන් බීච් එකට මිනිත්තු 15.
ගෙදර ඉඳන් ඔෆිස් එකට මිනිත්තු 15.
ගෙදර ඉඳන් පල්ලියට මිනිත්තු 15.
මල්ලි ඉන්න කනත්තට මිනිත්තු 15.
අම්ම එක්ක ටවුන් එකට යන්න මිනිත්තු 15.
අයිය හදන අලුත් ගෙදරට මිනිත්තු 15.
අම්මගෙ අම්ම ඉන්න ගෙදරට මිනිත්තු 15.
මාමලාගෙ ගෙදරට යන්න මිනිත්තු 15.
අයියගෙ නෝනගෙ මහ ගෙදරට මිනිත්තු 15.
හැරල්ඩ් අංකල්(නිල්මිනි ගෙ.)ගෙදරට මිනිත්තු 15.

තව ගොඩාක් තිබුනා ඔය 15 කතන්දර...අපි රන්ඩු උන වාර අනන්තයි ඔය 15 නිසා......

''..ඔයා ඇයි බොරු කියන්නෙ ඉන්නෙ මීගමුවෙ කියල? ඇයි මට ඇත්ත කියන්න බැරි?..''
''..මම මොනාද ඔයාට කියන්න ඕනෙ? අපි ඉන්නෙ මීගමුවෙ..ඇයි ඔයාට මාව අවිශ්වාස? කවදද ඔයා මම කියන දෙයක් විශ්වාස කලේ?අපි ඉන්නෙ මීගමුවෙ..වෙන මොනා කියන්නද මම?..''

අතට බේත් බැඳගෙන ඇවිත් සති දෙකක් විතර ගෙදර උන්න එයා ඔෆිස් එකෙන් නිවාඩු දුන්න කියල...ආයෙමත් ඔෆිස් යන්න පටන් අරන් ටික දවසකින් ඔන්න දවසක් මහා දුකකින් කතා කරන්න පටන් ගත්ත...
''..මම ඉන්නෙ අද හරිම දුකෙන් ඔයා දන්නවද මම අද දැක්ක මගෙ බයික් එක..''
''..ඒ කෝමද..කොහෙදිද?..''
''..ඒක මගෙන් ගත්ත අයියව හමු උනා මට අද බයික් එකත් එක්කම..අනේ ඌ ඒක හප්පගෙන පැත්තක් කඩාගෙන..බලන්න දුකේ බැහැ..අනේ මම කෝම තියාගෙන උන්න බයික් එකද..හ්ම්ම්ම්..''
''..හ්ම්ම්ම්..මොනා කරන්නද ඉතින්..''
''..අනේ මම ඒ මගෙ බයික් එකට හරිම ආදරෙයි..මට හෙන දුකයි..ආයෙ කව්ද ගන්නද එහෙම එකක්?..''

ඊට කලින් වතාවෙ නම් ලැප් එක ගැන කියල නහයෙන් අඬද්දි මම එකක් අරන් දෙන්නම් කිව්වනෙ...මේ වෙලාවෙ නම් මම ඒක ගානකට වත් ගත්තෙ නැහැ...

''..හ්ම්ම් මම නම් ඔය බයික් වලට ආසම නැහැ..''
''..ඇයි ඔයා ආස නැද්ද බයික් එකක් අරන් මගෙ පිටිපස්සෙන් ඉඳගෙන යන්න?..''
''..නෑ..නෑ මම ආසම නැහැ..''
''..ඒ උනාට වෙන කෙල්ලො ආසනෙ පිටිපස්සෙන් ඉඳගෙන කොල්ලව බදාගෙන එල්ලීගෙන යන්න..''
''..ඔව් ඒ වෙන කෙල්ලොනෙ,ඒත් මම ආස නැහැ..බයික් වල කොල්ලන්ගෙ පිටේ නැගල යන්න..''
''..එහෙනම් ඔයා ආස කෝම යන්නද?..''
''..මට ඕනෙ කාර් එකක යන්න..මට හොඳට ඉඳගෙන පාඩුවෙ යන්න ඕනෙ..''
''හා..අපි එහෙනම් කාර් එකක් ගම්මුකො..ඔයා එනව නේද මා එක්ක ඒකෙ යන්න?..''
''..බලමු..''

