My Blog List

Saturday 28 January 2012

රකුසු මායම්..!!

 (අළු පාට හැන්දෑව 22..)
අර අභිරහස් සිද්දියෙන් පස්සෙ මොකුත් නොවුන විදියට රාජ් හැසුරුනේ..ඒ ගැන කථා කරනවට වත් එයා කැමති උනේ නැහැ..මම හිතුවෙ ඒ ගැන මතක් වෙද්දි එයාට හිතට අමාරු ඇති ඒ නිසා වෙන්න ඇති එහෙම හැසිරෙන්නෙ කියල.........
හැබැයි මේ කාලෙ වෙද්දි එයා මා එක්ක වෙනදට වඩා ගොඩාක් ආදරෙන් උන්නා..නිතරම වගේ මට ආදරෙයි කිව්වා...ඒත් මගෙ හිතේ ආදරයකට වඩා තිබුනෙ සැකයක්..!!..
මේ මාස ගානට මම ගොඩාක් මනසින් වෙහෙස වෙලා උන්නෙ,ඒ වගේම ලොකු පීඩනයකට පත්වෙලා උන්නෙ..ඒ මදිවට මේ සිදු උන හදිසි මුදල් නැතිවීමේ සිද්දියත් නිසා මම ගොඩාක් කැළඹීමකට පත් උනා.....ඔන්න ඔය විදියට මෙච්චර කාලයක් ''ආදරය'' විතරක් තිබුන මගෙ හිතට ''සැකය'' කියන හතුරත් ඇතුල් උනා..........

දවසක් මම ගූග්ල් එකේ රාජ්ගෙ සම්පූර්න නමින් සර්ච් කරද්දි,එයාගෙ නමත් එක්ක 'හෝම්' කියල ආව ඒක මැප් එකක්..මම ඒක සර්ච් කරද්දි ඒ ගූග්ල් මැප් එකේ මෙයාගෙ ගෙදර තිබුන තැන ලකුනු කරල තිබුන..ඒක තිබුනෙ මීගමුවෙ නම් නෙවේ..මම මෝඩය වගේ මෙයාගෙන් ඕක ඇහුව ''..ඔයාලගෙ ගෙවල් තියෙන්නෙ මීගමුවෙ නෙවේ නේද? මම දැක්ක ඔයාල ඉන්නෙ වෙන කොහෙද..''
''..පිස්සුද අනේ අපි ඉන්නෙ මීගමුවෙ  ඇයි ඔයාට මම කියන දෙයක් විශ්වාස නැත්තෙ?..ඒ නමින් ඉන්නෙ මම විතරද?..ඒ මම නෙවේ..''
එයා හැම වෙලේම කතා කලේ මෙයාව නිකරුනේ අවිශ්වාස කරනව කියල මම..මාව වැරදිකාරය කරල එයා කතා කරන්නෙ ඒ වෙලාවට..
මේ ගැන මම මගෙ යාලුවො කියල හිතා උන්න අයට කිව්වාම එයාල බැන්නෙත් මට...''..ආදරේ තියන තැන අවිශ්වාසයක් තියෙන්න බැහැ..උඹ ඇයි එහෙම අවිශ්වාස කරන්නෙ..ඒකෙන් දුක් විඳින්නෙ උඹම නේද?..''
ඔන්න ඔහොමයි යාලුවො මට කිව්වෙ...........
ඊට වඩා දෙයක් මට යාලුවන්ගෙන් ලබා ගන්න බැරි උනා...
ඊට ටික දවසකට පස්සෙ මම ආයෙමත් ගූග්ල් එකෙන් අර මැප් එක ගන්න ට්‍රයි කලත් ඒක ඒ වෙනකොට අතුරුදහන් වෙලා තිබුන...!

මේ දවස් වල ඩොක්ටර් නිල්මිනි ලන්ඩන් යන්න සූදානම් වෙනව කිව්ව එයත් එක්ක උපුලිත් යනවලු..
''..අද මට නිල්මිනි අක්කවයි උපුලිවයි හැරල්ඩ් අංකල්වයි හමු උනානෙ බම්බලපිටියෙදි..එයාල එම්බසිය ඇවිත් උපුලිගෙ වීසා එක ගන්න..මටත් කතා කලා එයාල එක්කම ගෙදර එන්න මම බැහැ කිව්ව..''
''..අනේ අපරාදෙ ඔයාට එන්නනෙ තිබුනෙ එයාල එක්කම ඇයි ඉතින් බැහැ කිව්වෙ..'' මම ඇහුව...
''..එයාල එක්ක කාර් එකේනෙ එන්න වෙන්නෙ එතකොට මම කෝමද ඔයා එක්ක වෙනද වගේ බස් එකේ කතා කර කර එන්නෙ?..''
හ්ම්ම්ම්..මට ඒ වෙලාවට නම් මෙයා ගැන පව් කියල හිතුන..ඔය කාලෙ මම උන්නෙ අසනීප ගතියෙන්..
((මම කවදාවත් මේ බ්ලොග් එකේ ලිව්වෙ නැහැ මගෙ අසනීප තත්වයක් ගැන..මොකද මම කැමති නැහැ මුල ඉඳන්ම, මම ගැන කවුරුවත් අනුකම්පාවෙන් මේ බ්ලොග් එක බලනවට.))
ඉතින් රාජ් මේ දවස් වල මාරවිල ''කුරුසපල්ලි'' ගියා කිව්ව මම වෙනුවෙන් බාර වෙන්න..තාත්තිගෙ කාර් එකේ කිව්ව එයා ගියෙ.....

මේ මොන දේ කලත් මට එයාව 100% විශ්වාස කරන්න නම් බැරි උනා..මේ නිසා මම හිතින් දුක් වින්ඳ තරම් අපමනයි..එයාගෙ පරස්පර විරෝධී කතා නිසා,සැක කටයුතු ගමන් නිසා..අදහන්න අමාරු කතන්දර නිසා අපි රන්ඩු උනා..ඒත් ඒ හැම අවස්තාවකම ආපහු සමාව ඉල්ලගෙන යාලු උනේ එයාමයි......එයා දිවුරුවා..මැරුන මල්ලි පල්ලයි,ජීවිතේ පල්ලයි කියල......
''...අනේ මාව ඔහොම අවිශ්වාස කරන්න එපා පැටියො..මම ඔයාට කොච්චර ආදරේද...මට ඒක ඔයාට දන්වන්න පෙන්වන්න විදියක් නැහැ..මට තේරෙන්නෙ නැහැ..මට කියන්න මම මොනාද කරන්න ඕනෙ කියල...'' ඔන්න ඔය වගේ රස කතා කියල මාව ආපහු යාලු කර ගත්ත එයා හැම අවස්ථාවකදිම.........ඒ වගේම මාව ආපහු යාලු කරගන්න තවත් උපක්‍රම පවිච්චි කලා එයා...එයාගෙ බ්ලොග් එකේ ඇඬූ කඳුලින් පෝස්ට් එකක් ලිවීම...එෆ් බී එකේ හඬා වැටිල මොනා හරි ලිවීම වගේ දේවල් එයා කලා......එතකොට ඒවා බලන අනිත් අය ප්‍රසිද්දියේම දොස් තිබ්බෙ මට...මැරුන මල්ලිව බලන්න කනත්තට ගිහින් ඇවිත් හඬාවැටීගෙන එක එක දේවල් ලිව්ව එයා එෆ්බී එකේ..''දුක හිතෙන කඳුලක උනුසුම බෙදාගන්න මගෙ රත්තරන් මල්ලියේ....තරුවක් වෙලා හරි මොහොතකට පායන්න මේ ඇස් දෙක ලඟ...'' ඔන්න ඔය වගේ දේවල් මෙයා ලිව්වෙ....අනිත් යාලුවො මෙයාව පුදුම විදියට නැලෙව්ව.......
කොච්චර හිත තද කරන් මෙයාගෙන් ඈත්වෙන්න හැදුවත් මේවා දැක්කාම මට ඒක කරන්න බැරි උනා.....

