My Blog List

Saturday, 31 December 2011

මොට්ටපාල මහතා වෙත..........!!



අද රාත්‍රි 12 න් පසු මගේ ජීවිතයට ලබන ලස්සණ අවුරුද්ද උදාවෙන්න කලින් මගේ හිතට වට්ටපු මේ අවලස්සණ ප්‍රශ්ණය මෙසේ විසඳ ගන්නට හිතුනා........

හොඳයි මම පටන් ගන්නම් මෙහෙම....

මගේ බ්ලොග් එක ලියන්න පටන් අරන් අදට මාස 2 ක් සහ දින කිහිපයක්  වන අතර... මේ වනතුරු ලෝකෙ රටවල් රාශියකින් මගෙ බ්ලොග් එක කියවන අය අතරින් කිසිම කෙනෙක් යාන්තම් හෝ මගෙ හිත රිදෙන විදියෙ එකම කොමෙන්ට් එකක් වත් එවා නැහැ...එහෙම උනා නම් එකම වතාවක් හෝ එහෙම උනා නම් මම ඒවා පල නොකර පිළිතුරු පමණක් හෝ දීමට පසු බට වෙන්නෙ නැහැ....

ඒත් ඔබ විසින් එවන ලද (දෙවන වතාවටත්) ''කොමන්ටුවක් නෙවේ අවවාදයක්'' කියන ඒ දෙවන ''අවවාදයත්'' මා නොසලකා හැරියේ...නම් ගම් ප්‍රොෆයිල් නැති බිය ගුල්ලන්ගේ වැඩ වලට මා කවදත් ප්‍රතිචාර දක්වන්නේ නැති කම නිසා පමණයි.......

ඒත් 3 වෙනි ''අවවාදය'' අවවාදයකට වඩා පොඩි ''තර්ජන පාරක්'' වගේ පෙනෙන නිසා ඔබට මෙහෙම පිළිතුරු දෙන්නම්........

මගේ බ්ලොගය කියවන්න කැනඩාවෙන් බොහෝ දෙනෙක් එන  නමුත් ඔබගේ ''අවවාද'' මට ලැබුන කිසිම දිනක කිසිම මොහොතක කිසිම කෙනෙක් කැනඩාවෙන් මගෙ බ්ලොගයට ඇවිත් තිබුනේ නැත.........

ඒ අනුව ඔබතුමා ඒවා එවන වෙලාවල් වලදී ඉන්නට ඇත්තේ අනිවාර්යයෙන්ම ලෝක සිතියමෙන් කැනඩාව දෙස බලාගෙන විය යුතුය.....හික්ස් ය..!!

ඔබ තුමා කියන අන්දමට ඇති තරමට ඔබ මා හඳුනන බවයි.....එසේ නම් දැනට මා කරන රැකියාව ඔබ නොදන්නේ මන්ද?...ඔබ දන්නේ 2010 වසරේ මා කල මගේ පලමු රැකියාව නොවේද? 2011 සැප්තැම්බර් මාසයේ සිට මගේ අලුත් රැකියාව ගැන ඔබ නොදන්නේ මන්ද?....මට අවශ්‍ය නම් දැනට ඕනෑම රටක විශ්ව විද්‍යාලයකට ගොස් උපාධියක් ලබා ගැනීමට උවමනාවටත් වඩා සුදුසු කම්,,හැකියාව සහ වාසනාව මට ඇති බව ඔබ නොදන්නේ මන්ද???????

ඔබ කැනඩාවේ ජීවත් වන්නෙක් නම් දැනට ඒ රටේ වෙසෙන මගේ ලඟම ඥාතීන් හඳුනන්නේ නැතිද??

මේ බ්ලොගයේ හැර අන්තර්ජාලයේ හැම අස්සක් මුල්ලකම මම මගෙ උප්පන්න සහතිකයේ ඇති නමින් පෙනී සිටින නිසා ඔබ මගේ ''ඇත්ත නම'' දන්නවා කියන එක ගැන පුදුම වන්නට තරම් මම මෝඩියෙක් නොවෙමි...ඒ ගැන ඔබ සිතන පරිදි ''බිය වන්නට'' මට කිසිදු හේතුවක් නැත........!!!!!!!

ඉතින් මොට්ටපාල මහතානෙනි....!!

ඔබගේ 3 වන ''අවවාදයට'' මම මෙසේ කියමි....!!!!

හොඳින් හෝ නරකින් ඔබට හෝ ඔබගේ හත්මුතු පරපුරට...මගේ මේ ලිවීම නතර කිරීම හෝ මගේ බ්ලොග් එක වසා දැමීම කල නොහැක...!!
එසේ නම් ඔබ කුමක් කරන්නද??...''පියාඹන විට'' මාව ''හයිජැක්'' කරන්නද?????

හහ්...හහ්..හහ්..හාආආආ...!!!!!!

ඔබ ඒ තරම් 'හපනෙක්' නම් එලිපිට පෙනී සිටින්න..!!...නැති නම් ලබන අලුත් අවුරුද්දේවත් මේ වගේ ''ෂිටි වැඩ'' නොකර පාඩුවේ තමුන්ට ප්‍රයෝජනවත් වැඩක නිරත වෙන්න...!!

සුභ අලුත් අවුරුද්දක්....!!!!!!

Thursday, 29 December 2011

කජු අලුවා සමග සබන් පෙන.....!!!



හප්පේ....දවස් ගානකට පස්සෙ අද තමා මම ලැප්ටොප් එක දිහා බැලුවෙ....ජනවාරි 9 වෙනිදා වෙනකම් අපිට නිවාඩුනෙ.....ඒත් මේ දවස් ටිකේ නම් එපා උනා කෑම හදලයි... කාලයි....මේස අස්කරලයි....පිඟන් හෝදලයි....ඇයි ගෙවල් අස්කරල..!! අපෝ........!!!!

ඉතින් ඔයාල බලාගෙන ඉන්න ඇති නේද 'රකුසු කතාවෙ' ඉතිරිය කියවන්න?..හ්ම්ම්.මම දන්නව....ඒත් මේ උත්සව දවස් වල..කවුරුත් සතුටින් ඉන්න ටිකේ මට හිතුන ඒ 'තිත්ත'කතාව අද නොකිය වෙන කතාවක් කියන්න...ටිකක් හිනාවෙන්නත් එක්ක..!!

මේ කතාවට මුල් උන සිදුවීම මට මතක් උනේ මීට සති දෙකකට කලින් 'අතීතයෙන් අහුලන මතකයන්' එක්ක 'දිල්' අක්ක ලිව්ව 'ලේසි නැති කජු කෑම' දැක්කට පස්සෙ...ඒත් යම් යම් තැන් අමතක නිසා ගලපල ලියා ගන්න අමාරු උනා..දැන් මේ දවස් වල මම ඉන්නෙ ගෙදරනෙ..ඔන්න අම්මගෙන් අහ ගත්ත මට අමතක තැන් එක්ක කතාව..!!!!!

අපේ ආත්තම්ම ටීචර් කෙනෙක්..ඉස්සර මම පුංචිම කාලෙ සමහර දාට එයා මාවත් එක්කගෙන යනව එයා උගන්වපු ඉස්කෝලෙට...ඒ ගියාම මාත් අර ලොකු ලමයි එක්ක ඉඳගෙන ආත්තම්මගෙ කට දිහා බලන් ඉන්නව..නැත් නම් ඩෙස්ක් වල බලි රූප අඳිනව..තව තව 'මැර' වැඩත් කලේ නැහැ කියන්නෙ නැහැ මම හොඳේ?
ඉතින්..ඔය ඉස්කෝලෙ මට ගොඩාක් ආදරෙන් උන්න පොඩි ලමයින්ගෙ පංතියක ටීචර් කෙනෙක් හිටිය...එයාට මම කිව්වෙ 'චිට්ට මිස්' කියල..(එයාගෙ නම චිත්‍රා) ..එයා මාව නිතරම එක්කගෙන ගියා එයාගෙ පංතියට..(මැර වැඩ නිසා ආත්තම්ම යැව්වද කියලත් සැකයක් තියනව දැන්)...කෝම හරි,,,,  මං පුංචිකාලෙ ඉඳන්ම මේ දැනුත් පැණිරස කෑම කන්න ආස නැහැ..ඒ උනාට ''කජු අලුව'' කන්න නම් එදත් අදත් හරිම පෙරේතයි.........

ඔන්න ඉතින් මම මොකුත්ම පැණිරස කෑම කන්නෙ නැති නිසා චිට්ට මිස් දවසක් ඇහුවාම ඒ ඇයි කියල මම කිව්වලු මට ඕනෙ 'කජු අලුව' කියල....(අම්මල කියන්නෙ, මම ටීචර්ට කිව්වලු මට කජු අලුව ගෙනත් දෙන්න කියල...අයියෝ ලැජ්ජාවෙ බැහැ දැන් නම්)..ඉතින් දවසක් ඒ ටීචර් ඒව හදල ලොකු බිස්කට් ටින් එකක් පුරෝල ගෙනත් ආත්තම්ම අතේ මට එව්ව..එදා නම් අද වගේ මතකයි මට...ආත්තම්ම ගෙදර ආව ගමන් ඒක මගෙ අතට දුන්නෙ..''මෙන්න සුදු පුතාට චිට්ට මිස් කජුඅලුව හදල එවල..''
ඒක නිල්පාට ලොකු රවුම් බිස්කට් ටින් එකක්..හෙන බරයි මට...ගත්ත ගමන් ඒක හයියෙන් තද කරල බදාගෙන දිව්ව ආත්තම්මගෙ කාමරේට.මම නිදා ගත්තෙ ආත්තම්මගෙ කාමරේනෙ......
ඔන්න අම්මයි අයියල දෙන්නයි එනව අලුව එක බලන්න....මම මහා හයියෙන් විළාප දීල කෑගහල අඬන්න පටන් ගත්ත...!! මට හොඳටම මතකයි මම කෑගැහුවෙ මෙන්න මෙහෙම.....

'' එන්න එපා...එන්න එපා...දෙන්නෙ නෑ...මේව මගෙ..මට එව්වෙ..මම කනව..ඔක්කොම කන්නෙ මම...එන්න එපා..!!..''


 

මම යටිගිරියෙන් කෑගහ ගහ අඬන නිසා ආත්තම්ම අය්යලවයි අම්මවයි මගෙන් ඈත් කරල කිව්ව..''හා මගෙ පුතා බඩ පිරෙන්න කාල ඉතුරුවා අපි අය්යලට දෙමුකො..පව්නෙ පුතේ..''
'' නෑ මම දෙන්නෙ නෑ..මම ඔක්කොම කනව..''
ඔය අතරෙ ඔන්න අය්යල දෙන්න ජනේලෙන් හොරෙන් එබෙනව මම දැක්ක..ඊට පස්සෙ මගෙ මරලතෝනිය තව වැඩි උනා..පස්සෙ ආත්තම්ම ජනේල් වහල කාමරේ දොරත් වහල මට ඕන එකක් කර ගන්න ඇරල එලියට ගියා...දැන් ඔක්කොම එලියෙ මට ඇහෙනව සාලෙ කට්ටිය කතා කර කර ඉන්නව.....
ඉතින් ඔන්න තනිවම අලුව කෑමේ මහා තරඟය පටන් ගත්ත කියමුකො...පලමු කෑල්ල කෑව...දෙකත් කෑව..තුන් වෙනි එක බැහැ...දැන් මොකෝ කරන්නෙ? අනේ දැන් ඉතුරුව අර ගොල්ලො කාවිනෙ.........
ඇඳ ගාවම පොඩි මේසෙ උඩ ආත්තම්මගෙ වතුර බෝතලේ තියනව..දෙපාරක් හිතුවෙ නැහැ..ගත්ත වතුර බෝතලේ වැක්කෙරුව ඔක්කෝම අලුව ටින් එකට..!!
ටිකකින් ආත්තම්ම දොර ඇරන් ආවා ...''හපෝයි දෙවි හාමුදුරුවනේ....!!!! මේ මොකද මේ ලමය කරල තියෙන්නේ.....!!!!!!..''
ආත්තම්ම එද්දි මම වතුර දාගෙන අලුව අනනව අත් දෙකින්ම මඩ ගොඩක් වගේ..ඇඳ උඩ..කොට්ට වල... බිම...මගෙ මූණෙ ඇඟ පත පුරාම....මඩ නාල වගේ......!!
අම්ම දුවගෙන ආව සද්දෙට...!!
ඇදල ගත්ත මාව ඇඳෙන් බිමට...චටාස්..පටාස්..චටාස්.... පටාස්.....!!  එදා නම් දුන්න පාර මට මදි නොකියන්න...අම්මට තරහා ගියාම එහෙමයි........
අලුවත් කාල බඩ පිරෙන්න ගුටිත් කාල අඬල අඬලම මට නින්ද ගියාලු............


 ඔන්න ඉතින් මහා සද්දෙකට මට නින්දෙන් ඇහැරුනානෙ...බැලින්නම් වහිනව හෙන වැස්සක් එලියෙ..කාමරේ ආත්තම්මත් නැහැ..මම හෙමින්ම ඇඳෙන් බැහැල දොර ගාවට ගියා ඒක වහල..කාමරේ තියනව පුංචි ස්ටූල් එකක් අඩි දෙකක් විතර දිග..ඒකට ලස්සන ටේබල් මැට් එකක්දාල තිබ්බෙ..දිග සුදු රෙදි ලේන්සුවක් වගේ වටේට සුදු ලේස් එකක් අල්ලල...ඒකෙත් අලුව මඩ වැදිල..අනිත් ඔක්කොම ඇඳ රෙදි කොට්ට උර ආත්තම්ම අස් කරල තිබුන...මට හිතුන මේක මම හෝදල දාන්න ඕනෙ කියල...
ඒ දවස් වල අපේ ජනෙල් වල ග්‍රීල් නැහැ වීදුරුව ඇරගෙන එලියට අඩිය තියන්න පුලුවන්...ඉතින් අර ස්ටූල් කවරෙත් අරන්..ආත්තම්ම ගෙ මේස ලාච්චුවෙන් අලුත්ම සන්ලයිට් කෑල්ලකුත් අරන් මම ජනේලෙන් එලියට ගිහින් දැන් ඔන්න පීල්ලට අර රෙදි කෑල්ල අල්ලගෙන තෙම තෙම සබන් ගානව...ටික වෙලාවක් සබන් ගාද්දි මගෙ අත්දෙක පිරෙන්නම සබන් පෙන ගොඩායි..ලස්සනේ බැහැ බෝල බෝල...!!
 මට දැන් හෙන ලෝභයි මේ බෝල බෝල සබන් පෙන ගොඩට..!!  වතුරට ඇල්ලුවොත් හේදිලා යනවනෙ..දැන් මොකෝ කරන්නෙ...මම වට පිට බලල සබන් බෝල ටික ඔක්කෝම කෑවා...ආයෙමත් වතුරට අල්ලල සබන් ගෑවා ඔන්න අර වගේම පෙන බෝල බෝල..!!  ඒවත් කෑව...ආයෙමත් සබන් ගාල ඒවත් කෑවා..!!

ඊට පස්සෙ යාන්තමට මතකයි මට මහා කැස්සක් හැදුන.....

සද්දෙට අම්මල දුවන් එද්දි මම වමනෙ කරන වලු බිම වැටිල.. එදා තාත්ත ගෙදර නැහැ..අම්ම මහ වැස්සෙම පාරට පැනල කාර් එකක් නවත්වල මාව හොස්පිටල් අරන් ගිහින් තියෙන්නෙ.......

ප: ලි: .....ඔන්න දැන් ඉතින් මම පෙරේතයි කියල  කොමෙන්ට්ස් දානව හෙම නෙවේ කවුරුත් හරිද? එක පාරක් හරි කාල බලන්න සබන් පෙන..!!

Wednesday, 21 December 2011

කිරිල්ලිගෙන් සුභ පැතුම්...!!!!



අපි බුද්ධාගමේ.....ඒ උනාට හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසෙ නත්තල් උත්සවේ සමරනව ක්‍රිස්තියානි ආගමේ අනිත් අය වගේම.....නත්තල් ගහක් හදනව නොවරදවාම....මම ගෙදර ඔක්කෝටම තෑගි අරන් දෙනව ඒ වගේම මටත් තෑගි ගොඩාක් හම්බ වෙනවා...!!

මේ අවුරුද්දෙ නත්තලට අපි විශේෂ අමුත්තෙක් එනකම් මග බලන් ඉන්නෙ..........

පුංචි කාලෙ ලංකාවෙදි නම් වෙසක් කූඩු හැදුවා...තොරන් බලන්න ගියා..සිංහල අවුරුදු සිරිත් අකුරටම කලා...හැම පෝයකටම පන්සල් ගියා..හැමදාම හවසට වත්තෙන් මල් කඩල බුදුන් වැන්දා.....හ්ම්ම්ම්ම්ම්ම්..........

ඉතින්...ආගම ජාති කුලමල භේද නැතුව සතුටු වෙන්න ඕනෙ අවස්ථාවල අපි සතුටු වෙන්න ඕනෙ.......අපි ඔක්කොම මේ ලෝකෙ ඉපදුන මිනිස් කුලේ මිනිස්සු...අපි ඔක්කොම සමානයි.......
ඔය තියෙන්නෙ මේ ලඟ එන නත්තලට අපි හදපු නත්තල් ගහ...මම ඉන්නෙ සතුටින්..අපි සතුටින්...!!