තාමත් මාව හමුවෙන්න හමුවෙල කතා කරන්න ඕනෙ කියන්නෙ නැති මිනිහ මා එක්ක කාර් ගන්න ඒවල යන්න කතා කරනව....ඇත්තටම මම උන්නෙ පුදුම කලකිරීමකින්.....ඒ විතරක් නෙවේ මට දැනුනෙ නිකම් මම මානසික ලෙඩෙක් එක්ක ජීවත් වෙනව වගේ හැඟීමක්...!!.

Friday 10 February 2012

තනියට පූසෙක්...!!


(අළු පාට හැන්දෑව 24.)
මෙතෙක් කතාව.....................
වින්චැට් කිරිල්ලි ඉන්නෙ දුර රටක...කවදාවත් සිංහල බ්ලොග් එකක් දැකල නැහැ..දවසක් ලංකාවෙ යාලුවෙක් කිරිල්ලිට එවනව ''ආදරකතාව'' කියල බ්ලොග් එකක්..''මේ මොන විකාරයක්ද'' කියල ඒක කුනු කූඩෙට දාන කිරිල්ලිට ආයෙමත් හිතෙනව ඒ කතාව කියවන්න ඕනෙ කියල..ඒක තමා රාජ් අනුත්තරා ගැන ලිව්ව ආදරකතාව..ඒක කඳුළු කතාවක්..!!
මේ කතාව කියවන ගමන් කිරිල්ලිත් කතාවට කමෙන්ට්ස් දානවා..දවසක් රාජ් කිරිල්ලිට පණිවිඩයක් එවල කිරිල්ලි සමග මිතුරු වෙනවා..ඉන් පසු රාජ් ඔහුගේ සම්පූර්ණ ජීවිත කතාවම කිරිල්ලිට පවසනවා..

මීගමුව නගරයේ එක්තරා ප්‍රසිද්ද ආයතනයක් භාරව උසස් රැකියාවක නියුතු රාජ් හදවත් රෝගියෙක්..පියෙක් නොමැති දරුවෙක්..තමුන්ගේම මවගේ කටුක හිරිහැර,දරුනු වෙනස් කම් විඳිමින් ජීවත් වෙන ඔහුට එකම සහෝදරයාගෙන් ලැබෙන්නෙත් තාඩන පීඩන වෙනස්කම් විතරමයි..ඔහුගේම නෑයින් විසින් ''අවජාතකයෙක්'' ලෙස හඳුවන ඔහු ඔවුන්ගේ අවමන් අපහාස වලට ලක්වෙමින් කාත් කවුරුත් නැති ඉතා දුක්බර තනි උන ජීවිතයක් ගත කරනව...ඔහුගේ තනියට,ඔහුට ආදරෙන් සිටි එකම තැනැත්තා ඔහුගේ කුඩා සහෝදරය පමණයි ඒත් ඉතා අවාසනාවන්ත හදිසි අනතුරකින් ඒ සහෝදරයත් මිය ගිහින්..!!

මේ සියල්ල ඔහු කිරිල්ලි සමග පවසන්නෙ හඬා වැටෙමින්..!!

ජීවිතේ කවදාවත් මෙවැන්නක් අසා නැති ඉතාම සංවේදී හිතක් හිමි කිරිල්ලි මේ කතාව අහල රාජ්ට මහත් සේ අනුකම්පා කරනවා..ඒ අනුකම්පාව ඉතා ඉක්මනින් ආදරයක් බවට පත් වෙනවා...රාජ් කිරිල්ලිට ඔහුගේ ආදරය ප්‍රකාශ කර සිටිනව...

රාජ් ඉතාමත් ගුප්ථ පුද්ගලයෙක්..!!  නිතර නිතර අසනීප වන ඔහු තුල බොහෝ අස්වාභාවික ගති පිහිටා තියනව..විටෙක කුඩා දරුවෙක් මෙන් හැසිරෙන ඔහු විටෙක ඉතා ප්‍රකෝපකාරී චරිත ලක්ශන ඇත්තෙක්..විටෙක අසාමාන්‍ය මානසික අසනීප තත්වයකුත් ඔහු තුල තිබෙනවා...
මේ සියලු ගුප්ථ,අස්වාභාවික,අසාමාන්‍ය ගති ගුන වලට හේතු වන්නේ කුඩා කල සිටම කාත් කවුරුත් නැතිව තනිවීමත්,කතා කිරීමට බැරිව කලක් සිටීමත්,සමාජයෙන් කොන්වීමත් මේ කියන කරුනුයි..තමුන්ගේම මවගේ වරදින් තමා ''අසම්පූර්ණ මිනිසෙක් වී ඇති බවයි'' ඔහු පවසන්නේ.....