මෙයත් කරන්න පුලුවන් ඔක්කෝම දේවල් කලා,දන්න ඔක්කෝම තුරුම්පු ගැහුව මාව මේ විදියට එයා ගාව තියා ගන්න......

ඔය අතරෙදි තමා දවසක් මෙයා මට ඉන්විටේශන් එකක් එව්වෙ එෆ්.බී එකේ..ඒක එයත් එක්ක රිලේෂන් ශිප් එකට ඉන්විටේෂන් එකක්...!!!!

Sunday 22 January 2012

පොහොරියි මමයි......!!


දිගටම රකුස ගැනම ලියල ලියල මට දැන් ටිකක් එපාවෙන ගතියක් දැනෙනවා....එහෙම උනොත් ඔයාලට මේ රකුසු කතාවෙ සුල මුල අවසානෙ දැන ගන්න දෙන්නෙ නැතුව මම කරන්නෙ ලොකු අසාධාරනයක්...ඉතින් පොඩ්ඩක් මගෙ ඔලුව නිවෙන්නත් එක්ක, එපාවීමෙ ගතිය නැතිවෙන්නත් එක්ක, ලියන්න හිතුන මේ කතාව..අද විතරයි හොඳේ?..

මේකත් මම පොඩිකාලෙ උන සිද්දියක්..අපේ ගෙදර උන්න පොඩිහාමි නැන්ද කියල කෙනෙක්.. ගෙදර වැඩ වලට උදව් කරගෙන මම දන්න කාලෙ ඉඳන්ම එයා උන්නෙ අපේ ගෙදර.ටික කාලෙකට පස්සෙ එයා එයාගෙ තව දුවෙක් වෙන කෙනෙකුත් අපේ ගෙදර එක්ක ආවා..එයා කුසුම ..එයාලගෙ ගම හෙට්ටිපොල කියන පැත්තෙ..මේ දෙන්නගෙ විනෝදංශය තමා නිකම් ඉන්න වෙලාවට වත්තෙ එලවලු වවන එක..ඒ විතරක් නෙවේ හෙමින් හෙමින් තවත් වැඩක් කරන්න පටන් ගත්තා මේ දෙන්න..අපේ අම්ම කැමතිම නැති වැඩක් ඒක.. කෝම හරි අම්මව කැමති කරන්..ගෙට පිටිපස්සෙ ටිකක් ඈතට වෙන්න වත්තෙ පොඩි කුකුල් කොටුවක් හැදුව කිකිලියො ඇති කරන්න බිත්තර ගන්න......වැඩේට අවසර දුන්නෙ එක කොන්දේසියක් මත...කුකුල්ලුන්ට ගේ කිට්ටුවට එන්න දෙන්න බැහැ හදිස්සියකටවත්.....!!!
ඉතින් පොඩියට පටන් ගත්ත මේ කුකුල් කොටුවෙ ටික කාලෙකින් කිකිලියො 6 කුත්..කුකුල්ලු 2 කුත් උන්න.....එයාල මේ කිකිලියන්ගෙ බිත්තර කෑමට ගත්ත ඒ වගේම සති අන්තෙ කුසුම ගෙදර යද්දි ගමේ අරන් ගියා...මම පොඩිකාලෙ ඉඳන්ම සත්තුන්ට ගොඩාක් ආදරේනෙ,ඉතින් ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑම කාල නොවරදවාම යනව ගේ පිටිපස්සට කුකුල්ලු ටික බලල එන්න...මම එයාලට නම් දාල තිබුනෙ,රතු කිකිලී ''රත්ති''.. සුදු කිකිලී ''සුද්දී''..ඔය විදියට ''මොනරී''.. ''කලුකෙල්ල''.. ''කොන්ඩ කිරිල්ලි''.. ''ජම්බෝලෙ''.. ඔය තමා 6 දෙනාගෙ නම්..කුකුල්ලු දෙන්න..එක්කෙනෙක් ''සපත්තු''.. අනික  ''මෝඩය''......

ඉතින් හැමදාම අනුන්ගෙ කුකුල්ලු දිහා බල බල ඉන්නකොට මටත් හිතුන අනේ මටත් මගේම කියන්න කිකිලියෙක් ඉන්නවා නම් කියල..ආත්තම්ම ගාව ටිකක් කන්කෙඳිරි ගෑවාම ඔන්න අවසරේ ලැබුන..පස්සෙ කුසුම ගමේ ගිහින් එද්දි මටත් ලස්සන පොහොර වැටුනු කිකිලි පැටියෙක් ගෙනත් දුන්න ඔය පින්තූරෙ ඉන්න කිකිලි වගේම......
එයාට නම තිබ්බෙ 'පොහොරි' කියල...අම්මල කොච්චර කෑගහුවත් මම පොහොරිව නම් කූඩුවට දාන්න ඉඩ දුන්නෙ නැහැ..මම පොහොරිට ගේ ඇතුලටම ගෙනත් බත් කන්න දුන්න..මාව දැක්ක ගමන් පොහොරි දුවගෙන එනව කොහේ හිටියත්..දවල්ට වත්ත පුරාම ඇවිදල රෑට කූඩුවෙ වහලෙ උඩ එයා නිදා ගත්තෙ..සමහර දාට පොඩිහාමි නැන්ද එයාව අල්ලල කූඩුවට දැම්මාම මම ආපහු අරන් එනව ගෙදරට..ඒ වගේ වෙලාවට අම්ම කෑගහනව.....
''...සත්තු ඉන්න ඕනෙ සත්තු එක්ක ඔයා එක්ක නෙවේ..ඔයා සතෙක්ද...?''
''...ඒ උනාට එයා මගෙ කිකිලිනෙ...''
''...හරි..හරි ඔය කුකුල්ලුන්ගෙ ඇඟේ ඉන්නව කිනිතුල්ලො..එවුන් ඔයාගෙ ඇඟට වැහුවට පස්සෙ ඔන්න අපි එහෙම නෑ හොඳේ?...''

අපෝ ඒ පාර නම් මම බය උනා...ඔහොම ටික කාලෙකින් කූඩුවෙ හිරවෙලා උන්න කුකුල් ගෲප් එකට නිදහස ලැබුන දවල් කාලෙ වත්තෙ ඇවිදින්න..කුසුම උන්ව වත්තෙ පහලට එලෙව්ව..පොහොරිත් මේ කට්ටියට එකතු වෙලා උන්නෙ..බිත්තර දාන කිකිලියො දවල්ට කූඩුවට ඇවිත් බිත්තර දානව..හවසට කට්ටියම එනව කූඩුවට ඒත් පොහොරි නම් හැමදාම නිදා ගත්තෙ කූඩුවෙ වහලෙ උඩමයි.......

අපේ වත්ත පහල තිබුන ලොකු පිදුරුමඩුවක්..පිදුරු ගොඩගහල තිබ්බ ඒ මඩුවෙ තිබුනා ඉස්සර කාලෙ අපේ සීයලාගෙ පරණ දිරා ගිය බක්කි කරත්ත දෙකක්..අපි ඒවට ටංටු කරත්ත කියලත් කිව්ව....මේ දෙකෙන් එක කරත්තයක් මඩුවෙ කොනටම වෙන්න තිබුනෙ පිදුරුවලින් බාගෙට වැහිල...තව තිබුන මේ මඩුවෙ වැහිකාලෙට ගන්න අරන් තිබ්බ හනසු මිටි බැඳල..පොල්කටු ගෝනි..වගේ දේවල්..හරිම කළාතුරකින් තමා අපේ ගෙදර කෙනෙක් ඔය මඩුව පැත්තෙ යන්නෙ........