ඔයාල හැමෝටමත් සුභ නත්තලක් වේවා..!!!

ඒ වගේම උදාවෙන 2012 නව වසරේ හැමෝගෙම සිත්වල ඉපදෙන ලස්සන සිතුවිලි..අලුත් බලාපොරොත්තු..ආදර පැතුම්...ඔයාල ප්‍රාර්තනා කරනවටත් වඩා ගොඩාක් ඉහලින් ඉටුවෙලා..සෑම සිතකම සතුට ඉතිරේවා...!! කියල මම අවංකවම ආදරෙන් ප්‍රාර්තනා කරනවා....!!!!!!!

2012 වාසනාවන්ත නව වසරක් වේවා.......!!!!!!!!!!

Sunday, 18 December 2011

හදවතක් නැති කෙනෙකුට හදවතක්................!!

අළු පාට හැන්දෑව 15..

එදා රාජ්ගෙන් චේන් එකේ මිම්ම ඉල්ල ගත්තනෙ..චේන් එක දිග ඇරියාම සෙ.මී..60 වෙන්න ඕනෙ කිව්ව එයා......
ගිනිකඳු ගිහින් ඇවිත්......අයියල වැඩට ගියා..මට තව නිවාඩු තිබුන.
අපේ අම්ම එයාගෙ රැකියාවෙ යම් යම් වැඩ වලට සතියකට වරක් මිලානෝ යනව..මගෙත් ඉස්කෝලෙ යාලුවෙක් ඉන්නව එහෙ..ඉතින් එදා එයාටත් කෝල් කරල මම අම්ම එක්ක මිලානෝ ගියෙ පොඩි සාප්පු සවාරියක් යන්න හිතන්...රාජ්ට චේන් එක ගන්න එක තමා ප්‍රධාන අරමුන.....
මගෙ යාලුව මැක්ඩොනල්ඩ් එක ගාව උන්න...අම්ම මාව එතන දාල එයාගෙ වැඩ වලට ගියා.....
''...ශොපින් ඒරියා එකෙන් පිට කොහෙවත් අඩියක් යන්නෙ නැහැ තේරුනාද දෙන්නටම..?..ඉවර උනාම මට කෝල් කරන්න මෙතනම ඉන්න...''
''...හරී කොහෙවත් යන්නෙ නැහැ..''
ඉබ්බ දියේ දැම්මාම ඇන්නෑවේ කිව්වලු....අපි මුලින්ම ගියෙ බ්‍රොස්වේ ජුවළරි ශොප් එකට...ඒකෙ උන්න හැන්ඩි ඉතලි කොල්ලට මම රාජ්ගෙ අර හාර්ට් එක පෙන්වල ඒකට මැච් වෙන චේන් එකක් ඉල්ලුවාම....
''..මිස් මේක කොහෙන්ද ඔයාට..?''
''..මම ගෙනාව ස්ත්‍රොන්බොලි වලින්..''
''..ෆැන්ටාස්ටික්..මේ වගේ තව එකක් තියනවා නම් මට දෙන්නකො ප්ලීස්..''
''..ඔයා මොනා කියනවද මා ගාව තියෙන්නෙ එක හාර්ට් එකයි ඒක දෙන්න කෙනෙක් ඉන්නවනෙ..''
''..රියලි?..කවුද ඒ ලකි බෝයි..''
''හ්ම්ම්..හ්ම්ම්..අපිත් ඉතින් හෙන ලකි මේව එක්ක පස්සෙන් යන්න..''.. මගෙ යාලුවගෙ කතාවට අපි තුන් දෙනාම මහ හයියෙන් හිනා උනා...
බ්‍රොස්වේ එකෙන් චේන් එක අරන් අපි ඊලඟට ගියෙ ස්වාරොව්ස්කි එකට..ඒකෙන් මම රාජ්ට ලස්සන ස්වාරොව්ස්කියක් ගත්ත ඒ චේන් එකටම...ඒක ලස්සන කලු ක්‍රිස්ටල් කුරුසයක්....මෙච්චර දුර රටක ඉඳන් චේන් එකක් විතරක් එයාට යවන එක මට මදියි කියල හිතුන..පස්සෙ අපි ගියා ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් ෆිට්ච්...ඒකෙන් එයාට පර්ෆියුම් එක ගන්න කොට එතන උන්න බෝයිස්ලත් මට විහිලු කලා....
''...වෝව් ෆියර්ස්...කාටද?..''
ජීවිතේ මුල්ම වතාවට කොල්ලෙකුට දේවල් ගන්න ගිහින් මට ලැජ්ජත් හිතුන....
පස්සෙ අපිට ඇඳුම් ගන්න එක එක ශොප් වලට යද්දි මට ඒ හැම වෙලේම රාජ්ව මතක් උනා..අනේ පව් අහිංසකය මෙලහකට තනියම ඇති කාමරේට වෙලා..මට මතක් උනා එයා එයාගෙ ''ආදර කතාව'' බ්ලොග් එකේ ලිව්ව පෝස්ට් එකක්..ලිව්වෙ එයාට අනුත්තරා එව්ව බර්ත්ඩේ කාර්ඩ් එක ගැන..ඒකෙ පොටෝ දෙකකුත් දාල එයා ලිව්වෙ ඒක.. ''මගෙ ජීවිතේට ලැබුන වටිනාම තෑග්ග'' කියල.....මට දුක හිතුන... ජීවිතේටම කවදාවත් කාගෙන්වත් තෑග්ගක් නොලැබුන කෙනෙක්..පව් කොච්චර අසරනද එහෙම කෙනෙක්...මම එවෙලෙම අපි උන්න ශොප් එකේ ඉඳන් එයාට කෝල් එකක් ගත්ත.........
''...මට කියන්න ඉක්මනින් ඔයාගෙ ශර්ට් සයිස් එක...''
''...ඇයි මොකටද..?''
''...ඉක්මනින් ඉක්මනින් සල්ලි නෑ පෝන් එකේ ඔන්න කට් උනා කියන්න ඉක්මනින්..'' (මම එහෙම කිව්වෙ බොරුවට එයාගෙන් පිළිතුර ගන්න ඕන නිසා)
''...පහලව මාර.. මොකටද..?''
එයාටත් ඇඳුම් අරන් ගත්ත ඔක්කොම දේවල් අම්ම එන්න කලින් යාලුවට දීල එයාව පිටත් කලා මම ආයෙ දවසක ඒව තැපෑලට දාන්න එන්නම් කියල.....

ඔය අතරෙම අපෙ හිතවතුන් කීප දෙනෙක් ලූර්ඩ්ස් වල,, ජේසුතුමාගෙ මෑණියො දර්ශනය උනා කියන තැන ට ගියා...ඒ කියන්නෙ ප්‍රංස රටේ කෙලවරේ තියන ලෝක ප්‍රසිද්ධ සිද්දස්ථානයක්....කතෝලික බැතිමතුන් විතරක් නෙවේ එතන හැමදාමත් ලෝකෙ හැම රටකින්ම එන අය ඉන්නව...එතන හාස්කම් සිදුවෙනව කියල විශ්වාසයක් ලෝකෙ පුරාම තියනව...එතන තියන පුදුම හිතෙන විදියෙ දිය උල්පතෙන් හැම රටකම මිනිස්සු වතුර අරන් යනව ඒ ඒ රටවලට...ඒ වතුරින් අසනීප සුව වෙන බලයක් තියන වලු...මාත් ඒක විස්වාශ කරනව අපේ ගෙදරත් ඒ වතුර තියනවා....මාත් දෙපාරක් ලූර්ඩ්ස් වලට ගිහින් තියනව...එතන දේව මෑණියො දර්ශනය උනා කියන ගල් ගුහාව ලඟට ගියාම හරිම පුදුම දෙයක් දැනෙනව හිතට...මට ඒ ස්ථානය ගැන ලොකු භක්තියක් වගේම පැහැදීමක් තියනව...මම එතනට ගිහින් ඉල්ලපු දෙයක් මට ලැබුන..තව එහෙම දේවල් ඉටු කර ගත්ත කීප දෙනෙක් ගැන මම දන්නව..........

ඉතින් එදා ලූර්ඩ්ස් යන්න හිටපු අය අතර අපි ගොඩාක් හිතවත් ඇන්ටි කෙනෙක් උන්න..එයාට මම රාජ් ගෙ අසනීපය ගැනත් එයාගෙ අම්ම එයාට කරන වෙනස් කම් ගැනත් කිව්වාම..ඒ ඇන්ටි කිව්ව එයා එතනින් ''බොරලික්කම්'' දෙකක් අරන් ගල්ගුහාවෙ වතුරින් සෝදගෙන දේව මෑණියන්ට කන්නළව් කරල ගේන්නම් ඒක රාජ්ට යවන්න..එකක් එයාගෙ නිදියන කොට්ටෙ ඇතුලට දාන්න අනික අම්ම නිදියන කොට්ටෙ ඇතුලට දාන්න කියන්න කියල....ඉතින් මම එයාට කියල ගෙන්ව ගත්ත ඒ දෙකකුයි..තව ගල්ගුහාවෙ වතුර පොඩි කුප්පියකුයි..රෝසරි කීපයකුයි..............
මේ දේවල් එක්ක තව ඩී වී ඩී ෆිල්ම්ස් කීපයකුත්..චොක්ලට්ස් එහෙම අරන්...අම්ම වැඩට යනකම් ඉඳල මම හොරෙන්ම ට්‍රේන් එකේ නැගල ආව මිලානෝ....යාලුවගෙ ගෙදර ගිහින් ඔක්කොම ටික පෙට්ටියක් හදල පෝස්ට් එකට දාල ආපහු ගෙදර ගිහින් අම්ම එද්දි හොඳ ළමය වගේ උන්න මම.......




අම්මට හොරෙන් එහෙම දුර ගමනක් ගිය ජීවිතේ පලමු වතාව......!

මම මේ වගේ දේවල් එයා වෙනුවෙන් කලේ ඇයි කියල පුන පුනා කිව යුතු නැහැ.....
මේ යුරෝපෙ පුරා උගත් පෝසත් හැන්ඩ්සම් කොල්ලො... වෙන කොල්ලො නැද්ද කියල අහන්නත් එපා ඔයාල මගෙන්........
මගෙ ජීවිතේ අවුරුදු 20 ක් ඇතුලත ලංකාවෙ හෝ වෙන ලෝකෙක කොල්ලො දැකල නැද්ද කියල අහන්න එපා මගෙන් ඔයාල..........
මගෙ අයියල දෙන්න ඇසුරු කරන අය ..යාලුවො..බුරුතු පිටින් එනව අපේ ගෙදරට...ඉගෙන ගත්ත..හොඳ රැකියාවල් කරන...සල්ලි තියන කොල්ලො...හැන්ඩ්සම් කොල්ලො.........
මේ අය අතර මට ආදරේ කරන අය...කරපු අය...කරමින් ඉන්න අය...ලංකාවෙදි එක වසරේ ඉඳන් අය්යල එක්ක උන්න යාලුවො මා නිසා යාලු කම් නැති කර ගත්ත අයත්...ඕන තරම් උන්න...

ඒත්...........

මම.... අම්මෙක් අප්පෙක් නැති..කාත් කවුරුවත් නැහැයි කිව්ව..හැමදාම අඬ අඬ ජීවත් උන..අර මගේ දුප්පත් රටේ උන්න අහිංසක අනාථයට දිවිහිමියෙන් පෙම්කරමින් උන්න.......!!!!!!!!

Wednesday, 14 December 2011

කිරිල්ලි ගිනි කන්දක් බලා ඉගිල්ලෙයි...............!!!!

 අළු පාට හැන්දෑව 14....

මම ගොඩාක් සතුටින් උන්නෙ ඒ කාලෙ..ටික කාලෙක ඉඳල කාමරේටම හිර වෙලා ඉඳල පොඩි එකාකාරී ගතියකුත් හිතට වද දුන්නා...ඔය අතරෙදි දවස් කීපයක නිවාඩුවකුත් ලැබුනනෙ..ගොඩාක් රටවල ගොඩාක් තැන්වල ඇවිදල තිබුනට මම කවදාවත් ''ගිනි කන්දක්'' බලන්න ගිහින් තිබුනෙ නැහැ...ඔන්න ඉතින් මට ඒකට අවස්තාව ලැබුනා..අපි ගියා ඉතාලියෙ ස්ත්‍රොම්බොලි කියන දූපතට ස්ත්‍රොම්බොලි ගිනිකන්ද බලන්න....

a google picture

ඒ යන ගමනෙදි  උනත් ප්ලේන් එකට නගින තුරුම අපේ එයාර් පෝට් එකෙත් මම රාජ් එක්ක නෙට් එකේ උන්නෙ අයියලගෙන් හැංගිලා...මම යන හැම තැනකම මගෙ ලැප්ටොප් එක අරගෙනයි ගියෙ.........
අපි දූපතට යන්න කලින් මම උන්න හොටෙල් කාමරේ ඉන්නකම්ම රාජ් මා එක්ක චැට් කර කර උන්න...එදා මහ රෑත් එයාට ඕන උනා මා එක්ක ටෙලෙපෝන් එකෙන් කතා කර කර ඉන්න....'ගූග්ල් අර්ත්' එකෙන් හොටෙල් එක තිබ්බ පාර පවා හොයගෙන එයා මට කිව්ව.........

පහුවදා උදේ පාන්දරින් ලොකු බෝට්ටුවකින් තවත් මුහුද මැද්දෙ දූපත් 6 ක් විතර පහු කරගෙන අපි ස්ත්‍රොම්බොලි ගිනිකන්ද තියන දූපතට ගියා.......ඒ මුහුදු ගමන හරිම විනෝදජනකයි..මට නිතරම රාජ්ව මතක් උනත් එයාට කෝල් කරන්න නම් බැරි උනා මූද මැද්දෙ ඉඳන්........


අපි ගිය බෝට්ටුව මේක..!


මෙහෙ මිනිස්සුන්ගෙ විශ්වාසයක් තියනව ගිනි කන්දකින් පිච්චිලා ගලාගෙන ආපු ලාවා පස්(ගල්) අපේ ඇඟේ වැදෙන්න නිතරම තිබුනාම අසනීප සුව වෙනව කියල..ඒ වගේම ඒවා පැළඳගෙන උන්නාම වාසනාව උදාවෙනව කියලත්..........

ඉතින් මටත් මේ ගමනෙදි තිබ්බ ලොකුම අවශ්‍යතාවය උනේ රාජ්ට එයාගෙ හදවත ගාව වැදෙන විදියට කරේ පළදින්න පුලුවන් ලාවා වලින් හදපු යම් දෙයක් හොයාගෙන එන එක....ආපසු එන්න පිටත් වෙන්න කලින් මම මේව හොයන්න ගොඩාක් මහන්සි උනා ...........



අපි ගියෙ දූපතට සංචාරකයින් එන කාලෙක නෙවේ නිසා එහෙම දෙයක් අහලක වත් දකින්න තිබුනෙ නැහැ...ගොඩාක් දෙනෙකුගෙන් අහල විපරම් කරල සොයද්දි එක කෝපි බාර් එකක කෙනෙක් තව කාටද කෝල් කරල එතෙන්ට ගෙන්නුව මේ ලාව ආභරණ සමග එක පුද්ගලයෙක්ව...ඒත් එයා ගාව මට ඕන කරන විදියෙ එකක් තිබුනෙ නැහැ..තිබ්බ ඔක්කොම ගැහැනු ළමයින්ගෙ පොඩි ආභරණ...මම එයාගෙන් ඇහුව නිකම් කරේ පළදින්න පුලුවන් හදවතක් වගේ දෙයක් ගැන...මගෙ වදේටම ඒ මනුස්සය කිව්ව පැයක් විතර ඉන්න පුලුවන්නම් එයා ගෙදර ගිහින් එකක් කපල හදාගෙන එන්නම් කියල...අපේ බෝට්ටුව එන්නත් තව වෙලා තිබ්බ නිසා ඔන්න ඉතින් උන්න කියමුකො...පැයක් උන්න....දෙකක් උන්න...මිනිහ ආවෙ නැහැ...මට දැන් ඇඬුම් එන්න ඔන්න මෙන්න...තව මිනිත්තු ගානකින් බෝට්ටුව එනව අපිව ආපහු ගේන්න.............
මේ දුර ඉඳන් මම ගත්ත කන්දෙ පොටෝ එකක්...!

අනේ පව්..! මෙන්න අර මනුස්සය එනව හති දාගෙන...එයා ගෙනාව ලාවා වලින් හදාපු ලස්සන හාර්ට්ස් දෙකක්..!! හිතුවට වඩා වැඩි මුදලක් ගෙවන්න සිදු උනත් මම ගොඩාක් සතුටු උනා මා වෙනුවෙන් ඒ මනුස්සය ඒ කල දේට...................

මේ හාර්ට්ස් ගැන රාජ්ට කිව්වාම එයාට ඕන උනා ඒව ඉක්මනින් බලන්න පොටෝ එකකින්...මම හාර්ට්ස් දෙක එකට තියල එයාට පොටෝ එකක් අරන් යැව්ව...ඒ හාර්ට්ස් දෙකේ පොටෝ එක ලස්සනයි ඒක ෆේස්බුක් එකේ කවුරුත් දැකල තියන නිසා මම මෙතන පලකරන්නෙ නැහැ.......