අනුකම්පාවත් ආදරයත් නිසා සියල්ල ඉවසන කිරිල්ලිගෙන් ඔහු ඉල්ලා සිටින්නේ,සියලු වැරදි අඩුපාඩු හදාගෙන වෙනස් මිනිසෙකු වීමට නම් ආදරයේ නාමයෙන් ඔහුට කාලය දෙන ලෙසයි.....

මේ අතරම ''නිල්මිනි'' නමින් මීගමුව රෝහලක සේවය කරන දොස්තරවරියක් ඔහුට බලපෑම් කරමින් සිටී..ඔහුගේ ජීවිතයේ ඉතා පෞද්ගලික දේ වලට පවා අතපොවන මෙම තැනැත්තිය ඇයගේ නැගනියව විවාහ කර ගන්නා ලෙස රාජ්ගෙන් ඉල්ලා සිටී.......

මේ අතර ඔහු අතින් ඔහුගේ කාර්යාලයට අයත් විශාල මුදලක් අතුරුදහන් වෙනව..පසුව ඔහුගේ ''ලැප්ටොප්'' එකත්.මෝටර් බයිසිකලයත් විකුනා,''නිල්මිනි'' ගෙනුත් ලබා ගන්න මුදල් වලින් එම නැති වූ මුදල ඔහු පියවා දමනවා......

ඉන්පසු මූනුපොතේ කිරිල්ලි සමග ''රිලේශන්ෂිප්'' එකක් ප්‍රසිද්ධ කරන ඔහු...නිතර නිතර ඔහුගේ නැති වූ ලැප්ටොප් එක ගැන කියවමින් දුක් වෙනවා......
පසුගිය කොටසින් කිය උනේ කිරිල්ලි ඔහුගේ උපන් දිනයට ලැප්ටොප් එකක් අරන් දෙන බව ඔහුට ඊමේල් එකකින් දැන් වූ බවයි........

අද එතැන් සිට............................

මේ රිලේශන්ෂිප් එක සිදු උන සතියෙම තවත් විශේෂ දෙයක් රාජ් කරල තිබුන බව මම දැන ගත්තෙ බොහෝ කලකට පසුව අනුත්තරාගෙන්..ඒ සතියෙම තිබුන අනුත්තරාගෙ උපන් දිනේට රුපියල් 3000 කටත් වඩා මිල අධික කේක් එකක් රාජ් අනුත්තරාට යවා තිබුන..අනුත්තරා ඒ සම්බන්ධව ප්‍රශ්න කලාම ඔහු කියා ඇත්තේ එය ඔහු විසින් එවන ලද්දක් නොවන බවයි...........

ඉතින්..එදා මම කිව්වනෙ මගෙ මේල් එකට රාජ්ගෙන් කිසිම පිලිතුරක් නොලැබුන බව..පසුවදා රෑ මෙයා ඔන්ලයින් ආවාම මම ඇහුව...
''..ඔයාට මම ඊයෙ රෑ මේල් එකක් එවල නිදා ගත්තෙ ඒක දැක්කෙ නැද්ද?..''
''..ආ ඔව්..දැක්ක..''
පිලිතුර උනේ එච්චරයි..!!
මම හිතන්නෙ එයාට දැනගන්න අවශ්‍ය දේ මගෙන් ගත්තනෙ ඒ ටික ප්‍රමානවත් වෙන්න ඇති.....
 මෙයාට ඒ දවස් වල නිතරම මහා ගොඩාක් පාටි තිබුන..මාරවිල ගොඩාක් ප්‍රසිද්ද හෝටලෙක..ඔෆිස් එකේ අයට ජා-ඇල හෝටලෙක..නිල්මිනි-උපුලි ලංඩන් යන එකට පාටි එක..

මේ අතර දවසක් රාජ් මට කිව්ව..
''..අපේ අයියල ලඟදිම යනව එයාලගෙ අලුත හදපු ගෙදරට..අම්මිත් යනවා එයාල එක්ක..මමයි තාත්තියි විතරක් ගෙදර..මම ඊට පස්සෙ පූසෙක් ගේනවා මට තනියට..''

''..තනියට පූසෙක්..? ඇයි මේ මම ඉන්නෙ..මාව අරන් යන්නකො තනියට..''  මම එහෙම කිව්වෙ විහිලුවටයි සරදමටයි දෙකටම එක්ක....