ඉතින් මේ කාලෙ වෙද්දි මගෙ පොහොරි හෙන හැඩකාර කිකිලියක්...පොඩිහාමි නැන්ද කිව්ව පොහොරි බිත්තර දැම්මාම අපි ඒව එකතු කරල එයාටම රකින්න දීල පැටව් හදමු කියල..මාත් ඉවසිල්ලක් නැතුව බලන් උන්නෙ පොහොරි බිත්තර දානකම් ඒවලින් චූටි කුකුල් පැටව් එලියට එනව බලන්න...මට ඒ දවස් වල හීනෙනුත් පෙනුනෙ කුකුල්පැටව්..ඉස්කෝලෙදිත් මම කතා කලෙ පොහොරි ගැන..එයාගෙ පැටව් ගැන.......
ඒත් බිත්තර දාන කාලෙ උනත්,අනිත් කිකිලියො බිත්තර දැම්මට පොහොරි නෙවේ එක බිත්තරයක් වත් දැම්මෙ...
ඔහොම ටික දවසක් ගත උනා එදා කුකුල් ගෲප් එක හවස කූඩුවට ආව පොහොරි නෑ..කුසුමයි පොඩිහාමි නැන්දයි වත්ත වටේම රවුම් ගියා ඒත් පොහොරිව හොයා ගන්න බැරි උනා..මම ඇඬුව..අම්ම කිව්වෙ පොහොරිව සතෙක් අල්ලන් කියල...

තවත් දවස් දෙකකට පස්සෙ හවසක මෙන්න පොහොරි ආව..එයා අමුතුයි ලෙඩ වෙලා වගෙ උන්නෙ..හොඳටම බත් කාල ඇවිද ඇවිද උන්න..ඒත් අනේ එදා හවසත් ගෲප් එක එක්ක කූඩුවට ආවෙ නෑ...ඔය විදියට පොහොරි අපිව බලල මොනා හරි කාල යන්න එන්නෙ දවස් දෙක තුනකට විතර වතාවක්...සමහර දාට උදේ එයා ඇවිත් ගිහින්..මට බලන්න වෙන්නෙ නැහැ.......

කුසුම නම් කිව්වෙ පොහොරි වෙලෙන් එහා ගෙදරකට පුරුදුවෙලා එහාට වෙලා ඉන්නෙ කියල..ඊලඟ පාර ආවාම අල්ලල කූඩුවෙ ගැට ගහල තියන්නම් කියල පොඩිහාමි නැන්ද කිව්වට මම ඒකට කැමති උනේ නැහැ..කමක් නෑ කොහෙ හරි පොහොරිට නිදහසේ ඉන්න දෙන්නයි මට ඕන උනේ.........

සති තුන හතරක් විතර ඔහොමම ගත උනා...දවසක් අපි ඉස්කෝලෙ ගිහින් එද්දි අපෙ ගේ පිටිපස්සෙ ඔක්කෝම ගෙදර කට්ටිය වටවෙලා...මොකක් හරි කලබලයක් වගේ..මම පොත් බෑග් එක මිදුලෙ අත ඇරල දිව්ව ඒ පැත්තට...දැකපු දේ අදහ ගන්න බැරුව ආ..ආ කියල මගෙ කට ඇරුනාම ඒක එහෙමම වහගෙන නැතුව මම ඇස්දෙකත් ලොකුකරන් ඉන්න විදියට අම්ම මාව තාත්තට පෙන්නුවෙ ''මෙන්න බලන්නකො මේ මූනයි කටයි'' කියල.....

අනේ දෙවියනේ...මගෙ පොහොරි ඇවිත්..!! තනියම නෙවේ...චුට්ටන් බට්ටන් කුකුල්පැටව් ගොඩකුත් එක්ක...!!!

පිදුරු මඩුවෙ කොනේම තිබුන බක්කි කරත්තෙ බක්කිය ඇතුලෙ පොහොරි බිත්තර දාල..එයා ඒවා රැකල පැටවුනුත් එක්ක ගෙදරට එනකම්ම අපි කවුරුවත් දන්නෙ නැහැ.....!!

සමහර විට.. නොසිතන නොපතන මොහොතක අපේ සිහින සැබෑවිය හැක..!!!!!

Thursday 19 January 2012

අභිරහස....!