''....ඔයාගෙ බෙල්ලෙ ඉඳල හදවත ලඟට එනකම් මැනල මට සෙන්ටි මීටර් ගාන කියනවද...?''....මම එදා එයාගෙන් ඇහුව........

''....ඇයි ඒ මොකටද...?''

''....මේ හාර්ට් එක එවන්න ඒකට චේන් එකක් ඕනනෙ..ඒක කරේ දාගන්න ඔයාගෙ පපුවෙ හාර්ට් එක ගාව වදින්න...එතකොට ඔයාට ඉක්මනින් සනීප වේවි...''


(අදට මම මෙතනින් නතර කරනවා...තවත් එහාට ලියාගෙන යන්න බැරි විදියෙ මොකක්දෝ  හැඟීමක් මට වද දෙනවා..........)

Saturday, 10 December 2011

වසන්ත කාලෙක උදා උන මගෙ ජීවිතේ අප්‍රසන්නම රාත්‍රිය..!!

 අළු පාට හැන්දෑව 13..

හිම වැහි වැටුන සීත කාලෙ ඉවර වෙලා වසන්ත කාලෙ උදාවෙමින් තිබුන...හැම ගහක වැලකම අතු වැහෙන්න මල් පිරීලා...පාට පාට රෝස ගස් වලට පිස්සු හැදිල වගේ...ඇපල් මල් වල..දොඩම් මල් වල සුවඳ හැම තැනම...සීත කබාවලින්..දිග ලෝගු වලින් එලියට ඇවිත් හැමෝම සතුටින්...ලස්සන, පාට සැහැල්ලු ඇඳුම් ඇඳන් හැමෝම එලියෙ ඇවිද්ද....පාරවල..සාප්පු වල..උද්‍යාන වල..මිනිස්සු පිරිලා....ගොඩාක් දෙනෙක් වේවැල් කූඩ වල කෑම පළතුරු දාගෙන පික්නික් යනවා..ගංඟා වල්..වැව් ඉවුරු හොයාගෙන යනව  දවස ගත කරන්න...බිලීපිති එක්ක මාලු අල්ලන්න............
අපිත් එහෙමයි නිවාඩු ලැබුන හැම මොහොතකම අපි එලියෙ ඇවිද්ද..ගෙදර ගියා අම්ම එක්ක ඇවිදින්න..නැත්නම් අම්ම මෙහෙ ආව අපි එක්ක ඉන්න...අපි නොගියපු තැනක් නැති තරම්...මගෙ ජීවිතේ ගෙවුනෙ කිරිල්ලියක් වගේ..ඒත් මේ වෙද්දි මමවත් බලපොරොත්තු නොවුන විදියට මාව වෙනස් වෙමින් තිබුන........
නිවාඩු දින වලට කාටත් කලින් ගමන් යන්න ඉස්සර වෙන මම....නිදාගෙන ඉන්න අය්යලාට වද දෙන මම...සාප්පු ගානෙ සුපර් මාකට් ගානෙ ගිහින් ඕන එපා හැම දේම උස්සගෙන එන මම....ඇඳුම්,ආභරණ,සපත්තු එක්ක ගොඩාක් කාලෙ නාස්ති කරපු මම...ගෙදර අනිත් අය කන්වල ඇඟිලි ගහ ගෙන බලන් ඉන්නකොට ගේ දෙවනත් වෙන්න සෙලින් ඩියොන් ගෙ සින්දු දාගෙන නටපු මම...අපේ ගෙදර කවුරුවත්ම නොහිතපු විදියට වෙනස් වෙමින් උන්න...
මම  මගේ කාමරේම හිර කාරියෙක් වගේ උනා මගේම කැමැත්තෙන්.............!!
වෙනදා ඔෆිස් වෙලාවෙන් පස්සෙ මම මගෙ යාලුවත් එක්ක අපි ටිකක් එලියෙ ඇවිද්ද..වින්ඩෝ ශොපින් ගියා..කොෆී ශොප් එකක..අයිස්ක්‍රීම් ශොප් එකක කතා කර කර කාලෙ ගෙවල දැම්ම...එත් මේ වෙද්දි ඒ ඔක්කොම නතර කලා මම...ගමන් යන්න සති අන්තය වෙනකම් ඉවසිල්ලක් නැතුව උන්න මම නොගිහින්ම බැරි කමට සෙනසුරාද උදේ සුපර් මාර්කට් එකට විතරක් මගෙ ගමන් සීමා කලා...අය්යල බල කරද්දිත් එයාලට යන්න ඇරල මම ගෙදර තනි උනා....අම්ම ආව හැම දවසකම එයාට මාව මහා පුදුමයක් උනා වගේ....මම නිදහසට කරුණු මවා පෑවා................
''...අනේ මට මහන්සී..ඒ ඉස්සරනේ... දැන් මට වැඩ වැඩී..මගෙ ඇඳුම් අල්මාරි අවුල් ඒව අස්කරන්න ඕනෙ..මගෙ කාමරේ පිළිවෙලක් නැහැ ඒක වෙනස් කරන්න ඕනෙ...හැමදාම ඇවිදල දැන් එපා වෙලා..මා ගාව ලස්සන ෆිල්ම්ස් ටිකක් තියනව ඒවා බලන්න ඕනෙ...එලියෙ සද්දෙ වැඩී මගෙ මගෙ ඔලුව රිදෙන්න ගන්නවා...අය්යලාටත් එයාලගෙ ප්‍රයිවට් ලයිෆ් එකක් තියනව නේද? යන හැම තැනම මාව එක්ක යන්න පුලුවන්ද අතේ එල්ලගෙන බබෙක් වගේ?..එයාලගෙ සමහර යාලුවො මගෙ දිහා කන්න වගේ බලනව මම කැමති නැහැ එයාලට..!......ඔන්න ඕව තමා මම නිදහසට කිව්වෙ........!!.
ඒත් මම මේ ඔක්කොම කලෙ රාජ් නිසා...එයා හැමදාම ඉන්නෙ එයාගෙ කාමරේට වෙල දුකින්....!!

''..නංගි ඔයාල හෙට ඇවිදින්න යනවද..?''

''..ම්ම්ම්ම්..ඔව් ඇයි..?''

''..නැහැ නිකම්..අම්මල කොහෙද ගිහින්..මම තනියම ගෙදර..එන්නෙ අනිද්දලු..''

හ්ම්ම්..එදාට මම මගෙ ඔක්කොම ගමන් නවත්වනවා එයා එක්ක නෙට් එකේ ඉන්න කාමරේට වෙලා......

''..නංගි හෙට ඔයා ඔෆිස් එකේ නේද..?''

''..ඔව් ටිකක් වැඩ වැඩී මේ දවස් වල..''

''..මට අසනීප උනා මම ගෙදර ආව දැන්..''

එහෙම දවස් වලට මගෙ වැඩ උඩින් මත්තෙන් කරල මම ගෙදර දුවන් එනව.....ගොඩාක් දවස් වලට එයා අසනීපෙන් ගෙදර අය ගමන් ගිහින් එයාට කන්න වත් නැහැ...කඩෙන් කෑම එකක් කාල ආව කියනව..නැත් නම් කෑම එකක් අරන් ආව කියනව...නැත් නම් බඩගිනි නැහැ කිරි එකක් හදන් බිව්ව කියනව..සමහර දාට මගෙ බලකිරීමට එයා කෑම ගෙන්ව ගන්නව......''අන්න ගේට් එකේ බෙල් එක වැදුන මගෙ පිට්ස එක ගෙනත්..ඉන්න මම ඒක අරන් එන්නම්..''   කියනව එයා...!!

''..ඇයි නංගි ඔයා මට මේ තරම් සලකන්නෙ? මාව බලාගන්නෙ..? කිසිම කෙනෙක් ඔයා තරම් මා ගැන හොයා බලන්නෙ නැහැ නංගි..මගෙ අම්මවත් මට සලකන්නෙ නැහැ ඔයා වගේ..මට ඔයා විතරයි ඉන්නෙ..''

''..ඉතින් දුක් වෙන්නෙ නැතුව ඉන්න අයියෙ.. මම ඉන්නවනෙ ඔයාට..මට කියන්න හැම දෙයක්ම..මම මට පුලුවන් විදියට ඔයාව බලන්නම්..''

''..අනේ ඔහොම කියන්න එපා නංගියො..මට අඬන්න බැහැ මේ තරම්..''

අපි අතර ඇති උන මේ වගේ කතා සිදුවීම් නිසා මම තව තවත් එයාට බැඳුන..නෑ..නෑ  මාව බන්ඳ ගත්තා....!!!




අපි ගෙදර රෑ කෑමට විතරයි එකට වාඩි උනේ...මේ හැමදාකටම වගේ අපිට මාතෘකාවක් තිබ්බ කතා කරන්න..එහෙම නැති උනත් මට පොඩි අයිය එක්ක වාදයක් හරි තිබුනා..ඒ කාලෙ වෙද්දි මගෙ කතා පෙට්ටිය සම්පූර්ණයෙන්ම වැහිල ගියා..!!

''..මොකෝ ඔයා ගොලුවෙලාද..? මොකද වෙලා තියෙන්නෙ..?''
ලොකු අයිය සැර දානකොට පොඩි අයිය මාව හිනැස්සුව...!

''..අනේ ප්ලීස් වඳින්නම්..ඔහොමම වෙන්න..! අපිට බීරො වෙන්න දෙන්න එපා පව්නෙ..!.''

එදා රෑත් සුපුරුදු පරිදි අපි ගූග්ල් ටෝක් එකේ ඉඳල නින්දට යන්න වෙන් උනා....මම මගෙ ඇඳේ...මගෙ පෝන් එකට පණිවිඩයක් ආව..රාජ්ගෙන්..!

''..නංගි මට නින්ද යන්නෙ නැහැ..මට ඔයාගෙන් මේක අහන්නම ඕනෙ..මට ඇත්ත කියන්න...''

''..මොකක්ද අහන්න මම කියන්නම්..''

''..ඔයා මට ආදරෙයි නේද..?''

දෙපාරක් හිතන්න උවමනාවක් තිබුනෙ නැහැ මට...මුලු ලෝකෙටම පේන්න මේකෙ ලියන්න ලැජ්ජා වෙන්නත් නැහැ මම...මම එයාට ආදරේ කරමින් උන්න.....

''..ඔව් මම ආදරෙයි ඔයාට ගොඩාක් ආදරෙයි..''

''..මාව කවදාවත් දාල යන්නෙ නැහැ නේද නංගි ඔයා..?''

''..නැහැ..මම දාල යන්නෙ නැහැ කවදාවත්..සත්තයි..''

''..මාත් ඔයාට ගොඩාක් ආදරෙයි නංගියො..මට ඔයාව ඕනෙ..මට ඉන්නෙ ඔයා විතරයි..මාව දාල යන්න එපා..''

ඔය විදියට එස් එම් එස් පණිවිඩ මහා ගොඩක් එහාට මෙහාට ගියා..මගේ ජීවිතේට උදා උන ඒ අප්‍රසන්නම මූසළ රාත්‍රියේ.....!!!!!!

Friday, 2 December 2011

රාජ් ගෙ ඔෆිස් එක.....!!

(අළු පාට හැන්දෑව..12)


මේ කාලයේ රාජ් වැඩිපුර දින ගත කලේ නිවසේ..අසනීපය නිසා එයා දින සති ගනන් ගෙදර උන්න..ක්ලාස් එකේ වැඩ කරගන්න ඕනෙ කියල ගෙදර උන්න.. එක්සෑම් ලඟයි කියල ගෙදර උන්න...මට මේක ප්‍රශ්ණයක් උනා.දවසක් මම ඇහුව එයාගෙන්.....


''..ඔය විදියට හැමදාම ගෙදර ඉන්නකොට ඔයාට ඔෆිස් එකෙන් ප්‍රශ්ණ ඇතිවෙන්නෙ නැද්ද?..''


''..නැහැ,මම ගෙදර ඉඳන් ඔෆිස් එකේ වැඩ ටික ඔක්කෝම කොන්ට්‍රෝල් කරනව,ගෙදර ඉඳන් වැඩ කරනව කොම්පියුටරෙන්..ලොකුම හදිස්සියක් උනොත් එයාල මට කතා කරනව..එතකොට යනව බලන්න..''


''..අයියෝ ඔහොම ජොබ් එකක් කරන්න අපිට හම්බවෙන්නෙ නැහැනෙ..ගෙදර ඉඳන් ඔක්කොම කරන්න..''


''..ඔයා දන්නවද දෙයක්..අපේ අම්මිගෙ ලොකු අයිය 'බ්‍රදර් කෙනෙක්' එයා තමා අපේ ඔෆිස් එකේ ලොකු බොස්..මේකෙ තව බ්‍රාන්ච් කිහිපයක් තියනව..මේක බලාගන්න පවරල තියෙන්නෙ මට..මම තමා දැනට වැඩ බලන්නෙ..මම ගෙදර ඉඳන් ඔක්කෝම කොන්ට්‍රෝල් කරනව..හදිසි අවස්ථාවක් උනොත් විතරයි මම ඔෆිස් එකට යන්නෙ..එයාල අවශ්‍ය දේවල් වලට මට කෝල් කරල ඇඩ්වයිස් ගන්නව..''


එයා එහෙම කිව්වාම තමයි මට තේරුනේ ඇයි එයාට ඔෆිස් එකේ වෑන් එකකුයි ඩ්‍රැයිවර් කෙනෙකුයි ඉන්නෙ කියල.එයාගෙ ගෙවල් මීගමුවෙ දලුපත කිව්වනෙ,මම දන්න තරමින් ගෙදර ඉඳල මීගමුවෙ මාරිස්ටෙලා එක ගාව තිබුන එයාගෙ ඔෆිස් එකට මිනිත්තු 5 කින් යන්න පුලුවනි...එයා ඔෆිස් ගිය දාට හවස එන්නෙ ඩ්‍රයිවර් එක්ක..ඒ ගමන්ම එයා නිතරම යනව මීගමුවෙ බීච් එකට..ඩ්‍රැයිවර් එක්කම දෙන්න ගිහින් වඩේ කාල එනව..ඒ හැම මොහොතකම මම දන්නව මොකද එයා මට පෝන් එකෙන් කියනවා..(ඇත්තම කියනවා නම් එයා මට මිස් කෝල් එකක් දුන්න ඒ හැම වෙලාවටම මමයි එයාට ආපසු ගත්තෙ.)....සමහර දාට එයාට අපහු ගෙදර යන්න ඩ්‍රැයිවර් ව හොයා ගන්න බැරුව මාර විදියට තරහත් ගියා...
එයා දවල් කෑම කෑවෙ ඔෆිස් එකෙන්..එයාලට උයන්න ඇන්ටි කෙනෙක් උන්න..හැමදාම දවල් කෑමෙන් පස්සෙ මම ඇහුවාම මොනවද කෑවෙ කියල, හැමදාම එයා කිව්වෙ ඉතාම පොහොසත් ඒත් එකිනෙකට නොගැළපෙන කෑම ජාති.....ගෙදරදි උනත් රෑ කෑමෙන් පස්සෙ ඇහුවාම එයා කිව්වෙ නොගැළපෙන කෑම වර්ග..........
ගෙදරදි මා එක්ක කතා කර කර ඉන්න හැම වෙලාවකදිම වගේ එයාගෙ අනිත් ටෙලෙපෝන් එකට කෝල්ස් එනව..''..පොඩ්ඩක් ඉන්න ඔෆිස් එකෙන් දෙයක් අහනව..'' කියල එයා ගොඩාක් වෙලාවක් ඒවට වෙලාව ගත්ත.......
හැම සතියකම වගේ එයා ඔෆිස් එකේ වැඩ වලට කොලඹ බිෂොප් හවුස් එකට ගියා..එයාට ඔෆිස් එකේ කාර් එකක් තිබුන..ඒකෙන් තමා එයා දුර ගමන් වැඩ වලට ගියෙ..මුදල් ගනුදෙනු වලට යන්න..බැංකු වලට යන්න..නීති කටයුතු වලට නීතිඥවරු හමුවෙන්න..ඒ විතරක් නෙවේ ඔෆිස් එකේ ෆැක්ස් යවන්න...පොටෝකොපි ගහන වැඩේ පවා එයා කරද්දි,දවසක් මම ඇහුවා......''...ඇයි ඔයා ඔය වගේ වැඩත් කරන්නෙ..? ඔතන පියන් ගෙ  වැඩේ ඉඳන් කරන්න ඕනෙ ඔයාද?..'' කියල....එයා හිනා උනා..............


හවස වැඩ ඇරුනාම ඔෆිස් එකේ ඉඳන් ගෙදරට එනකම් මග දිගටම එයා මා එක්ක කතා කර කර එන්නෙ..''ඔන්න මම තව මිනිත්තු 3 කින් ගෙදර..ඉන්න ටක් ගාල ඔන්ලයින් එන්නම්..'' කියයල..හරියටම ඒ වෙලාවට එයා ඔන්ලයින් එනව..ඔෆිස් එකේ චුට්ටක් හරි පරක්කු වෙනව නම් මට ඉක්මනින් කෙටි පණිවිඩයක් එවනව ''..මම අද වැඩ ගොඩකට හිර වෙලා,ඉක්මනින් එන්නම්..'' කියල.