''..ඔයා එනව නම් එන්න..මගෙ ඇඳේ මල්ලිය නිදාගත්ත කොට්ටෙ තාම එතනම තියනවා..ඒක මම කාටවත් කවදාවත් වෙනස් කරන්න දෙන්නෙ නැහැ..ඔයාට එතන දෙන්නම් නිදා ගන්න..මම බිත්තිය පැත්තට හැරිල නිදා ගන්නම්..''

''..මොකක්..? බිත්තිය පැත්තට හැරිල නිදා ගන්න මම ආවාම?..''

''..ඔව් ඇයි..?''

''..නෑ මම අහන්නෙ මහා රෑක ඔයා එක්ක ඔයාගෙ ඇඳේ බෝනික්කියෙක් වගේ ලස්සන කෙල්ලෙක් ඉන්නකොට ඔයා බිත්තිය පැත්තට හැරිල නිදා ගන්නව..? එහෙමද..?''

''..ඔව්.එහෙම තමා.වෙන මොනා කරන්නද මම..?''

''..ඈහ්හ්හ්..!''

ඒකට හිනාවෙන්නද අඬන්නද කියල හිතා ගන්න බැරි උනා මට..!!

Sunday 5 February 2012

අනුත්තරා අළු පාට හැන්දෑවේ......!!

.
ඔයාල දන්නව මේ වෙද්දි අනුත්තරා කවුද කියල....මගේ අළු පාට හැන්දෑවෙ එයා ගැන නිතර නිතර කිව්ව මම...ඒ විතරක් නෙවේ විශේෂම දේ තමා...අනුත්තරා ගැන රකුස ලියපු ''ආදර කතාව'' බ්ලොගය නිසා තමා රකුස මාව හඳුන ගත්තෙ....
තමන්ගේ හිතේ ඇති උන ''කැත අදහස--අරමුණ'' ඉටු කර ගන්න බැරි උන නිසා... අනුත්තරාට ප්‍රසිද්ධියේම මඩ ගැහීමේ අරමුනත්,බ්ලොග් අවකාශයේ අනුකම්පාව ලබා ගැනීමේ බාලබොළඳ අශාවත් පෙරදැරි කරන් ලියපු ඒ ''ආදර කතාව'' ගැන අනුත්තරා දැනගෙන හිටියෙ නැහැ.....
පසු කාලෙක එයාට ඒක කියවන්නට ලැබුනාම එයා ලොකූ මාණසික ඇද වැටීමකට ලක් උන බවත් තාමත් ඒ කම්පනය ඇගේ සිත තුල තිබෙන බවත් ඇය මා සමග පැවසුවා.....
මුල් කාලයෙදි රකුසගෙ ඒ කතාවටත්,ඔහුගේ වංචාකාරී ආදරයටත් මුලාවෙලා උන්න මමත් අනුත්තරාට වැරදි කලා..ඒත් පස්සෙ රකුසු බන්ධනයෙන් මිදුනාට පස්සෙ මම අනුත්තරාගෙන් සමාව ගත්ත...අපි දැන් යාලුවො...!!.

තව ඉදිරියට මගෙ කතාව ලියාගෙන යද්දි යම් යම් අවස්ථා වල යම් යම් කරුනු පැහැදිලි කිරීමට මට ලොකු අපහසුවක් දැනෙනවා..හේතුව අනුත්තරා..!
මම ලියන යම් යම් සිදුවීම්, දේවල්, ඇයව තව තවත් රිදවනවා වෙන්න පුලුවන්...මේ නිසා මම තීරනය කලා මෙතැන් සිට අනුත්තරාටත් අළු පාට හැන්දෑවෙ මාත් එක්ක ඉඳන් එයාගෙත් අදහස් ඔයාල එක්ක බෙදා ගන්න ඉඩ දෙන්න ඕනෙ කියල.......
හොඳයි ඉතින් අද මේ මොහොතේ සිට අනුත්තරා ඔයාල එක්ක ඉන්නව..අහන්න තියන ඕනෙම දෙයක්..කියන්න තියන ඕනෙම දෙයක්, අහන්න.. කියන්න..!!

ඉතින්...දයාබර අනුත්තරා..!!  අපි ඔයාව ආදරෙන් පිළිගන්නවා 'අළු පාට හැන්දෑව'ට...!!

Friday 3 February 2012

I'm everything I am Because you loved me .........!!


ඉතින් ඊට පස්සෙ...........(අළු පාට හැන්දෑව 23..)