(අළු පාට හැන්දෑව 21..)
''...රුපියල් තුන්ලක්ශ අසූදාහක්...?? මගෙ දෙවියනේ ඒ කෝමද නැති උනේ?කොහෙදිද?..''  මම ඇහුවෙ පුදුමෙනුත් පුදුම වෙලා.............
''...ඉන්න මම කියන්නම් මෙහෙමයි උනේ..ඔන්න මම ඔෆිස් වල සල්ලි එකතු කරන් ආවා...''
''...මොන සල්ලිද..මොන ඔෆිස් වලින්ද?..''
''...මම ඔයාට කියල තියනවනෙ අපේ කොම්පැනි එකට පෝසත් රටවල් වලින් ආධාර හම්බවෙනවා අපි ඒව දුප්පත් රටවලට යවනවා...එතකොට අපේ හෙඩ්ක්වාටර් එක තියෙන්නෙ ඉතාලියෙ රෝමෙ කියලත් මම කිව්වෙ...?''
''...ඔව්..ඔව්..ඉතින්..?''
''...ඉතින් මෙහෙ තියන අපේ අනිත් ඔෆිස් වල සල්ලි එකතු කරන් මීගමුවෙ අපේ ඔෆිස් එකට ඒවා අරන් එන්නෙ මමනෙ..ඉතින් මම ඒ ඔෆිස් වලින් සල්ලි එකතු කරන් අන්තිමට ගියා ජාඇල අපේ ඔෆිස් එකට..ගිහින් ඒකෙ සල්ලිත් අරන් ඔක්කෝම තුන්ලක්ශ අසූදාහක් ගනන් කරල බ්‍රව්න් පේපර් බෑග් එකකට දාගෙන මගෙ කාර් එකට අරන් ආව..කාර් එකේ ඉස්සරහ දොර ඇරල මගේ ෆයිල් එක ඉස්සරහ සීට් එක උඩින් තියල සල්ලි බෑග් එක ඒක උඩින් තියල අනෙක් පැත්තෙන් ගිහින් කාර් එකට නැගල එවා අරන් ආව මීගමුවෙ ඔෆිස් එකට..ඔෆිස් එක ලඟට ඇවිත් බලනකොට ෆයිල් එක විතරක් තියනව සල්ලි බෑග් එක නැහැ...''
''...එතකොට සල්ලි බෑග් එකට මොකද උනේ...?''
''...මම දන්නෙ නැහැ...''
''...ඒක නම් වෙන්න බැරි වැඩක්නෙ...''
''...ඒක තමා මටත් පුදුමෙ සල්ලි බෑග් එක තිබුනෙ නැහැ..''
''...පොඩ්ඩක් ඉන්න මට තේරෙන්නෙ නැහැ..ඔයා හොඳට කල්පනා කරල මම මේ අහන ඒවට උත්තර දෙනවද...''
''...හ්ම්...''
''...ඔයා තනියමද හැමදාම ඔය ගමන යන්නෙ ඔච්චර සල්ලි ගොඩාක් ගේන්න..?''
''...ඔව්..මේ පාර තිබුනෙ සල්ලි ටිකයි,කලින් පාර ලක්ශ 20 ක් ගෙනාව...අයියෝ ඒ වගේ දවසක් උනා නම් මම ඉවරයි...''
''...ඔයාට හොඳටම ශුවර්ද අන්තිමට ජාඇල ඔෆිස් එකේ ඉඳන් බෑග් එක කාර් එකට ගෙනාව කියල...?''
''...ඔව්..ඔව්..මම ෆයිල් එක සීට් එක උඩ තියල ඒක උඩ සල්ලි බෑග් එක තිබ්බ...''
''...හරි..ඒව සීට් එක උඩ තියල ඔයා වෙන කොහෙ හරි ගියාද?..''
''...නැහැ අනේ මම ඒවා සීට් එක උඩ තියල දොර වහල අනිත් පැත්තෙන් ගිහින් කාර් එකට නැග්ග...''
''...හරි..ඊට පස්සෙ කෙලින්ම මීගමු ඔෆිස් එකට ආවද නැත් නම් අතරමග තව කොහේ හරි ගියාද හොඳට මතක් කරන්න...''
''...නෑ මම කෙලින්ම ආවෙ අපේ ඔෆිස් එකට..ඇවිත් කාර් එක නවත්තල සල්ලි ටික ගන්න හදනකොට ෆයිල් එක විතරයි තිබුනෙ...''
''...කාර් එකේ ග්ලාස් ඇරගෙනද ආවෙ වහගෙනද?..මෙහෙම වෙන්න බැරිද..ඔයා සල්ලි තිබ්බ පැත්තෙ ග්ලාස් එක ඇරගෙන ආවෙ,අතර මග ඔයාව බ්ලොක් එකකට අහු උනා,ඔයා අහක බලන් උන්න කවුරු හරි වීදුරුවෙන් ඇතුලට අත දාල සල්ලි බෑග් එක ගත්ත...???
''...නෑ නෑ මම ඔක්කෝම ග්ලාස් වහගෙන ආවෙ..කිසිම බ්ලොක් එකක් තිබුනෙ නෑ..මම කෙලින්ම ආව ඔෆිස් එකට...''
''...එතකොට ඔය බෑග් එක කාර් එකේ ඇතුලෙ වැටිලවත් තිබුනෙ නැද්ද?...''
''...නෑ මම ඔක්කෝම සීට් අවුස්සලත් බැලුව..මම විතරක් නෙවේ තව ඔෆිස් එකේ අයිය කෙනෙකුත් එක්ක...''
''...මේක නිකම් බූත කතාවක් වගේනෙ කවදද ඕක උනේ? ඔයා පොලිසියට කිව්වද?ගෙදරට කිව්වද?...''
''...ඒක තමා මටත් පුදුමෙ..බෑ බෑ පොලිසියට කියන්න බෑ..ගෙදරට කියන්නත් බෑ..ඔෆිස් එකේ එක අයිය කෙනෙක් විතරයි මේක දන්නෙ...''
''...ඇයි ඒ? ඕක හොරකමක්..මංකොල්ලයක්.ඕක පොලිසියට කියන්නම ඕනෙ,ඔයා අනිවාර්යයෙන් ඔෆිස් එකට කියන්න ඕනෙ..ඔයාගෙ වරදක් නෙවේනෙ..එහෙනම් ඇයි ඔයා කියන්න බැහැ කියන්නෙ..නෑ.නෑ ඔයා ඕක කියන්නම ඕනෙ...''
''...නෑ නෑ  ඕනෙ නැහැ මම ඒව ගෙවල දැම්ම..මගෙ පොතේ තිබුන සල්ලි ටිකක්, ඒක අරන් ඉතුරුව ඉල්ල ගත්ත නිල්මිනි අක්කගෙන්..ඒක හරි මම ඒක ගෙවල දැම්ම...''
''...ඔයා ඔය කතාව මා එක්ක ඔහොම කිව්වට වෙන කිසිම කෙනෙක් ඔයාව විශ්වාශ කරන්නෙ නැහැ තේරෙනවද ඔයාට...?''
''...ඔව්..ඒක තමා මේක මට කියන්න බැරි වෙන කා එක්ක වත්..මම දන්නව ඔයා මාව විශ්වාශ කරනව කියල...නිල්මිනි අක්ක මේ මාසෙ අන්තිමට ලන්ඩන් යනව ඊට කලින් එයාගෙ සල්ලි දෙන්න ඕනෙ මම ..එයා නම් කිව්ව පස්සෙ දෙන්න කියල ..ඒ උනාට හරි නැහැනෙ ඒක ඉක්මනින් දෙන්න ඕනෙ...''
''...කෝමද ඒවා දෙන්නෙ දැන් ඔයා ගාව සල්ලි තියනවද..?''
''...නෑ මගෙ ලැප් එක විකුනනව..ඒක බලන්න හෙට එනව අයිය කෙනෙක්...මම බයික් එකත් විකුනන්න එක්කෙනෙක් ට කිව්ව එයත් එනව කිව්ව බලන්න...ඔෆිස් එකෙන් ලෝන් එකකුත් අරන් ඒක මම ගෙවනව...''
''...අපරාදෙ නේද ලැප් එකයි බයික් එකයි විකුනන්නෙ? නිල්මිනි ගෙ සල්ලි ගෙවන්න ඔයාට මගෙන් සල්ලි ඕනෙද? මම දෙන්නද?..''
''...එපා..එපා..එපා  මම දෙන්නම් ඒවා ඔයාගෙ සල්ලි එපා...ලැප් එකක් බයික් එකක් ආයෙ ගන්න බැරියැ...''






පස්සෙ ඔන්න ලැප් එක ගෙනියන්න අයිය කෙනෙක් ආව...බයික් එක ගෙනියන අයිය ආවෙත් රාජ් මා එක්ක ඔන්ලයින් ඉන්නකොටමයි...මම දැක්කෙ නැහැ  ඔන්න අර අයිය ආව..අන්න අනිත් අයියත් ආව කිය කිය එයාල එක්ක කතා කරන්න ඕනෙ කියල රාජ් ගියා විතරයි මම දන්නෙ..........


මේ ලැප් එකයි,බයික් එකයි විකුනන්න කලින් පොටෝ අරන් එයා මට එව්ව......අන්තිමට ඉතුරු උනෙ එච්චරයි කියල..අහිංසකය පව්.........


ඊට පස්සෙ අර ඉන්දියාවට ගිය වෙලේ අනුත්තරාට ගෙනාව කිව්ව රුපියල් ලක්ශ දෙකකටත් වඩා වටින පෙන්ඩන්ට් එකත් විකුනුව කිව්ව..ඔෆිස් එකෙන් නයකුත් අරන් ඔන්න නිල්මිනි අක්කගෙ නය සල්ලි ටික ගෙවල දැම්ම කිව්ව...කිසිම දෙයක් නොවුන ගානට එයා උන්නෙ..ඒත් මට නම් එහෙම ඉන්න බැරි උනා..ප්‍රශ්න කෝටියක් මගෙ හිතේ වද දුන්න....


''...මේ ඒක නෙවේ ඔෆිස් එකේ අය තාම දන්නෙ නැද්ද අනේ ඕක..?''
''...නෑ.නෑ බ්‍රදර්ස්ලට කිව්ව නම් මගෙන් සල්ලි ගන්නෙ නැහැ..එයාල ඕක අමතක කරල දානව..ඒත් මා ගැන මොනා හිතාවිද දන්නෙ නැහැනෙ..ඒ නිසා මම සද්ද නොකර උන්න...''
''...එතකොට ගෙදර අය? එයාලට කියන්නෙ නැද්ද?..බයික් එක කෝ කියල අහන්නෙ නැද්ද එයාල..?''
''...ගෙදරින් දන්නව දැන්..මගෙන් ඇහුව බයික් එකට මොකෝ උනේ කියල..මම විස්තරේ කිව්ව...''
''...ඉතින් මොකෝ උනේ ඔයාට බැන්නද..?''
''...මොකුත් කිව්වෙ නැහැ රස්සාව කරගන්න බැරි නම් ගෙදර නතර වෙන්න කියල අම්මි කිව්ව...''
''...දැන් ඒ සල්ලි අතුරුදහන් වීම ගැන ඔයාට නැද්ද කිසිම අයිඩියා එකක්? කිසිම හෝඩුවාවක්..?''
''...නැහැනෙ...''
''...මම කියන්නද වැඩක්? අපි සද්ද නොකර මේක දෙමු සී.අයි.ඩී එකට...ඒක මම කරන්නම්...''
''...එපා..එපා...ඒක දැන් ඉවරයි..ආයෙ කතා කරන්න එපා ඒක ගැන ...''