රාජ් මට ලස්ස්ණ පොටෝ එකකුත් දුන්න එයාගෙ ඔෆිස් එකේ කට්ටිය එක්ක...ලොකු පාර්ටි එකක..කෑම කනව එයා තව යාලුවො දෙන්නෙක් එක්ක...එයා ඒක දීල මට කිව්වෙ...''මේ මම අපේ ඔෆිස් එකේ වැඩ කරන අයට හැම අවුරුද්දෙම දෙන පාර්ටි එක..'' කියල..........


එයා වෙන්නප්පුවෙ ප්‍රසිද්ධ පිරිමි පාසැලක ශිෂ්‍යනායකයෙක් වගේම..2005 වසරෙ ''හොඳම විනය ගරුක'' ශිෂ්‍යයා විදියට තේරුනා කියල මට කිව්වෙ හරිම ආඩම්බරයෙන්.........


රාජ් ට ගොඩාක් කරදර තිබුන ගෙදරදි......එයාගෙ අම්මත්,අයියත්,අයියගෙ නෝනත් නිතරම එක එක වැඩ පැවරුව එයාට....ඒ ගැන එයා උන්නෙ ලොකු කණගාටුවකින්..අම්ම..නෑනා...නිතරම ගමන් බිමන් ගියා.... සුපර්මාර්කට්.ශොපින්....ඒ හැම ගමනකටම මෙයා කාර් එක අරන් යන්න ඕනෙ ලු......එයා නිතරම ඒ අයට දොස් කිව්ව මා එක්ක...''.....මාව ඕන වෙන්නෙ ඩ්‍රැයිවර් වැඩේට විතරයි මෙයාලට...'' කියල................


අනේ මන්ද.....ඔෆිස් එකේ වැඩ..බෝඩ් මීටින්..ඉගෙන ගන්න පාඩම් කරන වැඩ..ක්ලාස් එකේ වැඩ..අම්මගෙ වැඩ..නෑනගෙ වැඩ.....කාර් එක සෝදන එකේ ඉඳන් අයියගෙ වැඩ...ඒ මදිවට සැරෙන් සැරේ වද දෙන කරුම අසනීපෙ...!!


මම ගොඩාක් දුක් උනා එයා මේ ගෙවන ජීවිතේ ගැන...විඳින දුක අහල...ඒ කොච්චර වැඩ අධික උනත් එයා නොවරදවාම මා එක්ක ඔන් ලයින් උන්න සුපුරුදු වෙලාවල් වලට.....




එයාගෙ අයිය ගෙදරට අන්තර්ජාල පහසු කම් අරන් තිබ්බ ඒත් රාජ් ට ඒ පහසු කම් තිබුනෙ නැහැ...අයිය පාස්වර්ඩ් දාල කිව්ව රාජ්ට පාවිච්චි කරන්න බැරි වෙන්න...රාජ් අයියගෙන් නෙට් එක පාවිච්චි කරන්න අවසර ඉල්ලුවත් ඒ අයිය දෙන්නෙ නැහැ ලු.......මට නම් පුදුම හිතුන ඒ අයිය ගැන..ඇයි දෙවියනේ තාත්ත කවුරු උනත් ඒ දෙන්න එක අම්මගෙ බඩෙන් ඉපදුන, එක්කුසේ උපන් සහෝදරයො නේද...අනික මහන්සි වෙලා ඉගෙන ගන්න එකම මල්ලිට එයා කලේ පුදුම දුෂ්ඨ කම්..නෙට් නැතුව කෝමද කොම්පියුටර් වැඩ කරන්නෙ?..මම ඒ අයිය එක්ක පුදුම තරහකින් උන්නෙ.....................
මගේ ජීවිතයේ අප්‍රසන්නම රාත්‍රිය ගැන කියන්නම් ඔයාලට ඊලඟ කොටසින්......!!!!


Sunday, 27 November 2011

නිල්මිනි අක්ක............!

(අළු පාට හැන්දෑව 11) 


එදා රාජ් ගෙ ගමන නතර උනත්....පහුවදා එයාගෙ අසනීපෙ ආයෙමත් හොඳටම වැඩි උනා..එයාට කතා කර ගන්නවත් බැරි තරමට අමාරු උනා..එදත් හොස්පිටල් එකේ ඉඳල ආපහු ගෙදර ඇවිත් එයා කිව්වෙ මෙහෙම.........


''.. නංගියා....මම ඊයෙ උදේ පාන්දර ෂවර් එක යට උන්න පැයක්,ඇල්වතුර ඔලුවට වැටෙන්න...ඒකයි මට අමාරු උනේ,මට ඕන උනේ මේ අසනීපෙන්ම මැරෙන්න...මේ ගෙදර මිනිස්සු දන්නවා නම් මාව එලවල දානව දැන්ම...''


මොනවා කියන්නද කියල හිතා ගන්න බැරි උනා මට..හැමදාම වගේ මම බණ කිව්ව...!!
දරුවෙකුට අම්ම කෙනෙක් අවවාද කරද්දි වගේ එයා අහගෙන ඉන්නව...එයාට ආදරෙන් කරුණාවෙන් දේවල් කියල දෙන්න ඕනෙ.එයාගෙ හිත සනසන දේවල් කියනවට පුදුම කැමැත්තක් එයාගෙ තිබුනෙ...එයා ට නිතරම එයාගෙ තනියට ඉන්න මාව ඕනෙ උනා...
ඒ දවස් වල මට ෆේස්බුක් එකවුන්ට් එකක් තිබුනෙ නැහැ..හදිසියෙම රාජ් මට එදා කිව්ව ෆේස්බුක් එකට එන්න කියල..එයාගෙ කතාව අනුව එයාට ඕනෙ උනේ අනුත්තරාට පේන්න මා එක්ක රිලේෂන්ශිප් එක දාගන්න ඒකෙ..මම ඒකට කොහෙත්ම කැමති උනේ නැතිඋනත්, ඒක එයාට කෙලින්ම කිව්වෙ නැහැ..පස්සෙ ඒ බව එයාට දැනිලද කොහෙද ''..ඔව් එක අතකට ඒක මම මාවම රවට්ට ගන්නවා වගේ වැඩක් නෙ..''කියල....
පස්සෙ රාජ් කිව්ව එයා අනුත්තරාව ෆේස්බුක් එකෙන් බ්ලොක් කලා කියල..ඊට පස්සෙයි මම එයාගෙ කීමට ෆේස්බුක් එකට ගියෙ..


එයාගෙ එෆ්බී එකේ උන්නෙ යාලුවො 5 දෙනෙක් විතරයි..ඒකෙන් 4 දෙන් පිරිමි ලමයි..එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ..එක්කෙනෙක් ඉතාලියෙ..අනිත් දෙන්න ලංකාවෙ..ඔය අතර උන්න එකම ගැහැනු යාලුවා නමින් 'නිල්මිනි'..රාජ්ගෙ 'නිල්මිනි අක්ක' එයා ලේඩි ඩොක්ටර් කෙනෙක්...මෙයා මට කලින් කියල තිබුන විදියට නිල්මිනි කුරේරා මීගමුවෙ රජයේ රෝහලේ සේවයෙන් ඉවත් වෙලා මීගමුවෙම පුද්ගලික රෝහලක සේවය කලා..එෆ්බී එකේ නිල්මිනි දිසානායක නමින් උන්න නිසා,මම ඇහුවාම රාජ් කිව්වෙ එයාගෙ හස්බන්ඩ් දිසානායක,දැනට ඉන්නෙ එංගලන්තෙ කියල..නිල්මිනි අක්ක කියන්නෙ රාජ්ගෙ තාත්තගෙ පොඩිකාලෙ ඉඳන්ම තාමත් එකට ඉන්න හොඳම යාලුවගෙ ලොකු දුව..එයාට නංගි කෙනෙක් ඉන්නවා නමින් 'උපුලි'..ඒ දුවල දෙන්නත්,රාජ් එයාගෙ අයියත් 4 දෙනාම පොඩි කාලෙ ඉඳන්ම හැදුනෙ වැඩුනෙ සෙල්ලම් කලේ එකටලු..ඉස්සර රාජ්ල උන්නෙ නිල්මිනිලගෙ ගෙදරට අල්ලපු වත්තෙලු..නිල්මිනි අක්ක එයාගෙ නංගි උපුලිව රාජ් ට යෝජනා කරාම එයා කැමති උනේ නැහැලු..අනුත්තරා ගැන නිල්මිනිට කිව්වලු..


මේ ඩොක්ටර් නිල්මිනි රාජ්ගෙ ජීවිතේ ප්‍රබල කොටසක් වෙලා උන්න බව මට දැනුන එයා කිව්ව හැම වචනයක් වචනයක් පාසාම...එයාගෙන් රාජ්ට එක එක විදියෙ බලපෑම් තිබුන බවත් මට දැනුන...මම හිතුවෙ පොඩි කාලෙ ඉඳන්ම එකට හැදුන නිසාත්,මෙයාලට වැඩිමල් අක්ක කෙනෙක් නැති නිසාත් එයා එහෙම හැසිරෙනව ඇති කියල...........


රාජ්ලගෙ ෆැමිලි එකේ අය නිතරම වගේ නිල්මිනී අක්කලගෙ ගෙදර ගියා..එයා කිව්වෙ තාත්තල එකතු වෙලා පොඩි පාර්ටි ගන්නව කියල...විශේෂයෙන් රාත්‍රි කාලවල..රාජ් ඒ ගෙදරට ගියාමත් මා එක්ක කතා කලා ස්කයිප් එකෙන්..සමහර දින වල යම් යම් ගමන් බිමන් ගිහින් එන අතර තුරත් එයා කිව්ව නිල්මිනි අක්කලගෙ ගෙදරින් කෑම කාල ආවෙ කියල.....''ආ ඔයා උපුලිව බලන්න ගියාද?..'' කියල මම විහිලු කලාම,එයා කිව්වෙ උපුලි ඉන්නෙ නිල්මිනි අක්කලගෙ ගෙදර නෙවේ එයාලගෙ අම්මල ඉන්න මහ ගෙදර කියල............
ඒ අනුව මට එක දෙයක් තේරුම් ගන්න පුලුවන් උනා...නිල්මිනි අක්ක ගෙදරක තනියම ජීවත්වෙන ගෑනු කෙනෙක් විය යුතුයි..මොකද එයාගෙ සැමියා ඉන්නෙ පිටරට..!!
ඔය අතරම රාජ් මට ගැහැනු ලමයෙකුගෙ උඩුකයේ පොටෝ එකක් එව්ව..එයා තමා 'උපුලි' එදා මම ඇහුව 
''..ඇයි ඔයා මට මේක එව්වෙ?..'' කියල.. එයා කිව්වෙ.
''..ඕක මම අනුත්තරාට යැව්ව මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියල 
එහෙම කලේ අනුත්තරාව මගෙන් ඈත් කරන්නම බැරි නිසා..'' 
''..හරි ඉතින් දැන් මට එව්වෙ?..''  
''..නිකම් එව්වෙ,ඔයාට උපුලිව පෙන්වන්න ඕනෙ නිසා..''
ඒ පොටෝ එක දැකල කිසිම විශේෂයක් හිතුනෙ නැහැ මට...කොටින්ම අවංකවම කියනවා නම්,ඒ පොටෝ එක මගෙ එකක් අහලකින් වත් තියන්න පුලුවන් එකක් නෙවේ.....හැබැයි මම රාජ් ගෙන් එදා මෙහෙම දෙයක් ඇහුව..
''..ඉතින් දැන් අනුත්තරා නැති නිසා ඔයාට පුලුවන්නෙ උපුලිට කැමති වෙන්න?..''
''..අපෝ ඒක කරන්න බැහැ..අපි පොඩි කාලෙ ඉඳන් සහෝදරයො වගේ,කවදාවත් එහෙම අදහසක් මට ඇති වෙන්නෙ නැහැ..එයා මට මගෙම නංගි වගේ..ඒ නංගි දන්නෙවත් නැතුව ඇති අක්ක එයාව මට යෝජනා කලා කියල..''


රාජ් කිව්වෙ එයා ජීවිතේටම වැඩිම වේලාවක් කතා කරපු එකම ගැහැනු ලමය මමලු..අනුත්තරා එක්ක වත් මා එක්ක තරම් විවෘතව ගොඩාක් වේලාවක් කවදාවත් කතා කරල නැහැ කියල එයා කිව්වෙ......
මේ අතරම දවසක් එයා මට කිව්ව එයාගෙ ඇත්ත තාත්තව හොයා ගන්න ඕනෙ කියල...මටත් ඒ අදහස හිතට ඇවිත් ගොඩාක් දවස්,ඒත් මම එයාට කිව්වෙ නැහැ..මම එයාගෙන් ඒ ගැන ගොඩාක් ප්‍රශ්න ඇහුව ඒත් එයා කිව්වෙ  ඒ කිසිම දෙයක් හොයා ගන්න බැහැ කියල විතරයි...ඒක රහසක්ලු ආච්චි විතරක් එයාට පොඩි විස්තරයක් කිව්වලු..ආච්චි නම් දන්නවලු ඒත් දැන් කියන්නෙ නැතිලු...අම්මගෙන් අහන්න බැරිලු...ඇත්ත තාත්ත ගැන හොයන බව මේ ඉන්න තාත්ත දැනගත්තොත් එයාට අනිවාර්යයෙන්ම ගෙදරින් යන්න වෙනව කිව්ව..............


''..ඉතින් දැන් මොකද අපි කරන්නෙ? කෝමද ඔයාගෙ තාත්තව  හොයා ගන්නෙ?..''


''..අනේ මන්ද නංගි...මට මගෙ තාත්තව හොයා ගන්න ඕනෙ...මැරෙන්න දවසකට කලින් හරි මට මගෙ තාත්තව හොයා ගන්න ඕනෙ..''


Friday, 25 November 2011

රුක් අත්තන මල් ...................!!





අද අපේ අම්ම ඇවිත්.....ඔන්න ඇහෙනව සිංහල සින්දුවක්..!


''......රුක් අත්තන මල මුදුනේ...බඹරු නටන සැන්දෑවේ....''


සින්දුවට කන් දීගෙන ඉන්නකොට ඉබේම හිතට ආවා ඈත කාලෙක එක්තරා මතකයක්..මතකයක් විතරක්ම උනත් මම ආශයි මොහොතකට හරි ඒ මතකයේ ජීවත් වෙන්න.....


ඉස්සර අපේ ගෙදර..ඒකට කවුරුත් කිව්වෙ 'මහ ගෙදර' කියල..මොකද තාත්තගෙ උපන් ගෙදර ඒක....ඔය මහ ගෙදර තුබුන සොල්දරයක් ඒ කියන්නෙ උඩ තට්ටුවක්..අපි පවුලෙ අය ජීවත් උනේ පහල..සොල්දරේ කවුරුත් නැහැ පාලුයි..සීයලාගෙ ආත්තම්මලාගෙ පරණ බඩු තිබුන ඒකෙ...අපි ඉස්සර හැංගි මුත්තන් සෙල්ලම් කරද්දි විතරක් සොල්දරේට යනව ඒකෙ හැංගෙන්න..පස්සෙ පස්සෙ ආත්තම්ම ඒකට යන්න අපිට තහනම් කලා,එයාගෙ කෞතුක වස්තු ටික කඩා බිඳ දමාවි කියල.....ඉතින්, ඉස්සර මට පුරුද්දක් තිබුන ගෙදර කවුරු එක්ක හරි ඔය පුංචි දේකට තරහ උනාම සොල්දරේට වෙලා හැංගිලා ඉන්න...මගේ ප්‍රියතම තැනක් තිබුන..ජනේලයක් ගාව මිටි පෙට්ටගමක් තිබුන ඒක උඩ ඉඳගෙන මම ජනේලෙන් ඈත වෙල්යාය දිහා බලාගෙන ඉන්නවා...කොක්කු..කිරල්ලු..පිළිහුඩුවො...දිහා බල බල මට දවසක් උනත් ඉන්න පුලුවන්...බොහෝ දුරට මම ඔතෙන්ට යන්නෙ හැන්දෑවට ඉස්කෝලෙ ඇරිල ආවට පස්සෙ...............


ඔය කාලෙ එක දවසක් මට දැනුන එතන ජනේලෙ ගාවට අමුතුම අමුතු සුවඳක් එනවා....මොන වගේද කියල හරියටම විස්තර කරන්න බැරි,මෙන්න මේක වගේ කියල උදාහරනයක් වත් දෙන්න බැරි,අමුතුම මිහිරි..ගැඹුරු..සුවඳක්..!..ඒ වගේම මොකක්දෝ අමුතු පාලු ගුප්ථ ගතියකුත් ඒ සුවඳෙ මට දැනුන........


ආත්තම්මගෙන් ඇහුවාම එයා කිව්ව..වෙල්යායෙන් එහා ඈත ගමක රුක් අත්තන ගස් වල මල් පිපිල කියල...ඒ සුවඳලු ඔය එන්නෙ...


ඊට පස්සෙ හැමදාම හැන්දෑවට මම පුරුද්දක් වශයෙන් සොල්දරේට යනව ජනේලෙ ගාව ඉඳන් රුක් අත්තන මල් සුවඳ විඳින්න....ඒක හරිම අමුතු සුවඳක්.....!! ඒත් ටික කාලෙකට පස්සෙ ඒ සුවඳ එන්නෙ නැති උනා...මල් වාරෙ අවසන් වෙලා වෙන්න ඇති............