එදා රෑ ඒ ඉන්විටේශන් එක එවල එයා නිදාගන්න ගිහින් තිබුන..මම රෑ ආවාම තමා ඒක දැක්කෙ...ගනිම්දෝ නොගනිම්දෝ කියල හිත හිත ඉඳල අන්තිමේදි මම ඒක පිළිගත්තා.....
පහුවදා උදේ ඔෆිස් එකට ගිහින් ආයෙමත් මූණුපොතට ගිහින් බැලුවාම අපිදෙන්නගෙ රිලේශන් ශිප් එකට යටින් එයා මෙන්න මෙහෙම ලියල තිබුන.........

You were my strength when I was weak 
You were my voice when I couldn't speak 
You were my eyes when I couldn't see 
You saw the best there was in me 
Lifted me up when I couldn't reach 
You gave me faith 'coz you believed 
I'm everything I am 
Because you loved me ..............!!

මේක සෙලින් ඩියොන් ගෙ මම ආසම සිංදුව..කාලෙකට කලින් මමයි එයාට ලියල යැව්වෙ ඒක..ඒ සිංදුව දැක්කාම නම් පොඩි සතුටක් වගේ මොකක්ද දැනුන මට...එවෙලෙ මට හිතුනෙ..''...අහ්..! ඒ පාර නම් හංසයට තටු මැවීගන එනව ඔය පාර නම් පීනන්න පුරුදුවේවි...'' කියල....

ඒත් ඇත්තටම උනේ...මට ''අං දෙකක්'' එනවද කියල ඔලුව අතගාල බලන්න මට අමතක උන එක....!!!!!

මූණුපොතේ අපේ යාලුවො එදා අපි දෙන්නට සුභ පතල එක එක දේවල් ලියල තිබුනා...මරණෙකට සුභපතල මල්පොකුරු එව්ව වගේ....මගුලකට සුභපතල මල්වඩම් එව්ව වගේ....!!

ඒත් මේ ගැන එදා එයා මා එක්ක කතා කලේ නැහැ..මෙයා නිහඬ,අමුතු චරිතයක් නිසා මම නිශ්ෂබ්දව උන්න..
මීට පස්සෙ උනත් එයා මගෙ කෝල් වලට ආන්ස්වර් කලේ නැහැ..''අම්ම ඉන්නව..අයිය ඉන්නව..නෑනා අහගෙන ඉන්නවා..'' නිදහසට කරුනු උනා හැමදාමත් ඕව..මට ඕනෙ වෙලා තිබුන මේ තත්වය වෙනස් වෙනව දකින්න..දවසක් මම එයාට කිව්ව...

''..ඔයා පොඩි ලමයෙක් නෙවේනෙ..අවු:24 ක කොල්ලෙක් උනාම ඔයාට ඔයාගෙ නිදහස තියෙන්න ඕනෙ නේද?..ඇයි ඔයා අම්මල එක්ක ඒ ගැන කතා කරන්නෙ නැත්තෙ?..''

''..එහෙම තමා මම මේ ගෙදර ඉන්නවා නම් ඉන්න ඕනෙ එයාල කියන විදියට..මට ඕන විදියට ඉන්න බැහැ..''

''..එතකොට අයිය..? එයා යාලු උනේ ගර්ල්ස්ලා එක්ක..?එයා ගෙදරදි කතා කලේ නැද්ද එයාගෙ ගර්ල් එක්ක?..''

''..ඔව් එයා කලා එයාට ඕනෙ දේවල්..අම්මල එයා කරන දේවල් වලට ඉඩ දුන්න..මට එහෙම නෑ..මම මේ ගෙදර හිර කාරයෙක්..''

''..අයියෝ මොන කරුමයක්ද ඔයා ගෙවන්නෙ.එක්කෝ යන්නකො කුළියට වත් වෙනම ගෙයක් අරන්..සැනසීමෙන් ඉන්න මනුස්සයෙක් වගේ..''

''..ඔව් ඒක තමා මම ඉක්මනින් මෙයාලගෙන් ඈත්වෙනව..පොඩ්ඩක් ඉන්නකො එතකම්..දැනටමත් නොගිහින් ඉන්නෙ තාත්ති නිසා..මට එයාව දාල යන්න දුකයි..එයා මට යන්න දෙන්නෙත් නැහැනෙ..''

''..මම කියන්නද වැඩක්...ඔයා මාව ඔයාගෙ අම්මි එක්ක යාලු කරවන්නකො..''

''අම්මෝ..ලෝක විනාසෙ වගේ වේවි..ඔයා දන්නෙ නැහැ එයාගෙ හැටි..''