ඉතින්... ඔන්න ඔහොම රුපියල් තුන්ලක්ශ අසූදාහක අභිරහස යටපත් වෙලා ගියා.................

Sunday 15 January 2012

රාජ් ''හොඳ ලමයෙක්'' උනා...!!



 (අළු පාට හැන්දෑව 20...)
ඔව්...හැමදාම දේවල් සිදු උනේ එහෙමයි..මට හොඳටම ඇති වෙලා මම හෙම්බත් වෙලා උන්න මේ ආදරේ නිසා..එපා වෙලා තිබුනෙ එයාව...''රෙද්දට ගිනි ගත්තාම ඒක කඩල අහකට විසිකරල දාල වෙන එකක් ඇඳ ගන්නව මිසක්..පිච්චෙනවෝ..දනවෝ..බේරගනියෝ..කිය කිය කෑගහ ගහ ඉන්න සිරිතක් නැහැ'' තමා...ඒත් හිතේ බැඳුනු ආදරයක් ඇඟවටේ ඔතා ගත්ත රෙදි කඩමාල්ලක් තරමට බාල්දු කරල අහකට විසි කරන්න බැරි අයත් ඉන්නවනෙ නේද?..මටත් වෙලා තිබුනෙ ඒක...එහෙම කරල ලැබෙන වේදනාව ට මම බය උනා..ඒ වගේම තවත් කෙනෙකුට වේදනාවක් දෙන්න මම ගොඩාක් බය උනා...ඉතින් මට හිතුන අවසන් තීරනය ගන්න කලින් මේ ගැන අපි දෙන්නවම දන්න කෙනෙකුට කියන්න....
එයා මගෙ යාලුවෙක්..එයා කිව්ව මේ ගැන රාජ් එක්ක කතා කරන්නම් කියල..එයා රාජ් ට ටෙලෙපෝන් කල වෙලාවෙ රාජ් පිළිතුරු දීල නැතුව ඔන්ලයින් ආවලු චැට් කරන්න...ඉතින් යාලුව රාජ් එක්ක කතා කරල පැහැදිළි කරල අවවාද කලා කිව්ව..එයා මටත් කිව්වෙ රාජ් එක්ක ගොඩක් ඉවසීමෙන් කටයුතු කරන්න කියල..රාජ් හොඳ කොල්ලෙක්,එයාට ගොඩාක් ප්‍රශ්න තියනව..මම වගේ ස්වාදීන විදියට හැදුන කෙනෙක් නෙවේලු...ඒ වගේම එයා රාජ් ට කිව්ව දේවල් රාජ් මටත් එව්ව බලන්න...එයා මා ගැන රාජ් ට කියල තිබුන දේවල් දැකල මට ගොඩාක් සතුටු හිතුන එදා..මොකද ඒව සහතිකම ඇත්ත........

එදා ඒ සිද්දියෙන් පස්සෙ රාජ් මෙහෙම කිව්ව.....

''..මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ...මම ඔයාට ගොඩාක් වැරදි කලා..ගොඩාක් අඩුපාඩුකම් කලා..මට දුකයි ඒවට..මම කනගාටුවෙනව..ඇත්තම කියනවා නම් මට ගොඩාක් ලැජ්ජයි දැන්..''
''..ඇයි ඔයා ලැජ්ජයි කියන්නෙ..'' මම ඇහුවාම එයා කිව්වෙ..
''..මම පහු ගිය දවස් වල උන දේවල් ගැන හිතුව අපි කතා කරපු චැට් පවා ආයෙමත් කියෙව්ව..මටම ලැජ්ජයි මම කියල තියන දේවල් දැක්කාම..මම වැරැද්ද පිළිගන්නව..මට සමාව දෙන්න..අපි අද මුල ඉඳන් පටන් ගනිමු..මම ඒ වැරදි ඔක්කෝම හදා ගන්නම්..මම පොරොන්ඳු වෙන්නම්..''(එදා ඒ අවවාද දුන්න යාලුව මේ බ්ලොග් එක බලනව..එයා දන්නව මේවා ඔක්කෝම ඇත්ත කියල.)
එදා මට දැනගන්න ඕනෙ උනා මගෙන් රාජ්ට වෙන වැරදි මොනාද කියල..මම ඇහුවාම එයා කිව්වෙ..
''..ඔයා මට මොකුත් වැරදි කරන්නෙ නැහැ..හැබැයි මම ඔෆිස් එකේදි වැඩ වැඩි වෙලාවට..මම ගෙදර අම්මිලා ඉන්න වෙලාවට..ඔයාගෙ කෝල් වලට කතා නොකලාම ඔයා තරහ ගන්න එපා..තරහ ගන්න එක පොඩ්ඩක් අඩු කර ගන්න..'' හොඳයි මම ඒකට එකඟ උනා..(අනේ මම වගේ එල හරකියක්..!) පස්සෙ මම අර යාලුවට කිව්ව රාජ් කිව්ව ඔක්කෝම ..එයාත් සතුටු උනා..
''හරි..දැන් ඉවරනෙ ප්‍රශ්නෙ..උඹ සතුටින් නේද?..''
මාත් ''හ්ම්ම්...හ්ම්ම්'' ගෑව..
''..ඇයි? ඒ කියන්නෙ උඹට තාම විශ්වාස නැහැ?..ඔහොම පුලුවන්ද බන් ජීවත් වෙන්න..''
''..ඔව් දැන් කිව්ව දේ දැන් විස්වාශ කරන්න පුලුවන් ඒත් හෙට..? හරි ඉතින් අපි බලමුකො..''
ඔන්න ඉතින් එදායින් පස්සෙ රාජ් මහා පුදුම විදියට වෙනස් උනා..මට ගොඩාක් ආදරෙන් උන්න..(ඒ දවස් වල නිතරම ශාරුක් ඛාන්ගෙ ෆිල්ම්ස් බලන්න ඇති.)
මම හිතුව දැන් නම් නරක කාලෙ ඉවර වෙලා කියල..මාත් උන්නෙ සතුටින්..එයාගෙ ඔෆිස් වැඩ ඉගෙන ගන්න වැඩ ඕන දෙයක් කර ගන්න කියල මාත් උන්න ''මම නැහැ වගේ''......ඒ විදියට අපි සතුටින් උන්නෙ අතේ ඇඟිලි වලින් ගනින්න පුලුවන් තරම් දින ගානක් විතරයි....
ආයෙමත් රාජ්ගෙ අර ''අස්වාභාවික ලක්ෂන'' මතුවෙන්න පටන් ගත්ත...එයා ආයෙමත් අස්වාභාවික විදියට හැසිරෙන්න පටන් ගත්ත..
''..මම ඉන්නෙ ගෝල්ෆේස් එකේ දැන්.උදෙන්ම බයික් එකට ෆුල් පෙට්‍රල් ගහගෙන මම ගෙදරින් පිට උනා..''
(ඇහුවට හේතුවක් නැහැ.)
''..මම ඉන්නෙ තාම ඔෆිස් එකේ..එන වෙලාවක් කියන්න බැහැ..''
''..මේ මහ රෑ ඔයා තාම ඔෆිස් එකේ ඇයි?..''  මම ඇහුව...(උත්තරය බොරුවක් කියල මට දැනුන.)
''..මම ඉන්නෙ තනියම බීච් එකේ මට කල්පනා කරන්න ඕනෙ..''
කිසිම හේතුවක් හිතා ගන්න බැරුව මම අන්ද මන්ද වෙලා දුක් වින්ද..කතා කලාම ප්‍රශ්න කලාම අපි රන්ඩු.....
ඔන්න එදා රෑ අපි දෙන්න අපූරුවට කතා කර කර ඉඳල නිදා ගත්තෙ..පහුවදා සුපුරුදු විදියට මම කෝල් කලා උත්තර නැහැ..ආයෙම ආයෙම ආයෙම..කෝල් කලා මෙයා නෙවේ කතා කලේ....
එදා රෑත් මෙයා නැහැ..පෝන් එක තාම රින්ග් වෙනව...ඒත් උත්තර දෙන්න කෙනෙක් නැහැ..ඔය විදියට දෙවෙනි දවසටත් එලි උනා..ඒ වෙද්දි මම එස්.එම්.එස් 20 කට වඩා යවල...