ආයෙමත් කාලෙකට පස්සෙ ඒ සුවඳම සුපුරුදු විදියට දැනෙන්න ගත්තාම මට උවමනා උනා ඒ මල් පිපෙන ගස් මොනවද කියල බලා ගන්න..ඒක මට ඒ දවස් වල 'පොඩි පිස්සුවක්' වගේ තමා තිබුනෙ...දවසක් අපි කොහෙද ගිහින් එනකොට තාත්ත කනත්තක් ගාව නතර කරල මට පෙන්නුව ලොකු ගස් වගයක්...ඒවා තමා රුක් අත්තන ගස්..! සුදු පාට පුංචිම පුංචි මල් පොකුරු පොකුරු ඒ ගස් වල පිරීලා තිබුන මට අද වගේ මතකයි.......ඒත් අනේ අර මට වෙනද දැනෙන අර පාලු ගුප්ථ මිහිරි සුවඳ  ඒවලින් නම් දැනුනෙ නැහැ...ඇත්තටම ඒක වෙන්න බැරි දෙයක්නෙ....තාත්තගෙන් අහුවාම එයා කිව්වෙ මේ වගේ කතාවක්...........


''...රුක් අත්තන මල් වල සුවඳ දැනෙන්නෙ ලඟට නෙවේ දුරට....''


ආත්තම්ම කිව්ව්ව..රුක් අත්තන මල් පිපෙන්නෙ හැන්දෑවටලු...මිනී කනතු වගේ පාලුවට ගිය තැන් වල ලු ඒ ගස් වැඩිපුර හැදෙන්නෙ...පොළඟ කියන සර්පයා කෑවාම ඉස්සර කාලෙ මිනිස්සු සිහි මුර්ජාවෙල ඉන්න ලෙඩාව රුක් අත්තන ගහේ ලෑල්ලක් උඩ තියාගෙන ලු වෙදකම් කරන්නෙ...රුක් අත්තන ගහේ ලීයට සර්පයගෙ විස ඇද ගන්න පුලුවන්ද මොකක්ද කතාවක් කිව්ව වගේ මට මතකයි...................


අද මට නන්දා මාලනීගෙ ඒ ගීතය ඇහුනාම ආයෙමත් ඒ මල් සුවඳ මතක් උනා....


තාත්ත ඒ මල් ගැන එදා කිව්ව කතාව මතක් උනා....''...රුක් අත්තන මල් වල සුවඳ දැනෙන්නෙ ලඟට නෙවේ දුරට...''.....අද මට හිතෙන්නෙ මෙහෙම.....ආදරෙත්  ඒ වගේ......රුක් අත්තන මල් සුවඳ වගේ........ඔව්..හරියටම ඒ වගේ...!!!!

Tuesday, 22 November 2011

සමාවෙන්න අනුත්තරා................

(අළු පාට හැන්දෑව 10)


ඒ මේල් එක දැක්ක ගමන්ම මට හිතුනෙ රාජ් කොහේ හෝ දුර පලාතකට ගිහින් ජීවිතේ නැති කර ගනීවි කියල... එයා උන්නෙ ඒ තරම්ම ජීවිතෙන් අන්තයටම වැටිල.....මට හොඳටම බය හිතුන..බයටත් වඩා දරාගන්න බැරි තරම් දුකක් දැනුන...කවදාවත් නොදැනුන මහා පාලුවක්,බය හිතෙන තනිකමක් වගේ දෙයක් දැනුන...දැන් ඉතින් කෝමද තවත් එයා ගැන දැන ගන්නෙ? එයාට මොකද උනේ?ආයෙ කවමදාවත් එයා මට හමුවෙන එකක් නැද්ද? කාගෙන් අහන්නද?කාට කියන්නද? මේවා හිතල මට පිස්සු හැදීගෙන එන්නතරම්...මම මහා හයියෙන් අඬන්න පටන් ගත්ත....ගෙදර අනෙක් අයට ඇහෙයි කියල මගෙ කාමරේ ටී.වී එක සද්දෙන් දාල,එදා හිම වැස්සට යට වෙලා තිබ්බ් බැල්කනියට වෙලා සීතලෙන් වෙව්ල වෙව්ල මම ඇඬුව.........


මේ ලියන මොහොතෙත් මගෙ ඇස්වලින් කඳුලු ගලාගෙන යනව.......ඒත් ඒ රාජ් ගැනවත්..අතීතයක් ගැන වත් හිතිල නෙවේ කොහෙත්ම...අපේ අම්මගෙත් තාත්තගෙත් අනිත්  පවුල් වල ඉපදිලා ඉන්න දරුවො අතරින් 'බුද්ධිමත්ම කෙල්ල' විදියට නමක් අරන් ඉන්න මම... මගේ ආත්මය,තත්වය,කවදාවත් මුණ නොගැහුන ඒ වගේ පුද්ගලයෙක්, වෙනුවෙන් ඒ තරම් හෑල්ලුවට පත් කර ගත්ත දුකටයි..වේදනාවටයි මේ කඳුලු.......


මම හිතුවටත් වඩා ඉක්මනින් මගෙ හිත රාජ් ට බැඳිල කියල මට  වැටහුනේ එදා...මටත් නොදැනිම ඒක හරියටම මායාවකට හසු උනා වගේ.................................


ඉතින්....එයාට මෝටර් බයික් එකක් තිබුන ඒකෙ පොටෝ එකකුත් මට එවලයි තිබුනෙ...එයා හැම තැනම යන්නෙ ඒකෙන්...මට ඕන කලේ එයාගෙ මේ ගමන කෝම හරි නතර කරන්න...ඉතින් මම එයාට කෝල් කලා..එයාගෙ පෝන් දෙකම වහල දාල...මම ඊටපස්සෙ කලේ කෙටි පණිවිඩ යවන්න පටන් ගත්ත එක නොනවත්වාම....විටින් විට නොනවත්වාම කෝල් කලා....ඔය විදියට පාන්දර  වෙනතුරුත් නිදි නැතුව මම එයා ගෙන් පිලිතුරක් බලන් උන්න.... ලංකාවෙ වෙලාවෙන් පාන්දර 0630 ට විතර එයා ඔන්ලයින් ආවා...යන්න ලෑස්තිවෙලා පෝන් එක බලද්දි මගෙ පණිවිඩ නොනවත්වාම ආවලු ඒ නිසා කොම්පියුටර් එකට ආව කිව්ව.............කොහෙද යන්නෙ ඇයි මොකද උනේ හේතුව ඇහුවාම එයා කිව්වෙ මෙහෙම.....
''.....නංගි මට තවත් ඉඳල වැඩක් නැහැ....අනුත්තරා ඊයෙ මා එක්ක චැට් කරද්දි මට තේරුනා එයා වෙනද වගේ නෙවේ කියල මට තේරුනා එයා තවත් කෙනෙක් එක්ක චැට් කරනව කියල..මම ඒක ඇහුවාම එයා කිව්වෙ..එහෙම එකක් නැහැ කියල..එයාගෙ ඊමේල් එකේ පාස් වර්ඩ් එක මා ගාව තියනව..ඉතින් මම පස්සෙ ඒකට ගිහින් බැලුව...එයා එයාගෙ අම්මල එයාට කතා කරපු බෝයි එක්ක කතා කර කර ඉඳල තියෙන්නෙ...ඒ දෙන්න කතා කරපු ඔක්කෝම මම කියෙව්ව....එයාල දෙන්න  ෆේස්බුක් එකෙත් රිලේෂන්ශිප් දාගෙන ඉන්නෙ...''


''....ඉතින් අයියෙ..ඔයා දන්නව නේද එයා ඒ බෝයිව මැරි කරන්න යන්නෙ කියල? ඔයා මටත් කිව්වෙ? ඇයි ඉතින් ඔයා ඒව ගැන හොයන්න යන්නෙ? අනුන්ගෙ පුද්ගලික දේවල් කියවන්න ගියෙ ඇයි ඔයා?..එයා ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවේනෙ..'' 


''....ඔව් නංගි ඒක හරි,මම දන්නව..මම දන්නව එයා කවද හරි ඒ දේ කරන බව...ඒත් මම හිතුවෙ නැහැ මේ තරම් ඉක්මනට එයා එහෙම කරාවි කියල නංගියො.. මම යනවා යන්න..මම කොහේ හරි යනව ඈතකට...''
මට එවෙලෙ දැනුනෙ නම් කේන්තියක් වගේම මහා අප්‍රසන්න හැඟීමක්...ඒත් ඒ වෙලාවෙ මට උවමනා කලේ එයාගෙ ගමන නතර කරවන්න කෝම හරි....ඒ ගැන මේකෙ ලියන්න මට හිත දෙන්නෙම නැහැ...දැන් ඒ දවස ගැන මතක් වෙද්දි දැනෙන්නෙ මහා අපුලක්..!!
මම අඬපු තරමක්..! වැඳපු වැඳිල්ලක්..! හිඟන්නියෙක් වගේ ආයාචනා කරපු තරමක්..! ඒ වගේම අනුත්තරාට බැනපු තරමක්..!(සමාවෙන්න අනුත්තරා).........


කෝම හරි නොවඳිනා වැදුම් වැඳල ඒ ගමන යන්න නොදී මම එයාව නතර කර ගත්ත.......


ඇත්තටම එයා එහෙම ගමනක් යන්න ප්ලෑන් කලාද?..නැත්නම් ඒකත් මාව අල්ලා ගැනීමේ තවත් දක්ෂ ප්ලෑන් එකක්ද?


දයාබර අනුත්තරා අක්කි......!




මගේ මේ කතාව ඔයා මුල ඉඳන්ම කියවන බව මම දන්නව.....මේක ලියන්න පටන් ගන්නත් කලින් ඉඳන්ම අපි දෙන්නට දෙන්න අපේ හිත් වල තිබ්බ ඔක්කොම ගැටලු නිරාකරනය කර ගත්ත.....හිතින් ගොඩාක් නොමග ගිහින් උන්න මමයි ඔයාට වැරදි කලේ....මම ඒවට ඔයාගෙන් සමාව ගත්ත...මේ කතාව ලියන අතර තුරෙත් ඔයාගෙ හිත රිදෙන දේවල් මගෙ අතින් ලියවෙනව වෙන්න පුලුවනි...මම දන්නව ඔයා මේ මෝඩ නංග එක්ක තරහ වෙන්නෙ නැහැ කියල...සමාවෙන්න මට...!! 

Friday, 18 November 2011

පුංචි මල්ලියෝ...ඔයාට නිවන් සුව..!

එදා සෙනසුරාදා දවසක්..................


( අළු පාට හැන්දෑව 9.)


''..නංගි මම අද හවස ගමනක් ගිහින් එන්නම්..''


''..ඔයා කොහෙද යන්නෙ..?


''..මම යනවා මල්ලියව බලන්න මිනි පිට්ටනියට...ගොඩාක් දවසකින් එයාව බලන්න යන්න බැරි උනා ගිහින් ටිකක් කතා කරල එන්නම් එයත් එක්ක...''


''..කනත්ත තියෙන්නෙ ගොඩාක් දුරද..?


''මෙතන ඉඳන් කිලෝ මීටර් 15 ක් විතර නංගි...මම ඉක්මනින් එන්නම්..''


කිලෝ මීටර් පහලොවක්..?මම තනියම හිතුවා..වෙන්න ඇති මල්ලි නැති වෙන්න කලින් එයාල උන්නෙ වෙන ගෙදරක කිව්වනෙ..හ්ම්ම්....


''..ඔයා හවස ඔන්ලයින් ඉන්නවනෙ නේද?
''..ඔව් අයියෙ, මම ඉන්නම්,ඔයා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකො..''


එයා හවස ආපසු ආවාම මම ගමනෙ විස්තර ඇහුවා...


''..ඔව් මම ගියා.. මල්ලියා එක්ක කතා කලා..මම ඔයා ගැනත් කිව්ව එයාට..අපේ ගෙදර අයට නම් දැන් මල්ලියව අමතකම වෙලා..කනත්ත මුර කරන්න ඉන්න අන්කල් කිව්ව..වැඩිපුරම ඒ කනත්තට එන කෙනා මම ලු..ඒකෙ තියන වැඩිම ලස්සන සොහොන් කොතත් මගෙ මල්ලියගෙලු..අනේ දැන් හිටිය නම් ලොකු කොල්ලෙක්,එහෙනම් මම තනි වෙන්නෙත් නැහැ මෙහෙම...''  


එයා දිගටම කියව ගෙන ගියෙ දරාගන්න බැරි තරම් දුකකින්....එයාගෙ හිත සනසන්න මම නොකියපු දෙයක් නැහැ...එයා ඒ මැරුන මල්ලි වෙනුවෙන් පුදුම දුකක් වින්ද..


''..එයා දැන් හොඳ ලෝකෙක හොඳ තැනක ඉපදිලා ඇති අයියෙ,ඔයා තවත් දුක් වෙන්න එපා..ඔයාගෙ ජීවිතේ ලස්සන ට ගෙනියන්න හිතන්න..එතකොට ඒ මල්ලිත් ඔයා දිහා බලාගෙන සතුටු වේවි ඉන්න තැනක ඉඳන්..''.....
මම දන්නව මේ වචන වලින් කෙනෙකුගෙ ඒ වගේ නැතිවීමක දුක වේදනාව නැති කරන්න බැහැ කියල ඒත් මට ඒ වෙනුවෙන් වෙන කරන්න දේකුත් නැහැනෙ......ඒ ගැන හිතල මාත් ගොඩාක් දුක් උනා...එයාට උන්න එකම හිතවතාත් එයාට නැති වෙලා සදහටම...


''..ඔයා දන්නවද නංගිය...මල්ලි නිදාගත්තෙ මා එක්ක එකම ඇඳේ..අපි දෙන්න දෙපැත්තෙ..එයා නිදපු කොට්ටෙ මේ තාමත් එතනම තියනව..මම ඒක එතනින් අහක් කරන්න දෙන්නෙ නැහැ කාටවත්...''


හ්ම්...ගෙවල් මාරු කලාට පස්සෙවත් මෙයා දෙන්න නිදාගත්ත ඇඳයි කොට්ටයි වෙනස් කරල නැහැ...දැන් මල්ලි මැරිල අවුරුදු 11 ක්..! පුදුම ආදරේකින් ඉඳල තියෙන්නෙ මල්ලිට...අවුරුදු 11 කට පස්සෙත් ඒ මල්ලිව අමතක කරන්න බැරුව දුක් විඳිනව මේ අසරනය..පව් දෙවියනේ..මගෙ පපුව කඩා වැටෙන්න තරම් දුකක් දැනුන....මේ වගේ සහෝදරයෙක්..මේ වගේ හිත හොඳ කොල්ලෙක්,හොඳ දයාබර හිතක් හිමි මනුස්සයෙක් මෙහෙම හමු උන එකත් මගෙත් වාසනාවක් වෙන්න ඇති කියල මට හිතුන...........


''...නංගියා...මම ඔයාට බලන්න එවන්නද මල්ලිගෙ පොටෝ එකක්?..


''...හා..හා...එවන්න..'' 


 මට ඒක බලන්න ඉවසුමක් නැති උනා.....එයා එවෙලෙම එව්ව මට,මුහුදු වෙරළක හිටගෙන ඉන්න අවුරුදු 4 ක විතර පිරිමි ලමයෙකුගෙ පොටෝ එකක්,ඒ පොඩි ලමයා ඇඟ වටේ තුවායක් ඔතාගෙන උන්නෙ........ඒ පොටෝ එකේ රාජ් ලියල තිබ්බ ''මගේ පන'' කියල...ඒ පොටෝ එකේ උන්න ලමයගෙ මූන රාජ්ගෙ මූනමයි..රාජ් පුංචි කාලෙ වගේ මට පෙනුනෙ.....මේවා අහල දැකල මට ගොඩාක් දුක හිතුන රාජ් ගැන.....එදා එයා කිව්ව මෙහෙමත්.......


''....නංගි..ඔයාව මට හොයල දුන්නෙ මගෙ මල්ලියා...එයයි ඔයාව මා ගාවට එව්වෙ....එයා දන්නව දැන් මට මගෙයි කියල කිසිම කෙනෙක් නෑ කියල....ඉස්කෝලෙ මගෙ උන්න එකම හොඳම යාලුවත් මගෙ ජීවිත කතාව ඇහුවට පස්සෙ මාව දාල ගියෙ පැදුරටත් නොකියා..එයා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ..ඒත් මා එක්ක එක වචනයක් කතා කරන්නෙ නැහැ...ඊට පස්සෙ මම කිසිම යාලුවෙක් ට ලන් උනේ නැහැ...මාව  හැමෝම දාල යනව නංගියො..ඔයත් මාව දාල යාවි..එහෙම නේද?..ඔයත් මාව දාල යනව නේද?...''


''...නැහැ..නැහැ....මම ඔයාව දාල යන්නෙ නැහැ..කවදාවත් නැහැ...''


මම එකපාරටම එහෙම කිව්ව... ඒක එහෙම කිව්වෙ ඉබේම කටට ආවට නම් නෙවේ....මම ඒක එහෙම අදහස් කලා..ඇත්තටම ඒ වෙද්දි මට එයාව දාල යන්න බැරි තත්වයක් තිබුනෙ...ඒ වගේ ජීවිතේ අන්තයටම ඇද වැටිල ඉන්න කෙනෙක්ව දැන දැනම දාල ගියොත් මට මහා ගෙවා ගන්න බැරි තරම් පවක් වේවි කියලයි මට හිතුනෙ...........