''..හ්ම්ම්ම්..එහෙනම් මාව අයියගෙ වයිෆ් එක්ක යාලු කරවන්න..''

''..අපෝ බැහැ..එයා ඊට හපන්..''

''..මට හැමෝම ආදරේ වෙනවා මා එක්ක කතා කලාම..කවුරුවත් මා එක්ක තරහා වෙන්නෙ නැහැ..මගෙ යාලුවන්ගෙ අම්මල හැමෝම වගේ මා එක්ක ගොඩාක් යාලුයි..ඔයා ගෙදරට කියන්නකො මම ගැන..නැත් නම් ගෙදර පෝන් නම්බර් එක දෙන්නකො මම යාලු වෙන්නම්..''

''..ඔයාට පිස්සුද?..මාව මේ ගෙදරින් එලවන්නද ඔයා හදන්නෙ?..පිස්සු කතා නොකර මට තව ටික කාලයක් මෙතන ඉන්න ඉඩ දෙනවද ?..''

මූණුපොතෙන්,ගූග්ල් බුස් වලින්,බ්ලොග්ස් වලින් අඳුන ගත්ත යාලුවො මට ගොඩාක් උන්න..ඒත් රාජ් කවදාවත් කැමති උනේ නැහැ කිසිම යාලුවෙක්ව ලඟින් ඇසුරු කරන්න..යාලුවො එයා එක්ක කතා කරන්න,එයාව ඇසුරු කරන්න උත්සහ කරපු හැම අවස්තාවකදිම එයා මග ඇරියා...මම දන්න තරමින් කිසිම යාලුවෙක් හිතවතෙක් එයාට උන්නෙ නැහැ..කිසිම කෙනෙක්ට එයා ලංවෙන්න දුන්නෙත් නැහැ.....(නදිශ්ක  සහ  චරිත්  හැර.)

මට ඕනෙ උනා මෙයත් අනිත් කොල්ලො වගේ 'සාමාන්‍ය කොල්ලෙක්' වෙනව දකින්න..යාලුවො ඇති කරන් කතා බහ කරල හිනාවෙලා..හමුවෙලා..ගමන්බිමන් ගිහින්...ඒත් ඒවා ගැන කතා කරපු හැම අවස්තාවකම උනේ රණ්ඩුවක්..!!

''..මට ඔය එකෙක්වත් ඕනෙ නැහැ..මට තනියම ඉන්න පුලුවන්..මම හැමදාම උන්නෙත් එහෙමයි..මට ඔය එකෙක්වත් සත පහකට වටින්නෙ නැහැ..ඇයි මොකෝ උන්ද මට කන්න අඳින්න දෙන්නෙ?..''

''..ඒ කියන්නෙ ඔයාට කන්න අඳින්න දෙන අයව විතරද ඔයාට වටින්නෙ? ඔයාට ඕනෙ? එතකොට මම?..''

මේ දවස් වල මෙයා නිතරම කතා කලේ එකම මාතෘකාවක් ගැන..'එයාගෙ ලැප් එක නැතිවීම'....''..මට හරිම දුකයි..අවුරුදු දෙකක් හම්ම්බ කරල ඉතුරු කර ගත්තෙ ලැප් එකයි බයික් එකයි විතරයි ඒවත් මට නැති උනා..දැන් මම කෝමද මගෙ ප්‍රොජෙක්ට් එක කරන්නෙ..මටමයි වෙන්නෙ මේවා ඔක්කෝම...''



මේ විදියට කීප දවසක්ම මෙයා තනියම දුක් උනා...ආයෙමත් දවසක් රෑ මෙයා ඒ ලැප් එක ගැන කියවල දුක් වෙලා නිදා ගන්න ගියාට පස්සෙ මම කල්පනා කලා ගොඩාක් වෙලා මේ ගැන...අන්තිමේදි එදා මම නිදා ගන්න ගියෙ එයාට මේ විදියට මේල් එකක් යවල.....

''..ඔයා දුක් වෙන්න එපා..කමක් නෑ ඒක නැති උනාට..අපි ඊට වඩා තව හොඳ එකක් ගනිමු..මම ඔයාගෙ බර්ත් ඩේ එකට ඔයාට ලැප් එකක් අරන් දෙන්නම්..''

පහුවදා දවසෙම මම බලන් උන්න......................මගෙ මේල් එකට පිළිතුරු තියා,අඩුම ගානෙ මගෙ මේල ලැබුනා කියලවත් එයාගෙන් කිසිම පිළිතුරක් මට ලැබුනෙ නැහැ...!!