එයා එහෙම අතුරුදහන් උනාම මම අර තරම් කලබල වෙන්නෙ ''සැක කරන නිසා''  නෙවේ...
එයා කිව්ව විදියට,එයා දරුනු හදවත් රෝගියෙක්..!!.   3 වතාවක් මිය යන්න ගිහින් බේරුන කෙනෙක්...!! නිතරම ගෙදර ප්‍රශ්න නිසා ඔලුව හැරුන අතේ යන්න හදන කෙනෙක්...!!

අනේ ඉතින් කාටද බය නොවී ඉන්න පුලුවන්?..මම මැරෙන්න තරම් බය උනා.......

ඔන්න මම අර යාලුවට කෝල් කරල කිව්වාම එයා කිව්ව තව ටිකක් බලල හොයාගෙන යන්නම් කියල.

ඔන්න ඒ අතර මෙයා ආව ඔන්ලයින්....

''...අපේ තාත්තිට අමාරු වෙලා හොස්පිටල් අරන් ගියා..මම එයා ගාව උන්නෙ..මට පෝන් එක අමතක වෙලා ගියා ගෙදර..අදයි මේ ටිකට් කපාගෙන එක්ක ආවෙ..''
''...ඉතින් මේ විදියට අතුරු දහන් වෙලා ඔයා මාව බය කරන්නෙ ඕක වෙන තැනකින් කෝල් එකක් දීල කියන්න තිබ්බෙ නැද්ද..?''
''..මට ඔයාගෙ පෝන් නම්බර් එක මතක නෑ..ඒක මට මතක තියා ගන්නම බැහැ..''
''...හ්ම්ම්ම්ම්ම්ම්...තාත්තට සනීපද දැන්?..මොකද උනේ එයාට?..''
''..හදිසියෙම අමාරු වෙලා එයාව නිල්මිනි අක්ක ඉන්න හොස්පිටල් එකට අරන් ගියා මීගමුවෙ..ඊට පස්සෙ එතනින් බැහැ කියල කොලඹ ගෙනියන්න උනා..දැන් සනීපයි..අද මගෙ අතින් ජා ඇලදි කාර් එකත් හැප්පෙන්න ගියා..අනූ නවයෙන් බේරුනේ..''
ඔහොම කියන අතරෙදි එයා මෙන්න මෙහෙමත් කිව්ව..
''..නිල්මිනි අක්ක තමා තාත්තිව හොස්පිටල් එකේදි ඔක්කෝම කලේ..අපි එක්කම උන්නෙ..අද එයාව මට ඇල්ලුවෙ නැහැ එයා එන්නෙ නම් වෙන පොටකට..''
''..ඇයි ඒ මොකෝ..?''
''..එයා අම්මි එක්ක වෙනදට වඩා මාර හිතවත්..අද අම්මිව බදාගෙන ඉම්බත් එක්ක..උපුලි ගැන ගෙදරට කියන්න වගේ හදන්නෙ..එහෙම උනොත් මට මාර ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනව..''
''..ඉතින් ඔයා කැමති නැත් නම් නෑ කියන්නකො බලෙන් දේවල් කරන්න බැහැනෙ..''
''..නෑ..මම හෙට නිල්මිනි අක්කගෙ ගෙදර ගිහින් එයා එක්ක කතා කරලම මේක ඉවරයක් කරගෙන එන්නම්කො..''

ඔන්න පහුවදා එයා ඩොක්ටර් නිල්මිනිලගෙ ගෙදර ගිහින් ආව..

''..මොකෝ උනේ ඔයා කතා කලාද?..''
''..ඔව්..''
''..ඉතින්..?''
''..ඉතින් මොකුත් නෑ..මම කිව්ව ගෙදරට කියන්න එපා කියල..එයා ඇහුව ඇයි උපුලිට කැමති නැත්තෙ කියල..මම කිව්ව අකමැති නෑ..ඒත් මම කසාද බඳින්නෙ නැහැ කවදාවත් කියල..''

මම පුදුම වෙලා මේව අහගෙන උන්නෙ...ඒ එක්කම එයා මෙහෙමත් කිව්ව...
''..එයා ඔයාවත් දන්නව..එෆ්.බී එකේ ඔයාගෙ ප්‍රොෆයිල් එකත් දැකල එයා..මට හොඳ දේශනාවකුත් දුන්න..''
''..මම ගැන මොනාද කියන්නෙ එයා..?''
''..මුකුත් නෑ..මම දන් නෑ..''
''..අනේ කියන්නකො..මොනාද එයා මට කියන්නෙ?..''
''..මම දන් නෑ..''
''..දැන් සතියකටත් වඩා ඔයා අමුතු වෙලා ඉන්නෙ..වද දෙන්න එපා ඔහොම මට..ඔයාට තේරෙන්නෙ නැද්ද මම විඳවනව කියල..?''
''..මට තේරෙනව..විඳවන නිසා තමා වෙච්ච දේවල් මොකුත් නොකිය ඉන්නෙ..''
''..වෙච්ච දේවල්? ඒ මොනාද? මොනාද උනේ..?''
''..නෑ..මොකුත් නෑ..''
''..අනේ කියන්නකො මට වද දෙන්නෙ නැතුව..''
''..අයියෝ මටත් කට තියාගෙන ඉන්න බැහැනෙ..''
''..නිල්මිනි මා ගැන ගෙදරට කියලද..?''
''..නෑ..''
''..උපුලි ගැන කියලද..?''
''..නැහැ..''
''..එහෙනම් මොකක්ද කියන්නකො ඔයාට ඔය වෙච්ච දේවල් ප්ලීස්..ප්ලීස්..''

''...මගෙ අතින් ඔෆිස් එකේ සල්ලි වගයක් නැති උනා ලොකු ගානක්...''
 
''..නෑහ්.! කීයක්ද?..''
 
''..රුපියල් තුන්ලක්ෂ අසූදාහක්..''

Wednesday 11 January 2012

මම සමාව දුන්නා...!!!!