ඔය අතරම දවසක් මට රාජ් කිව්ව අනුත්තරාට ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනත් එයා ඒකට කැමති උන බවත්..දැන්  ඒ දෙන්නගෙ කේන්දර බලන්න යන වගකුත්...පස්සෙ එයා කිව්ව අනුත්තරා විවාහ වෙන්න තීරනය කලා ලු කියල....මම එයාට නිතරම කිව්වෙ අතීතය ගැන හිතන්නෙ නැතුව එදිරිය බලන්න කියල...


''නැහැ නංගි මම මගෙ අතීතය සම්පූර්නයෙන් අමතක කරනවා..මම දැන් එයා ගැන හිතන්නෙ නැහැ..'' කියල එයා ඒ හැම වෙලේම කිව්ව....


ඒ දවස් වල අපේ වෙලාවෙ වෙනස පැය 3ක් මිනිත්තු 30 ක්...අපේ වෙලාවෙන් හවස 0430 ට එයාට රෑ 0800 වෙන්නෙ...එයා රෑ කෑමට යන්නෙ හරියටම 0800 ට...මම එයා කාල එනකම් ඉන්නව..ඊට පස්සෙ එයා ආවාම එයා කෑවෙ බිව්වෙ මොනාද විස්තර අහලා තමා මම අපේ  ගෙදර රෑ කෑම හදන්න යන්නෙ....ඊට පස්සෙ මම කෑම කාල එනකම් එයත් ඉන්නව...මම එද්දි හැමදාම රෑ 0900 වෙනව...ඒ කියන්නෙ එයාට 1230.....ඊට පස්සෙත් අපි දෙන්න ගොඩාක් වෙලා කතා කර කර ඉන්නව ස්කයිප් නැත් නම් ගූග්ල් එකෙන්.........ගොඩාක් දවස් වල එයා පාන්දර වෙනකම්ම උන්න..........
එදත් සුපුරුදු විදියට මම රෑට කෑම කාල එද්දි රෑ 0900 විතර උනා.....රාජ් ඔන්ලයින් උන්නෙ නැහැ...ඒ වෙනුවට එයාගෙන් මේල් එකක් තිබුන.....


''......නංගියො මට සමාවෙන්න...මේ විදියට ඔයාට නොකියම යන්න ගියාට...මේ විදියට ජීවත් වෙන්න බැහැ මට තවත්...මගෙ ජීවිතෙන් මට පලක් නැහැ තවත්...මාව හොයන්න එපා,හෙට උදෙන්ම මම මෙහෙන් යනවා යන්න මාව කාටවත් හොයන්න බැරි තැනකට...මම ආයෙ කවදාවත් අපහු එන්නෙ නැහැ....ඔයා පරිස්සමින් ඉන්න නංගියො...ඔයාට බුදුසරනයි...''

Sunday, 13 November 2011

අනුත්තරාගෙන් සමු ගන්න ගිහින්..........

( අළු පාට හැන්දෑව 8.)




''අයියෙ..ඇත්තටම ඔයාගෙ හාර්ට් එකේ තියන ඔය අසනීපෙ මොකක්ද?''  මම දවසක් ඇහුව රාජ් ගෙන්,


''මේකයි නංගි...මගෙ හාර්ට් එක වටේට සෙම තට්ටුවක් බැඳෙනව..ඒක වැඩි උනාම මට ගොඩාක් අමාරු වෙනව..හුස්ම ගන්න බැරි වෙනව..ඔයා දන්නවනෙ හුස්ම හිර උනාම මොකද වෙන්නෙ කියල..සමහර වෙලාවට නින්දෙන් මගෙ හුස්ම හිරවෙනව..''


''ඔයාට ගොඩාක් කල් ඉඳන් ඔය අසනීපෙ තිබුනද..?''


''නැහැ..නැහැ..දැනට අවුරුදු දෙක තුනකට කලින් ආපු එකක් මේක..මම දෙපාරක් මැරෙන්න ගියා..මගෙ මල්ලිය ගාවටම ගිහින් මම ආපහු ආව නංගි..''


''එතකොට අර දෙසැම්බර් මාසෙ කරපු ඔපරේශන් එකෙන් හොඳ උනේ නැද්ද...?''


''මෙහෙමයි නංගි...කලින් බෙහෙත් ගත්ත ගත්ත හොඳක් නැහැ..පස්සෙ ඩොක්ටර්ස්ල නහයෙන් බටයක් වගේ එකක් දාල ඒ සෙම එලියට ගන්න ට්‍රයි කලා...ඒත් ඒක හරි ගියෙ නැහැ..පස්සෙ තමා ඔපරේශන් එක කලේ..''


''ඉතින් ඒත් ඔයා ආයෙම ලෙඩ වෙනවනෙ ඇයි ඒ..?''


''මට ඇල්වතුර අල්ලන්නවත් එපා කිව්ව..සෙම තියන කෑම කන්න එපා කිව්ව..යාන්තම් වත් වැස්සකට තෙමුනත් මේ ලෙඩේ වැඩිවෙනවා..''


''එතකොට ඕක සම්පූර්ණයෙන්ම සුව වෙන්නෙ නැද්ද? ඒක ලංකාවෙ ඩොක්ටර්ස්ලට කරන්න බැරිද.?''


''හ්ම්ම්ම්...මේක මගෙ කරුමෙ නංගියො...සමහර විට කාලයක් බලන් ඉන්න වේවි...සමහර විට සදහටම මම ලෙඩෙක් විදියට ජීවත් වේවි..''


''මොනාද ඔයා මේ කියන්නෙ?..ඕනම ලෙඩකට බෙහෙත් තියනවනෙ..ඕක සනීප කරන්න බැරි ලෙඩක් නෙවේනෙ..හරි මට එවන්න බලන්න ඔයාගෙ මෙඩිකල් රිපෝර්ට්ස් වල කොපි ..මම මෙහෙ ප්‍රොෆෙසර් කෙනෙක්ට පෙන්වල අහන්නම් මොනාද කරන්න ඕනෙ කියල..මම ඔයාට එවන්නම් ඔක්කොම බෙහෙත් මෙහෙන්..''


''හරි...අපි තව ටිකක් බලමුකො..දැන් මට සනීපයිනෙ..''


එයාගෙ අසනීපෙ මොකක්ද කියල හරියටම දැනගන්න මම ගොඩාක් මහන්සි උනා...ඒත් ඒක මට හොයා ගන්න බැරි උනා..ආයෙම  ආයෙම මෙඩිකල් රිපෝර්ට්ස් ඉල්ලල කරදර කලත් එයා මොකක් හරි කියල මග  හැරිය.. මම හිතුවෙ එයාට තියෙන්නෙ එයා මට කියනවට වඩා දරුනු අසනීපයක් කියල...මම ඒ ගැන ගොඩාක් හිතුව..හිතින් වද වින්ද...........


දවසක් එයා ලොකු කලබලේකින් මගෙන් උදව්වක් ඉල්ලුව.....


''නංගි මට ලොකු උදව්වක් කරන්න..


''මොකක්ද කියන්න..''


''මට අනුත්තරාව මගෙ ජීවිතෙන් අහකට යවන්න විදියක් කියන්න..ඔයාල ගෑනුළමයි දන්නවනෙ ඔයාලගෙ හිත්,මට කියන්න මම මොකක්ද කරන්න ඕනෙ කියල..?''


''ඒක පුදුම කතාවක්නෙ..එයාට බෝයි කෙනෙක් ඉන්නව නේද? ඉතින් ඔයා කියන්නකො එයාට ඔයාගෙ  පාඩුවෙ ඉන්න දෙන්න කියල..?''


''මම කිව්ව නංගි..එයා අහන්නෙ නැහැ..මට ගර්ල් කෙනෙක් හම්බ වෙනකම්ම එයා මා එක්ක ඉන්නවලු..''


''එහෙනම් ඔයා කියන්න ඔයාට දැන් ගර්ල් කෙනෙක් ඉන්නව කියල..''


''එහෙම කියල හරි යන්නෙ  නැහැ නංගි එයා විස්වාශ කරන්නෙ නැහැ..''


''ඒක හරි වැඩක්නෙ..හරි දැන් ඔයා මොකක්ද කරන්නෙ ඒ බෝයි කෙනෙක් ඉන්න කෙල්ලෙක් එක්ක..?''


''මට කාත් කවුරුත් නෑ නංගියො...මට උන්නෙ එයා විතරයි..මගෙ හැම දෙයක්ම කිව්වෙ එයාට..එයා මට ආදරෙයි කිව්ව..එයාගෙ බෝයි මුස්ලිම් කෙනෙක් නිසා එයාල කවදාවත් එක්වෙන්නෙ නැහැ කිව්ව..''


''ඒ කියන්නෙ, එයා කිව්වද කවදා හරි ඔයා ගාවට එනව කියල අරයගෙන් වෙන් උනාම..?''


''නෑ..නෑ..එයා කියන්නෙ මම එයාගෙ හොඳම යාලුව විතරලු..''


''මේක අහන්න අයියෙ..එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නව..එයා ඔයාට කරන්නෙ අනුකම්පාවක්,ඒ ඔයාගෙ ජීවිත කතාව අහපු නිසා..ඔයා ඒක වරදවල තේරුම් අරන් ආදරේ කියල..ඔයා ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දීල පැත්තකට වෙන්න..ඔයා හිතන විදිය වෙනස් කරන්න..ජීවිතේ ගැන අලුත් විදියකට හිතන්න..ඔයාගෙ ස්ටඩි වලට වැඩි වේලාවක් ගන්න..පාඩම් කරන්න..අවුල්කර ගන්න එපා ඔක්කොම..''


''ඔව් නංගි එයාත් මට කියන්නෙ ඔහොමයි වෙනස් විදියකට හිතන්න පුරුදු වෙන්න කියල..ඒත් එයාව මට ලැබෙනවානම් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා මම නංගි..''


මට මේ කතාව අහල පුදුමත් හිතුන..මෙයා කලින් කතා කලේ,  අනුත්තරාගෙන් ඈත්වෙන්න..අනුත්තරාව මෙයාගෙන් ඈත් කරන්නෙ කෝමද අහල...දැන් කියනව මේ විදියට....මම එයාට හැමදාම කිව්ව අනුත්තරා ගැන හිතන්නෙ නැතුව ඉගෙනීමේ වැඩ වල යෙදෙන්න කියල..හැමදාම කියවල කියවල මට ඒ කියවිල්ල එපාවෙලත් තිබුන.....ඔය අතර දවසක එයා මට කිව්ව.....


''නංගි..මේ ඉරිද මම යනව අනුත්තරාවයි එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්වයි හමුවෙලා එයාලගෙන් සදහටම සමු අරන් එන්න..මම කියනව මගෙන් ආයෙ කවදාවත් එයාලට කරදරයක් වෙන්නෙ නැහැ කියල...''


මම ගොඩාක් සතුටු උනා එයා ඒ කිව්ව දේට..ඊට පස්සෙවත් එයා හිත හදාගෙන සතුටින් ඉඳීවි කියල මට හිතුන....එයා එදා කොළඹ ගියා ඒ දෙන්නව හමු වෙන්න..හවස ගෙදර ඇවිත් මා එක්ක විස්තරේ කිව්ව....එදා දහවල් කෑමට මෙයා ඒ දෙන්නව එක්ක ගියා කිව්ව..එයාල දෙන්න පුදුම ආදරේකින් ඉන්න බවත් මෙයා මට කිව්ව.'' ඒ දෙන්න පුදුම ආදරේකින් ඉන්නෙ..මට එතෙන්ට කිට්ටු වෙන්න වත් බැරි තරම්..'' .....එයා කිව්වෙ මෙහෙම......


''ඔන්න අපි එක තැනකදි පාර මාරුවෙන්න ගියා..මම ඒ බෝයි එක්ක ඉස්සර වෙලා ගියෙ අනුත්තරා පිටිපස්සෙන් ආවෙ..එක පාරම අපි දෙන්න පාර පැන්නා..අනුත්තරාට පැනගන්න බැරි උනා..ඒ බෝයි ආපහු දුවන් ගිහින් අනුත්තරාගෙ අතින් අල්ලන් එක්ක ආවා..''


කෝම වෙතත් රාජ් එදා නම් උන්නෙ අමුතු සතුටකින්....හේතුව එදා අර දෙන්න මෙයාට තෑග්ගක් දීල තිබුන....ඒ නිල්පාට අශ්වයෙක්..! එයා ඒක ගැන මහා සතුටකින් කතා කලේ..''මේක මාර ලස්සනයි ඉන්න මම ඔයාට මේකෙ පොටෝ එකක් අරන් එවන්නම්'' කියල ඒ වෙලාවෙම එයා මට ඒ අශ්වයගෙ පොටෝ එකක් අරන් එව්ව.....ඒක එවලත් එයා මගෙන් ආයෙම ආයෙම ඇහුව කෝමද ඕක ලස්සනයි නේද කියල....මට  නම් ඒක විහිලුවක් උනා එදා.............


''ඔව් ඔව් ලස්සනයි...ඒත් ඔයා දන්නවද මේ අශ්වය තෑගි දෙන්න හේතුව මොකක්ද කියල? ඔයා අද ඉඳන් එයාලගෙන් ඈත් වෙලා, සදහටම සමු ගන්න කියලනෙ ගියෙ?...ඉතින් දැන් බලන්න ඒ දෙන්න අශ්වයෙක් තෑගි දුන්නෙ,ඔයාට ඒකගෙ පිටේ නැගලා පුලුවන් තරම් වේගෙන් ඉක්මනින් ඈතට යන්න කියන්නයි..''


මොන හේතුවක් නිසාද මන්ද මේ සිද්දිය මතක් වෙද්දි මට තාමත් හිනා යනවා.....!!!!


ඒත් මේ මෑත කාලෙකදි මට අනුත්තරාගෙන් දැනගන්න ලැබුනෙ,.........රාජ් එදා එයාලව හමුවෙන්න ගිහින්, එයා ඕස්ට්‍රේලියාවට යන බව කියල අනුත්තරායි එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලඟයි හඬා වැටුනලු....!!!!!

Thursday, 10 November 2011

රාජ් ආයෙමත් රෝහලේ.....................

( අළු පාට හැන්දෑව 7)




මේ අහිංසකයගෙ ජීවිතේ ගැන එයා ජීවත් උන අවාසනාවන්ත විදිය ගැන මම උන්නෙ දරාගන්න බැරි තරම් දුකකින්..එයාගෙම පවුලෙ අය එක්ක එකම වහලයට ඒ මිනිස්සුන්ගෙන්ම හිංසා විඳිමින්..යාලුවෙක් නෑයෙක්..කිසි කෙනෙක් නැතුව එයා ජීවත් වෙන විදිය මට නම් හිතා ගන්න වත් බැරි උනා..එයා කිව්වෙ එයා ඔෆිස් එකේදි උනත් කතා කරන්නෙ වෙන අය එක්ක අවශ්‍ය දේකට විතරමයි, අනෙක් අය එයා එක්ක කතාවට වැඩි කැමැත්තක් නැහැ කියල...එයා ආදරේ කරපු,එයාට ආදරෙයි කිව්ව කෙනත් එයාට පිටුපාල..''ආදරෙයි කිව්වෙ විහිලුවට'' කිව්වලු....ඉතින් මේ අහිංසකය මොන තරම් තනි වෙලාද මොන තරම් වේදනාවක් විඳිනවා ඇත්ද??


එයා අනාතයෙක්...ආදරෙන් පැරදුන කෙනෙක්....දරුනු හෘදයාබාධයකින් පෙලෙන,මරණය පෙනි පෙනී ජීවත් වෙන අහිංසකයෙක්......මට හිතාගන්න බැරි උනා මම කෝමද මේ අහිංසකයට පිහිට වෙන්නෙ කියල......


මට යාලුවො උන්නෙ නැහැ...පුංචි කාලෙම ලංකාවෙන් ආවට පස්සෙ,මම අමුතු ලෝකෙක අමුතු මිනිස්සු කොටසක් මැද්දෙ තනි උනා වගේ..
මෙහෙ පාසැල් යාලුවන්ට මම කැමතිම උනේ නැහැ..එයාල මා එක්ක ගොඩාක් මිතුරු උනා..නොදන්න භාශාවලින් ඉගෙන ගන්න මට ගොඩාක් අමාරු උන හැම අවස්ථාවකදිම එයාල මට ගොඩාක් උදව් කලා...ඒත් මට බැරි උනා යාලුවො වශයෙන් එයාලට ලංවෙන්න...මම ඒකට කැමති උනේ නැහැ...එයාලගෙ සමාජය වෙනස්..ගති පැවතුම් වෙනස්..මම කැමති නැහැ ඒවා ගැන ගොඩාක් කියන්න.....කොටින්ම මම මගෙ ලඟ යාලුවො විදියට එයාලට ලංවෙල ඉන්න කැමති උනේ නැහැ...මම තනිවෙලා ඉන්න මහන්සි ගත්ත..උසස් විදුහලේදි මේ තත්වය වඩාත් දරුණු උනා...ඒ යාලුවන්ගෙ සමාජය මට අපුලම උනා....වසර 10 ක් ගතවෙලත් මට බැරි උනා ඒ සමාජයට ඇතුල් වෙන්න..මේ නිසා මම නිතරම තනියෙන්ම ඉන්න පුරුදු උනා...ගෙයින් පිට ගියා නම් ඒ මගෙ අයියල එක්ක අම්ම එක්ක...ලංකාවෙන් ආපු තව අපි දන්න හඳුනන පවුල් හිටියත්, ඒ පවුල් වල සමහර අය නිසා අපේ ගෙදර අය මාව එයාලගෙන් ඈත් කරල තිබ්බා....