 (අළු පාට හැන්දෑව 19.)
අනේ මට සමාවෙන්න...මම හිතල කිව්ව දෙයක් නෙවේ...මම උන්නෙ අසනීපෙන් නිසා මට තරහ ගියා..අයියෝ මම වගේ කාලකන්නියෙක්..දවසක් මම අනුත්තරාවත් මේ වගේ දෙයක් කියල ඇඬෙව්වා..ඔයා තරහා නෑ නේද මා එක්ක?මම ආයෙ කවදාවත් එහෙම කතා කරන්නෙ නැහැ...මම දන්නෙ නැහැ මට මොනා උනාද කියල...මේ බලන්න මම කර ගත්ත දේ..මම ඔලුව පැලෙන කම් බිත්තියෙ ගහ ගත්තා...අනේ මගෙ ඔලුවට අත තියන්නවත් බැහැ...අසනීපෙන් ඉන්නව මදිවට මම මේක කර ගත්තෙ ඔයාට මම කරපු දේ නිසයි..මම දැන් ඒකට දඬුවම් විඳිනව.. මට සමාවෙන්න.....තරහ නෑ නේද ඔයා????

''...නෑ මම තරහ නෑ..ඒක අමතක කරන්න...''

මම එහෙම කිව්වෙ මෙයා ඔලුව බිත්තියෙ ගහගෙන කිව්ව නිසා බයට..ඇත්තටම මගෙ හිතේ තරහක් නෙවේ තිබ්බෙ මහා කලකිරීමක් විතරයි..
ඔන්න ඉතින් අපි ආයෙමත් පරන පුරුදු විදියට උන්න....
මේ අතර එයා එයාගෙ බ්ලොග් එකේ හරිම දුක හිතෙන කතාවක් ලිව්ව..එයාගෙ අම්මයි තාත්තයි එදා රෑ රහසක් කතාවෙලා පහුවදා එයාල නුවර එලි විනෝද ගමනක් ගිහින් දවස් කීපයක..තව එයාලගෙ පවුලෙ නෑයො හිතවත් අයත් මේ ගමන ගිහින්..අම්ම බොරු කියල පොඩිලමයි යන්නෙ නැහැ මේ ගමනට කියල මෙයාව නැන්දලාගෙ ගෙදර තියල යන්න හදනකොට එයාගෙ මැරුන මල්ලි අඬල එයත් මෙයා එක්ක නැන්දලගෙ ගෙදර ඉන්න ඕනෙ කියල..අම්ම කිව්වලු නැහැ මල්ලි ඉන්න ඕනෙ ලොකු අයිය එක්ක ආච්චිලාගෙ ගෙදර කියල එවෙලෙ මල්ලි ගොඩාක් ඇඬුවලු ''අනේ මට ලොකු අයිය එක්ක ඉන්න බැහැ එයා මට ගහනව මම චූටි අයිය එක්ක ඉන්නම්'' කියල..අම්ම බැන්නලු ඒ පාර....කෝම හරි මෙයාට බොරු කියල මෙයාව දාල අනිත් ඔක්කෝම කට්ටිය අනිත් පොඩි ලමයිනුත් එක්ක ඒ ගමන ගිහින්..ආපහු එන දවසෙ මෙයා මාමට කියල කලින්ම ගෙදරට ඇරලවගෙන ගමන ගිහින් එන අම්මලාට බොන්න කූල්ඩ්‍රින්ක්ස් හදල තියල(අනේ බලන්න මෙයා වගේ හොඳ අහින්සක ලමයෙක්..පොඩි කාලෙ ඉඳන්ම.)
..අම්මල ආවාම මල්ලි අඬන්න වගේලු..අම්ම කිව්වෙ මල්ලිට හෙම්ම්බිරිස්සාව කියලලු..පස්සෙ රෑ නිදාගන්න ගියාම මල්ලි මෙයාට කියල අනිත් ඔක්කෝම ලමයි ඒ ගමන ගියා හැමෝම ඔයාව ඇහැව්ව කෝ චූටි අයිය කියල..ඉතින් ''මම දන්නව මල්ලි'' කියල මෙයා ඇඬුවලු....ඕක තමා කතාව පෝස්ට් එකේ තිබ්බ.....

මම පහුවදා මෙයාගෙන් ඇහුව ''අනේ ඇත්තටම ඔයාගෙ අම්මල එහෙම කලාද ඔයාට'' කියල. එයා කිව්වෙ..''..ඔව් එයාල හැමදාම කලේ එහෙම ඒ සිද්දිය වෙලා හරියටම මාසෙකින් මගෙ මල්ලියා මාව දාල ගියා..'' කියල....
මේ පෝස්ට් එක පල උනාට පස්සෙ ඒක දැකපු හැමෝම මෙයාට අනුකම්පා කලා(මෙයාව නැලෙව්ව.) ඒත් සමහර 'ඇනෝල' මෙයාට කුනුහරුපෙනුත් බැන්න..!!!
මේවා දැක්ක මගේ සමහර යාලුවො මට අවවාද කලා..මෙයා හරියට දුක් වින්ද කොල්ලෙක් පව් එයාගෙ හිත රිද්දන්න එපා  කියල...
ඒ විතරක් නෙවේ මෙයා නිතරම වෙන වෙන බ්ලොග්ස් වල කොමෙන්ට්ස් දැම්ම අනිත් අයට දුක හිතෙන විදියට..''මාත් ඔය විදියෙ තනි උන කෙනෙක්'' මටත් ඔය වගේ අතීතයක් තිබුන'' ''මටත් මේ ලෝකෙ කවුරුවත් නැහැ'' ඔය වගේ දුක් කතා මෙයා ලෝකෙට පේන්න ලිව්ව...මම රැවටුනා..(තව කීදෙනෙක් මෙයාගෙ උගුලෙ ඉන්නවද කියල දෙවියො තමා දන්නෙ,)

මෙයාගෙ තව අමුතු ගතියක් තිබුනා කවදාවත් කියල දීල හදන්න බැරි..එයා තේරුම් ගන්නෙත් නැති...
මම මොනා හරි මෙයාට කිව්වාම එයා පෙත්තප්පු වගේ ඒකම ආපහු කියනව..
''ඔයා ඇයි කතා කරන්නෙ නැත්තෙ'' මම ඇහුවොත්..එයා මගෙන් අහනව..''...ඔයා ඇයි කතා කරන්නෙ නැත්තෙ..?'' කියල..
මම එයාගෙන් ඇහුවොත් ''ඔයා මට ඇත්තටම ආදරේද'' කියල එයා මගෙන් අහනව ''ඔයා මට ඇත්තටම ආදරේද?'' කියල..
ඔය වගේ මම කියන කියන දේම පෙත්තප්පු වගේ මටම කියන නිසා මම මෙයාට හොඳින් ආදරෙන් කියල දුන්න වාර අනන්තයි එහෙම කියන්න එපා කියල.....

මෙයා කිව්වෙම එයාට කතා කරල පුරුදු නැහැ කියල...
මගෙ යාලුවො කිව්වෙ ''පව් අනේ ඒ කොල්ල මානසික ඇදගෙන වැටුන අසරනයෙක් ඔයා ඉවසීමෙන් ඉන්න ඕව හරි යාවි ඔයාට පිංසිදුවෙනවා එහෙම කෙනෙක්ව බලාගන්න එකට'' කියල....
ආයෙ මගෙ යාලුවො කිව්ව..''එයාගෙ අම්ම කරපු දේ නිසා එයාට සමාජෙට මූන දෙන්න බැරුව ඔය හැංගිලා වගේ ඉන්නෙ..ගෙදර අය වෙනස් කම් කරන නිස ඔහොම වෙලා තියෙන්නෙ..අසනීපෙ නිසා තවත් ඇදගෙන වැටිල..යාලුවො ඇසුරු කරන්නෙ නැත්තෙත් ලැජ්ජාවට'' කියල.....