මේ වෙද්දි මම මගේ පලමු රැකියාවට ගිහින් යන්තම් මාස දෙකක් උනා විතරයි..මගේ රැකියා ස්ථානයේ වෙනත් රටවල් වලින් පැමිණුන තවත් අය උන්න..මගෙ ලඟම හිතවතිය උනේ 'මැගී'එයා ජර්මන් ජාතික ගැහැනු ලමයෙක්.. ඇමරිකාවෙ ලාස්වේගාස් නගරයෙන් ඇවිත් උන්න 'නේතන්' කියන දුඹුරුපාට පිරිමි ලමය මා එක්ක අනිත් අයට වඩා හිතවත් උනා....මැගිත්,නේතනුත්,මගෙ හිතවතුන් උනාට එයාලට තව ගොඩාක් යාලුවො උන්න..ඒ එයාලගෙ යාලු සමාජයට එක්වෙන්න මම කැමති උනේ නැහැ...


ඉතින් මේ අතර මට හමු උන ලංකාවෙ මගෙ ඉන්ටර්නට් යාලුව 'රාජ්' ට මම ඉක්මනින් ලංවෙමින් උන්න.. මම මගෙ කාලය වැඩිපුර වෙන් කලා එයා එක්ක කථා කරන්න..එයාගෙ දුක සැප හොයන්න...එයාගෙ දුක හිතෙන කථා අහල එයාගෙ හිත සනසන්න....


මේ අතර දවසක ආයෙමත් රාජ් ගෙ හෘදයාබාධය උත්සන්න වෙලා එයාව පෞද්ගලික රෝහලක නතර කලා ඒ ගෙදර අය....එයාට යාන්තම් ඔලුව උස්සන්න පුලුවන් උන ගමන්ම එයා කලේ රෝහලේ ඇඳේ ඉඳන්ම ඒක මට කියල එස්.එම් එස් එකක් එව්ව එක...මම එයාට කෝල් කලාම එයා කිව්වෙ අම්මියි තාත්තියි ලඟ ඉන්නව පස්සෙ ගන්න කියල..පස්සෙ අපි කතා කලා..එයා කිව්වෙ තව දවස් දෙකකින් විතර ගෙදර එන්න පුලුවන් කියල..මම ඒ වෙලේ එයාට කිව්ව එයාගෙ අසනීපය හොඳකරන්න එයාට අවශ්‍ය ඕනෙම බෙහෙත් වර්ගයක් හෝ ඕනෑම උපකරනයක් හෝ කියන්න මම ඒවා අරගෙන එවන්නම් කියල...එයා කිව්වෙ එහෙම ඕනා උනොත් කියන්නම් කියල විතරයි....එයාව පස්සෙ ගෙදර එක්ක ආවා.......
ඒ දවස් අපිට සීත කාලෙ, දවස පුරාම හිම වහිනවා...අපේ ගෙවල් එක්ක මුලු පලාතම සුදුම සුදු පාටින් හිමෙන් වැහිලා තිබුනෙ....මගෙ කාමරේ මගේ බැල්කොනි එකත් පිරෙන්නම හිම කැට වැටිල තිබ්බ..එදා මම ඒ බැල්කොනි එකේ තිබ්බ හිම කැට එකතු කරල ලස්සන හිම බබෙක් හදල,පොටෝ එකක් අරන්,එයාට ඒක යැව්ව 'ඉක්මනින් සනීප වෙන්න' කියල...ඉක්මන් සුවය පතල............

Saturday, 29 October 2011

රාජ් ගෙ ජීවිත කතාව ..

( අළු පාට හැන්දෑව 6.)


දවස්  3 ක් ගත උනා..මම කල්පනා කලේම රාජ් ගෙ ජීවිතේ ගැන..අහිංසක කම ගැන..ඒ වයසෙ කොල්ලෙකුට එහෙම ජීවත් වෙන්න පුලුවන්ද..ලස්සන තරුණ කාලෙ..සතුටින්ම ඉන්න ඕන කාලෙ..???


හතරවෙනි දවසෙ එයා ඇවිත් හවස ඔන්ලයින් උන්නා..ගිය ගමන සාර්ථකයි එයා හොඳින් කිව්ව..අපි වෙනදා වගේ කතා කලා..මේ කාලෙ එයා සති අන්තෙ දවස් දෙක බම්බලපිටියෙ esoft  එකට පන්ති ගියා..ඒ යද්දි උදේ ට බස් එකේදිත්,දවල්ට කෑම වෙලාවෙදිත්,හවස පන්තියෙන් එලියට ආවමත්,මට කෙටි පණිවිඩ එව්ව.මිස් කෝල්ස් දුන්න..පස්සෙ ගෙදර එන්න බස් එකට නැගල මීගමුවට එනකම්ම මා එක්ක පෝන් එකේ ස්කයිප් එකෙන් කතා කර කර එන්නෙ..උදේ නැගිටපු ගමන්, දවල් කෑම වෙලාවට, නොවරදවාම මට කෙටි පනිවිඩයක් දෙනවා..මිස් කෝල් එකක් දෙනවා..ගෙදර අය එක්ක ගමනක් ගියත්, නෑ ගෙදරක ගියත්,අම්ම එක්ක ටවුන් එකට බඩු ගන්න ගියත් හොරෙන් පැත්තකට වෙලා මට කතා කරන්න එයා පුරුදු වෙල උන්න....මට මතකයි දවසක් ෆිල්ම් එකක් බලන්න ගිහින් ගෙදර අය එක්ක විවේක කාලෙදි එලියට දුවන් ඇවිත් මට කතා කලා...එදාම රෑ ෆිල්ම් එකෙන් පස්සෙ රෑ කෑම කන්න හොටෙල් එකකට ගිහිනුත් මා එක්ක කතා කලා...ඔෆිස් එකේ ඉන්න වෙලාවට දවල්ට ටික වෙලාවක් මා එක්ක චැට් කරන එයා හවස වැඩ අරුන ගමන් මට කෙටි පණිවිඩයක් එවනව ''නංගි මම වැඩ ඇරුනෙ දැන් ඉක්මනින් ගෙදර එනවා'' කියල.....එහෙම නැත්නම් ''නංගි මම අද පරක්කුයි ඉක්මනින් එන්නම්'' කියල....


මම එයාගෙ ටෙලිපෝන් කෝල් වලට එක පාරම පිලිතුරු දුන්නෙ නැහැ..එයා කෝල් කරපු හැම වෙලාවකම ඒක කට් කරල මමයි එයාට ආපසු කෝල් කලේ...හේතුව මම පිටරටක රැකියාවක් කරන කෙනෙක්...මට ගන්න කෝල්ස් වලට එයාට ලංකාවෙන් ලොකු මුදලක් ගෙවන්න වෙනවා..රාජ් කිව්වෙ එයාගෙ මාසෙ වැටුප රුපියල් 22,000 ක් කියල...මගෙ වැටුප අනුව ඒක ගොඩාක් සුලු ගානක් නිසා මම හිතුව එයාගෙ සල්ලි වියදම් කරන එක පව් කියල.....අනික එයාට සල්ලි දෙන්න උදව් කරන්න කවුරුවත්ම හිටියෙ නැහැ..මට එහෙම නෙවේ..මගෙ අම්ම..අයියල මට කිසිම දේකින් අඩුවක් කලේ නැහැ..ඇත්තම කියනවා නම් මගෙ මාසෙ වැටුපෙන් එක සතයක් මට වියදම් උනේ නැහැ...


ඉතින් මම දවසක් එයාගෙන් අහුවා මට ගොඩාක් කල් ඉඳන්ම දැනගන්න ඕන වෙලා තිබ්බ එයාගෙ සම්පූර්ණ ජීවිත කතාව ගැන...ඒ කතාව එයා එදා මට කිව්වෙ මේ විදියට..........


''.......ඔය ඉන්න අයියට වයස අවුරුදු 2 දි අම්මි අයියවයි තාත්තිවයි දාල වෙන පිරිමි කෙනෙක් එක්ක පැනල ගිහින්.....ඒ කෙනාගෙන් තමා අම්මිට මාව හම්බවෙන්න ඉඳල තියෙන්නෙ......පස්සෙ ඒ මිනිහා අම්මිව දාල ගිහින්....අම්මි ආච්චිලගෙ ගෙදර මාව හම්බවෙන්න ඉන්නකොට මේ තාත්ති ආයෙමත් අම්මිව ගෙදර එක්ක ඇවිත්......මාව ඉපදුනාම මේ තාත්තිගෙ නම දීල මාව හදාගෙන......''
''......ඒ කියන්නෙ තාත්ත එක්ක ඉන්නකොටම ඔයාලගෙ අම්ම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලද?...''
''......ඔව් නංගියො...ඒකට වන්දි ගෙවන්නෙ දැන් මම.....''
''......ඔයාගෙ මේ තාත්ත ගොඩාක් හොඳ දෙවි කෙනෙක් වගේ කෙනෙක් නේද?....'' 
''.....ඔව් එයා හින්දයි මම තාමත් මේ දුක් විඳගෙන ලංකවෙ ඉන්නෙ...මට ඕස්ට්‍රේලියාවට යන්න ඔක්කොම ලෑස්තියි දැන්....ඒත් මේ තාත්ති මගෙම තාත්ති වගේනෙ.. මට එයා යන්න එපා කියනව....මම් මේ ඒක ගැන හිත හිත ඉන්නෙ....මට දුක මෙයාව දාල යන්න..මොනා කරන්නද මන්ද නංගි.. නොගියොත් තව ටික කාලයයි ඒ චාන්ස් එක මට නැති වෙනව...මට පිස්සු වගේ මේව කල්පනා කරල....''
''......මෙහෙමයි අයියෙ..ඔයා එහෙ යන්නෙ ස්ටඩි කරන්න නෙ?..ඔයා යන්න..තාත්තට ඒක තේරුම් කරල දීල ඔයා යන්න..ඔයාගෙ ඔය හිතේ තියන ඔක්කොම දේවල් එතකොට අමතක වෙල අලුත් ජීවිතයක් පටන් ගන්නත් ලැබෙනවනෙ...''
''....හ්ම්ම්..ඔව්..බලමුකො තව ටිකක්...එයා කියන්නෙ මට ඕනෙම නම් යන්නලු...''


මේ අතරතුර මම එයාගෙන් ඇහුව ...''ඇයි ඉතින් ඔයාගෙම අම්ම ඔයාට වෙනස් කම් කරන්නෙ ඔය විදියට..? එයා ඔයාට එපායැ වැඩියෙන්ම ආදරේ වෙන්න..? ''
''.....අනේ මන්ද නංගි එයාට මාව දකිද්දි එයාගෙ අතීතෙ මතක් වෙනව ඇති..එයා කරපු දේ මතක් වෙනව ඇති..මගේ ඇත්ත තාත්තිට එයා වයිර කරනවා..මාව දකිනකොට එයාව මතක් වෙනව ඇති..මටත් එයා වයිර කරනවා.....''
''....ඒක හරි පුදුම කතාවක්නෙ එහෙනම් ඇයි ඔයාව පොඩි කාලෙ ඉඳන් හදා ගත්තෙ? එහෙනම් ඔයාව ඒ කාලෙම අනාථ නිවාසෙකට දෙන්න තිබ්බනෙ...?''
''....ඒක තමා මාත් ඇහුව ඒක කීප වතාවක් ම..අම්මිට මාව පේන්නම බැහැ නංගි..මට බනිනවා උඹ ඇයි මගෙ බඩේ ඉපදුනේ කියල...අද උදේ වැඩට යද්දි මම යන්නම් කිව්වාම අපූරුවට හා කිව්ව කෙනා හවස මම ගෙදර ඇවිත් අම්මි රෑට මොනාද කන්නෙ කිව්වාම ..උඹට කන්න මෙහෙ නැහැ ගිහින් ඕනෙ දිහාවකින් කාපන් කිව්ව.....''
''.....අනේ මට නම් හිතාගන්නවත් බැහැ ඇයි ඔයාගෙ අම්ම එහෙම හැසිරෙන්නෙ කියල එයාට මොකක් හරි මානසික ගැටලුවක්..ඔයා එයා ගැන අනුකම්පා කරන්න ඔයා තරහ ගන්න එපා...එයා අයිය එක්ක කෝමද?...''
''....අයියට එයා පන වගේ...මට පේන්න එයාට වැඩියෙන් සලකනවා...මට ඇනුම් පද කිය කිය අයියට ආදරේ කරනවා...මම තනියම මගෙ කාමරේට වෙලා අඬ අඬ ඉන්නවා නංගියො...මම කා එක්කවත් කතා කරන්නෙ නැහැ..මට දැන් කන්න කෑම ටික හදල දෙන්නෙ නැහැ..මගෙ ඇඳුම් හෝදල තනියම අයර්න් කර ගන්නෙ මම...මට උයන්න දන්නෙ නැහැ..ඒත් බඩගිනි උනාම මොනා හරි හදා ගන්නවා..ඒවා මටම කන්න බැහැ..මම කොහේ හරි යනව යන්න නංගියො..මම  මහා කරුමයක් කරල ඉපදිලා ඉන්නෙ..මට කාත් කවුරුත් නැහැ..මගෙ මල්ලියත් මාව දාල යන්න ගියා..එයා උන්න නම් අද මට මෙහෙම වෙන්නෙ නැහැ... මගෙ මේ කරුම අසනීපෙ නිසා මාත් ඉක්මනින්ම මල්ලියා ගාවට යාවි...දැන් 3 පාරක් එතෙන්ටම ගිහින් ආපහු ආව..එක පාරක් මම ජීවිතේ නැති කර ගන්න ගියා..එවෙලෙ මල්ලියගෙ මූන මගෙ ඉස්සරහ ඇත්තටම වගේ මැවිල පෙනුනා..පස්සෙ මම හිත හදා ගත්තා....''
''.....ඔයාට ඔය තරම් වෙනස් කම් කරද්දි එතකොට තාත්ත? එයා ඕව දන්නෙ නැද්ද...?''
''.....එයා නිතරම ගෙදර නැහැ...එක එක සයිට් වලට යනවා..දවස් දෙක තුන ගෙදර එන්නෙ නැහැ..එයා ගෙදර ඉන්න වෙලාවට අම්මි හොඳයි...''
''.....එතකොට ඔයාගෙ අයියා..? එයා කෝමද ඔයා එක්ක..?..''
''......එයාට පුංචි කාලෙ ඉඳන්ම මාව පේන්නම බැහැ...දන්න තේරෙන දා ඉඳන්ම මට වෙනස් කම් කලා..දැන් මට මේ ගෙදරිනුන් යන්න කියනවා..මේවා එයාට අයිති දේවල්...මට කියල කිසිම දෙයක් නැහැ.......''
''......ඔයාලගෙ නෑයො...ඔයාට යාලුවො නැද්ද?...''
''.......නැහැ නංගි.. මගෙ කිසිම යාලුවෙකුට මේ ගෙදරට එන්න දෙන්නෙ නැහැ අම්මි....අඩුම ගානෙ කෝල් එකක් ආවත් මට එදාට ගෙදර ඉඳල ඉවරයි...මේ තාත්තගෙ පැත්තෙ නෑයො මාව අයින් කලේ මාව කොන් කරල දැම්මෙ මම පුංචිකාලෙදිමයි...මම පවුලට එකතු උන කාලකන්නියෙක්ලු..මම අවජාතකයෙක්ලු...මට චුට්ටක් සලකනව මගෙ ආච්චි...අම්මි මා දිහා බැලුවෙ වත් නැහැ පොඩි කාලෙ ඉඳන්ම මාව හැදුවෙ ආච්චි...මල්ලි මැරුනට පස්සෙ මෙයාල 3 දෙනා ඉන්දියාවෙ තාත්තිගෙ යාලුවගෙ ගෙදර උන්න මාස 3 ක්...මම මෙහෙ ඉන්නවද මැරුනද කියල නිකම් එක කෝල් එකක් දීල හොයල බැලුවෙ නැහැ නංගි.......''
''....හප්පේ...මට නම් හිතාගන්නම බැහැ ඔයාගෙ අම්ම එහෙම කරනව කිව්වාම...මොනා කියන්නද කියල මට වචන එන්නෙත් නැහැ.....''
''.....ඔව් නංගි..මාත් ඉවසල ඉවසල බැරිම තැන මේ ඊයෙ පෙරේද කියල දුන්න එයාට හොඳ ඒවයින් ටිකක්....''
''......ඒ මොකෝ උනේ..ඔයා මොනාද කිව්වෙ එයාට...?''
''......අනේ මගෙන් ඒක අහන්න එපා නංගි.....මට ඒව ඔක්කෝම කියන්න බැහැ....මම ඇහුව එයාගෙන් පැනල ගිහින් කරගෙන ආව දේවල් වලට මමද දැන් පලි කියල......ඒත් මම ඒක කියල පස්සෙ එයාගෙන් වැඳල සමාව ඉල්ලුව.......''


එයාගෙ මේ කතාව අහල මට ඇත්තටම කතා කරන්න වචන හොයා ගන්න බැරි උනා.....එයා මේවා සමහරක් කිව්වෙ අඬ අඬ..මම ගොඩාක් සංවේදී හිතක් ඇතුව ඉපදුන කෙනෙක්...මට එවෙලෙ හිතුන දේවල් මේ දැනටවත් අකුරු කරන්න මට තේරුමක් නැහැ.....මේවා මා එක්ක කියන වෙලාවෙත් එයා ගෙදර උන්නෙ තනියම...අම්මල නෑදෑයෙකුගෙ ගෙදර ගිහින් කිව්වා..එන්නෙ පහුවෙනිදට කිව්වා...ඒත් එයාට කන්න කිසිම දෙයක් එදා දවල්ට වත් රෑ වත් ගෙදර තිබුනෙ නැහැ කිව්ව.................මගෙ බල කිරීමට එයා කුස්සියට ගිහින් කිරි එකක් හදාගෙන ආව.......................



Wednesday, 26 October 2011

වඳුරෙක් කරපු හදියක්......!!!!



රකුසන්ගෙන් විතරද..? නැහ්.!  මම වඳුරෙකුගෙනුත් අනූ නවයෙන් බේරුනා...!!

ඔන්න මේකයි කතාව...එතකොට මට වයස මාස 10 ලු..අපේ ලොකු අයියට අවුරුදු 8 ලු..පොඩි අයියට අවුරුදු 5 ලු......අපෝ ..මේ 'ලු'.. 'ලු' එකට මම කැමති නැහැ...ඒ නිසා මේක ලියන්නම් හරියටම මම ඇහින් දැක්කම වගේ..ඉතින් මොකටද 'දැක්ක වගේ' කියන්නෙ? මට වෙච්ච දේ මම අනිවාර්යයෙන්ම දකින්න ඕනනෙ....මතක නැති එක වෙනම කතාවක්..!    මේකයි කතාව...!!!

ලංකාවෙ අපේ ගමේ අපේ ගෙදර වත්ත ටිකක් ලොකුයි..වත්ත මායිම දිගටම ඇල පාරක් ගලාගෙන යනව..මේ ඇල ටිකක් ගැඹුරු උනාට වතුර තියෙන්නෙ වැහිකාලෙට විතරයි..පායන කාලවලට මේකෙ සුදුවැලි මතුවෙලා තියනව..මේ ඇල දිගටම තියනව වැව් කණ්ඩියක් වගේ ඒත් ඒ තරම්ම උස නැති ඇල කණ්ඩියකුත්.....අල්ලපු වත්තෙ මායිමේ තිබුන ලොකු ගස්වල දිග අතු අපේ පැත්තටත් වැවිල තිබුන අර ඇල උඩින්,ඇල කණ්ඩියටත් උඩින්..........

ඒ දවස් වල අපේ බාප්පගෙ ගෙවල් තිබ්බෙත් ඒ කිට්ටුවම...එයාට උන්නෙ දුවල දෙන්නෙක් අපේ අය්යලගෙම වයසෙ...ඒ අක්කිල දෙන්න පුරුද්දක් කරගෙන උන්න හැම සෙනසුරාද දවසකම හවස අපේ ගෙදර ඇවිත් අය්යල එක්ක වත්තෙ සෙල්ලම් කරන්න...එයාල දෙන්න එන්නෙත් තනියම නෙවේ තව යාලුවො දෙතුන් දෙනෙක් එක්කගෙන...........

ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු උනාම 6 දෙනෙක් 7 දෙනෙක් විතර උනා....අපේ අම්ම අර අක්කිල ට හරිම ආදරෙයි..අම්ම එයාල ගෙනත් දීල තිබුන සෙල්ලම් බත් උයන වලන් සෙට් එකක්....මෙයාල අපේ ගෙදර ආවම මොකෝ කරන්නෙ ,අම්මට ටිකක් චාටු දාල රවට්ටල..හාල්,පොල්,එලවලු,පරිප්පු වගේ ටික ටික ඉල්ලගෙන වත්තෙ සෙල්ලම් ගෙයක් හදල සෙල්ලම් බත් උයනව.මේ සෙල්ලම් ගෙදර අය ඔක්කොම අම්ම තාත්ත අය්යල නංගිල...මම හැමදාම දරුවා....ලොකු අයිය හැමදාම තාත්ත උනේ මාව වඩාගෙන ඉන්න පුලුවන් එයාට විතරක් නිසා.........(එයා තමයි දැනටත් මගෙ තාත්ත.)

ඔන්න ඉතින් එක දවසක්....මෙයාල කතා උනාලු උයල බත් මුල් බැඳගෙන ට්‍රිප් එකක් යමු කියල...දැන් ඔන්න ට්‍රිප් එක යන්න තීරනය උනේ අර මම කලින් කිව්ව ඇල කණ්ඩිය දිගේම ඈතට වත්ත කොනටම...ගිහින් බත් කාල ආපහු එන්න..............

ඉතින් අක්කිල දෙන්න ඉක්මනින් උයල කෙහෙල් කොල වල බත් පාර්සල් ඔතාගෙන ඔන්න කට්ටිය දැන් ඇල කණ්ඩියට නැගල හෙමින් හෙමින් යනවලු...පොඩි කට්ටිය ඉස්සර වෙලා යනවලු..ලොකු අය පිටිපස්සෙන් යනවලු...දැන් තාත්ත(ලොකුඅයිය.) තමා අන්තිමටම යන්නෙ දරුවව(මාව.) කරේ තියාගෙන...එයා මාව කර උඩින් තියාගෙන මගෙ කකුල් දෙක බෙල්ල දෙපැත්තෙන් පහලට දාගෙන අල්ලගෙනලු යන්නෙ.............

දැන් ඔන්න කට්ටිය යනවලු අර මම කලින් කිව්ව ලොකු ගස් වල අතු ඇල කණ්ඩිය උඩට නැවිල තියන හරියෙ... ඊට පස්සෙ උන දේ ලොකු අයියගෙම වචන වලින්......!!

''නංගිය එක පාරටම උඩට ඉගිල්ලුනා...ඒත් මම කකුල් දෙකෙන් අල්ලගෙන උන්නෙ...මම අතැරියෙ නැහැ...මට කතා කරන්න බැරුව ගියා...අත්ත උඩ උන්න තඩි වඳුරා නංගියගෙ කිහිළිදෙක යටින්ම අත්දෙක දාගෙන බබෙක් වඩාගන්නවා වගේම...හරියට එයාගෙ බබාව වගේ නංගියව උදුරනවා...මම කකුල් දෙකෙන් නංගියව පහලට අදිනවා...වඳුරා අත්දෙකෙන් එයාව උඩට අදිනව...නංගියා යටිගිරියෙන් කෑගහල ඇඬුවා...ඌ මට ගැහුවා...දත් විරිත්තගෙන යකෙක් වගේ මාව සීරුවා...ඒ අතරම පුලුවන් තරම් හයියෙන් නංගියව උඩට ඇද්දා...ඒත් මම අත ඇරියෙම නැහැ...අන්තිමේදි අනිත් අයගෙ කෑගැහිල්ල ඇහිල අම්මයි තාත්තයි දුවගෙන ආව...තාත්ත මහා හයියෙන් කෑගහපු සද්දෙට භය වෙලාද කොහෙද වඳුර නංගියව අතැරියා...ඒත් එතකොට මම අල්ලන් උන්නෙ එයාගෙ කකුල් වල අන්තිම හරියෙන්...එයාව ඇලට වැටුනා මාවත් එක්කම....!!!!''

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............ඊට පස්සෙ අපි දෙන්නවම හොස්පිටල් ගෙනිහින් තිබුනා...අපි දෙන්නටම පොඩි පොඩි තුවාල විතරලු....ඒත් අම්මල කියන්නෙ මාව අර තරම් තදින් අල්ලගෙන පොරකෑවත් ඒ වඳුරගෙ එකම නියපොතු පාරක් වත් සීරීමක් වත් මගෙ ඇඟේ තිබුනෙ නැහැ කියල...ඒ තරම්ම පරිස්සමෙන් ඌ මාව උදුරගෙන යන්න හදල තියෙන්නෙ...මට තුවාල වෙලා තිබුනෙ ගහේ අතු වලට සීරිලා..ඒ වගේම ඇලට වැටුන පාරට....හොඳ වෙලාවට ඇලේ වතුර නැති කාලෙක ඒක උනේ....පොඩ්ඩක් හිතන්න බැරිවෙලාවත් අයියගෙ අතින් මාව අතඇරුන නම්????????

ඒ වඳුරු තඩියා අල්ලපු ගමක ගෙදරකට ඇතිකරන්න අල්ලන් ආපු  එකෙක්ලු... පැනල ඇවිත් අපේ පැත්තට කියල පස්සෙ ආරංචි උනා.............

ඒත් දැන් මේ කතාව ලොකු අයිය කියද්දි ..පොඩි අයිය කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්..........''අනේ ඇයි දෙවියනේ එදා මේකි මගෙ අතේ උන්නෙ නැත්තෙ...? එහෙනම් කරෙත් නෑ.....ගහෙත් නෑ....ලොවෙත් නෑ........''

Sunday, 23 October 2011

මගේ අමුත්තා.......

(අළු පාට හැන්දෑව 5)






එදා මම ඔයාලට කිව්වනෙ මගෙ ගූග්ල් එකවුන්ට් එකේ අමුත්තෙක් උන්න කියල?...ඔව්..ඉතින් අපි ලංකාවෙ උපන් මිනිස්සුනෙ ගෙදරකට අමුත්තෙක් ආවාම එලවල දාල දොරවල් වහගන්නෙ නැහැනෙ...මම එයාට හලෝ කිව්ව..
එයාට නමක් තිබුනෙ නැහැ..''ආදර කතාව'' කියන නමින් එයා උන්නෙ...ඒ එයාගෙ බ්ලොග් එකේ නම..මේ කතාව ලියන්න පහසු වෙන්න දැන් මම එයාට නමක් දාන්නම් එයාගෙ නම 'රාජ්' කියමුකො...රාජ් ගෙ මේල් ලිපිනයෙ තිබුනෙ එයාගෙයි, එයා අර ආදර කතාවෙ කියන ගෑනු ලමයගෙයි නම එකතු කරල...මම ඒ ගෑනු ලමයව මෙතන ඉඳන් හඳුන්වන්නම් 'අනුත්තරා' කියල...ඉතින් එයාගෙ මේල් නම තිබුනෙ..''රාජ් අනු'' වගේ නමක් හොඳේ?
රාජ් එදා මා එක්ක චැට් කලා..එයා ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්න බව කිව්ව..එයාගෙ පදිංචිය මීගමුවෙ කිව්ව..මාත් මීගමුව ටිකක් දන්න නිසා මීගමුවෙ කොහෙද ගෙවල් ඇහුවාම එයා කිව්ව ''සාන්ත අන්තෝනි පාරෙ'' කියල.......එයා බ්ලොග් එකේ ලිව්ව විදියටම එයා ජීවත් උනේ අම්මත් තාත්තත් විවාහ වෙලා උන්න අයියත් නෑනත් එක්ක ...ඒ පලමු දවසෙ අපි සාමාන්‍ය යාලුවො උනා.....
දෙවන දවසෙ මම වැඩ ඇරිල ඇවිත් ඔන්ලයින් එද්දි එයත් උන්න...එදා එයාගෙ නම ''ලව් ස්ටෝරි'' කියල වෙනස් කරල තිබුන...එයා මගෙන් ඇහුව ඔයා ස්කයිප් එකේ ඉන්නවා නේද කියල..මම ඔව් කිව්වාම එහෙනම් එන්න ඒකට කිව්ව....මම ස්කයිප් එකට ගියා.....ඒ වෙනකොටත් එයා මාව එයාගෙ එකවුන්ට් එකට ඇඩ් කරන් උන්නෙ..එයාගෙ නම තිබුනෙ ''ආදර කතාව'' කියල....
මම ස්කයිප් එකට ගියාම මෙයා එකපාරටම මට කෝල් එකක් ගත්ත....ඒ වගේ දෙයක් වෙන කෙනෙක් කලා නම් මම කොහෙත්ම රිප්ලයි කරන්නෙ නැහැ..ඒත් රාජ් ගැන මම බ්ලොග් එකෙන් කියවල තිබ්බ දේවල් අනුව එයා අහිංසකයෙක්..! එයා හදවත් රෝගියෙක්..! අවංකවම කියනවා නම් මට උවමනා වෙලා තිබුනෙත් එයා එක්ක කතා කරන්නයි...එයා ගැන දැන ගන්නයි..ඉතින් මම හෙල්ලෝ කිව්වාම එයා කතා නොකර අහගෙන උන්න...කීප වතාවක් මම කතා කලත් එයා කතා කලේ නැහැ..පස්සෙ මම චැට් එකෙන් ඇහුවා ''ඇයි ඔයා කතා කරන්නෙ නැත් නම් කෝල් එක ගත්තෙ?'' කියල..එයා ලියල එව්ව ''මට හෙඩ්සෙට් එකක් නැහැ'' කියල..මට දුක හිතුන ඒකට...පස්සෙ එයා ආයෙමත් කිව්ව ''ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල බලන්නයි කතා කලේ'' කියල..ආයෙමත් එයා එදාම කිව්ව ''ඔයා අනුත්තරා වෙන්න ඇති කියල මම හිතුවා'' කියල.........


රාජ් මගෙ පොඩි අයියගෙ වයසෙමයි..එයා මට කතා කලෙත් 'නංගි' කියල..මාත් එයාට අයියෙ කිව්ව..තවත් දවසකට පස්සෙ රාජ් මගෙන් ඇහුව '' නංගි අර බ්ලොග් එකේ දාල තියන පොටෝ එක ඔයාගෙමද?'' කියල...මම ඔව් කිව්වාම ''එහෙනම් ඔයාගෙ සම්පූර්ණ පොටෝ එකක් මට බලන්න එවන්නකො අපි යාලුවොනෙ, මගෙ යාලුව මොන වගේද කියල මට ආසයි බලා ගන්න'' කිව්වාම මම එයාට මගෙ පොටෝ එකක් දුන්න...ඒ පොටෝ එකේ මම උන්නෙ සායක් බ්ලවුස් එකක් ඇඳල,ශීත කාලෙට අඳින කලු දිග මේස් ඇඳල(ස්ටොකින්ස්)කලු දිග බූට්ස් දෙකක් දාල....(මම මේකෙන් අදහස්  කලේ ඒක සම්පූර්ණයෙන් ඇඟ වැහෙන්න ඇඳල ගත්ත වැදගත් විදියෙ පොටෝ එකක් කියල කියන්න විතරයි.)


ඉතින් අපි යාලුවො උනේ ඔය විදියට...මට නෙට් එකේ තව යාලුවො 4 දෙනෙක් උන්න...මේ වෙද්දි රාජ් එයාගෙත් අනුත්තරාගෙත් කතාව ලිවීම නතර කරල උන්න..ඒ වෙනුවට එයා ගැන දුක හිතෙන විදියෙ දේවලුත්,සින්දුත් පළ කලා බ්ලොග් එකේ......ඔය අතරෙදි එයා දවසක් ලිව්වා පොඩි කාලෙ, එයාගෙ ගෙදර අනෙක් අය එයාට බොරුවක් කියල රවට්ටලා වෙන ගෙදරක දාල අනිත් නෑයො යාලුවො එක්ක නුවර එලියෙ විනෝද ගමනක් ගිය පුවතක්...එදාත් සුපුරුදු විදියට රෑ ඔන්ලයින් ඇවිත් මම ඒක ගැන විස්තර ඇහුවාම එයා ගොඩාක් දුකින් ඒ අම්මල එයාව දාල ගිය ගමන ගැන කිව්වෙ..ඒ සිදුවීම වෙලා හරියටම මාසෙකින් එයාගෙ මල්ලිත් එයාව සදහටම දාල ගියා කියල එයා ඇඬුව...!  රාජ් මා එක්ක වැඩිපුරම කතා කලේ එයාට උන වෙනස් කම් ගැන......එයාව තනි කරපු විදි....එයාට නොසළකා හැරපු හැටි......මම එයාගෙන් ඇහුව ඒ ඇයි එහෙම අම්මල කරන්නෙ කියල එයා කිව්වෙ ඒ කතාව වෙන දවසක කියන්නම් කියල...දැනට එයා කාත් කවුරුවත්ම නැති අනාතයෙක් කියල විතරක් හිතේ තියාගන්නයි කිව්ව..........


ඔය අතරෙදි තමා එයා මට කිව්වෙ ඔෆිස් එකේ වැඩකට දෙවෙනි වතාවටත් එයාට ඉන්දියාවට යන්න වෙලා කියල...ඊට පහුවෙනිද රෑ එයා යන්න කලින් මම එයාට ''සුභ ගමන්'' කිව්වාම...''අනේ මාව අඬවන්න එපා'' කිව්ව එයා....ඇයි අනුත්තරාත් එයාට ඒ විදියටම සුභ ගමන් කිව්වලු......එයා මට කිව්වෙ අනුත්තරා එයාට ආදරේ කියල, පස්සෙ කිව්වලු එහෙම කිව්වෙ විහිලුවට කියල.....(අනුත්තරා ගැන මගෙ හිතේ තිබ්බෙ පුදුම තරහක්)


ඉතින් රාජ් එදා රෑ එකොලහකුත් ගානට කටුනායක එයාර්පෝර්ට් එකෙන් ඉන්දියාව බලා පිටත් උනා..........