මෙයාට මම දන්න තරමින් යාලුවෙක් උන්නෙ නැහැ...දැනට ඕස්ට්‍රේලියාවෙ ඉන්න ක්‍රිස්ටියන් පෙරේරා(විශ්වනාත්)මෙයාගෙ හොඳම යාලුවා වෙලා උන්න ලු..ඒත් මෙයාගෙ මේ අම්ම කරපු දේ එයා එක්ක කිව්වාම ක්‍රිස්ටියන් මෙයාව යාලුකමෙනුත් අත් ඇරල දැම්මලු...ඒක කිය කිය මෙයා ගොඩාක් දුක් උනා මා එක්ක...තව මෙයාට උන්න ෆේස්බුක් එකෙන් අල්ල ගත්ත යාලුවො දෙන්නෙක්...එක්කෙනෙක් ''චරිත් මොරගොඩ'' වැඩ කරන්නෙ කොලඹ ලංකා බැංකු ගොඩ නැගිල්ලේ යම් කිසි තැනක...අනිත් යාලුවා ''නදිශ්ක ජයවර්ධන'' මෙයා නම් දෙහිවල පැත්තෙ ''ලොකු සල්ලිකාරයෙකුගෙ පුතෙක්'' කියල තමා මට රාජ් කිව්වෙ....(මම මේ දෙන්නව හොයනව පුලුවන් හැම විදියකින්ම කන්ටෑක් කර ගන්න හැදුවත් මෙයාල මොකක් හරි හේතුවක් නිසා මාව මග අරිනව...එහෙම නැත් නම් මෙයාලට එහෙම කරන ලෙස උපදෙස් ලැබිලා..කෝම උනත් මට ආසයි දැන ගන්න මේ රකුසා මෙයාල දෙන්න එක්ක රඟපාන චරිතෙ මොකක්ද කියල.).....එහෙමත් නැත් නම් මේ දෙන්නත් නලුවොද...????

මේ කාලෙ අපි ආදරෙන්  (මම ආදරෙන් උන්න.) ඔය කාලෙ විශේෂ දේවල් විදියට උනේ මෙයාල නිතරම වගේ ''නිල්මිනි අක්කලගෙ ගෙදර'' පාටි වලට ගියා..''උපුලිත්'' නිතරම මෙයාට හමු උනා කිව්ව...නිල්මිනි උපුලි ගැන මෙයාට කියනවලු නිතරම..මෙයා කැමති නැතිලු...දවසක් මෙයා කිව්ව..''..මමයි තාත්තියි අද යනව තාත්තිගෙ යාලුවෙක්ගෙ ගෙදර ඩිනර් එකට..'' කියල..මම අරන් දුන්න ශර්ට් එකක් ඇඳගෙන තමා මෙයා ගියෙත්..රෑ ආපහු එන වෙලාවත් මට කියල ගියා..ඔන්න කිව්ව වෙලාවටම මෙයා ආපහු ආව කියමුකො...ඊට පස්සෙ මෙන්න මෙහෙම මට කතා කලේ....
''...හායි...අපි ආවා...''
''...ආ ඔයා කිව්ව වෙලාවටම ආව නේ..කෝමද පාටි එක..?''
''...ශෝක් නියමයි අරයත් ඇවිත් උන්නනෙ..''
''..අරය? ඒ කවුද?..
''..උපුලී..''
''..ඈහ්? ඕක කියන්නද ඔයා මට මේ මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉන්න කිව්වෙ?..''

Sunday 8 January 2012

වෙස්මූණ........!!

(අළු පාට හැන්දෑව 18..)
එදා මුලු දවසෙම රාජ් ගැන කිසි තොරතුරක් දැනගන්න බැරි උන දවසක්..පාන්දර ඉඳන්ම පෝන් එක ඕෆ්.ඔන්ලයින් නැහැ..අඩුම ගානෙ මට එකම මිස් කෝල් එකක් වත් නැහැ..මම හොඳටම බය උනා..මෙයාට කරදරයක්ද?හදිසියෙ ආයෙමත් අසනීප උනාද?
පුංචි දේකටත් ගොඩාක් කලබල වෙන ගොඩාක් හිතන දුක්වෙන සංවේදී හිතක්(මෝඩ හිතක්.)මට උපතින්ම පිහිටල තියෙන්නෙ.....
මහ රෑ වෙන තුරු මම කන්නෙ නැතුව නිදි නැතුව බලන් උන්න..ඔන්න මෙයා රෑ ආව ඔන්ලයින්....
''..ඔයාට මොකද උනේ අද දවසෙම ඔයා නැත්තෙ ඇයි?..'' මම ඇහුව...
''..මට කරදරයක් උනා මම ගමනක් ගියා ඔෆිස් එකේ අයිය කෙනෙක් එක්ක..''
''..මොකද උනේ? ඇයි මට කිව්වෙ නැත්තෙ? ඉතින් ඇයි පෝන් එක ඕෆ් දවසෙම?..'' මම කලබලේට ප්‍රශ්න වැලක්ම ඇහුව...
''..පෝන් එක වහන් උන්නෙ ගෙදරින් මට කතා කරන නිසා..වෙච්ච දේ කියන්නම්කො තව දවස් තුන හතරකින්..''
''..ඇය් ඒ දැන් කියන්න බැරි? අනේ මට කියන්න මොකද උනේ?..''
''..මම කිව්වනෙ දැන් කියන්න බැහැ කියල සෙනසුරාදට කියන්නම්..අහන්න එපා එතකම්..මට කරදර කරන්න එප..තේරුනාද..?''

මම ඊට පස්සෙ ඒ ගැන කතා කලේ නැහැ..ඒත් මම ඒ ගැන හිත හිත දුක් වින්ද...පුදුම කතාවක්නෙ..එයාට කරදරයක් උනාලු..දවසෙම මොනා උනාද කියල දන් නෑ ඒත් කියන්න බැරුලු....
එයාගෙ අස්වාභාවික චරිතෙ ගැන හිතල මම සෙනසුරාද වෙනකම් බලන් උන්න...
සෙනසුරාද හවස මම ඇහුව..
''..අද මට කියනවද ඔයාට මොකෝ උනේ කියල..?''
''..මොකුත් උනේ නැහැ ඒක දැන් ඉවරයි..''
''..ඔයා මහ පුදුම කතානෙ කියන්නෙ එදා කිව්ව ලොකු කරදරයක් කියල සෙනසුරාදට කියන්නම් කියල  අද කියනව මොකුත් නෑ ඒක ඉවරයි කියල..'' මට තරහ ගියා...ඇත්තම කියනවා නම් මේ දවස් වෙද්දි මට ඉක්මනින් තරහා යන ගතියක් තිබුනා..මම හැම වෙලේම උන්නෙ නොසන්සුන් කමෙන්..ඔලුවෙ බරක් තියාගෙන..දුකෙන්..ආදරේ කරන අය ඉන්නෙ සතුටින් නේද? මේක ආදරය කරන ආදරය ලැබෙන කෙනෙකුට තියන මානසික තත්වයක් නෙවෙ පිස්සුවක්...මහා බරක්...!!!!
ඒ පාර එයා ඔන්න කියන්න පටන් ගත්ත එයාගෙ ප්‍රශ්නෙ....

''..මේකයි උනේ ඔන්න එදා උදේ අම්මියි තාත්තියි රන්ඩු උනා මා නිසා...තාත්ති ගියාට පස්සෙ අයියා ඇවිත් මට බැන්න තමුසෙ යනවකො ඕයි යන්න මෙහෙන් පිටවෙලා අපිටවත් සැනසීමෙන් ඉන්න තමුසෙ නිසානෙ මේ ඔක්කෝම ප්‍රශ්න කියල එයා මට බැන්න..''
''..ඉතින් ඔයා මොකද කිව්වෙ එයාට..?''
''..මම මොනා කියන්නද වෙනදා වගේම මගෙ කාමරේට වෙලා මම ඇඬුව..''
''..ඉතින් ඔයාගෙන් එයාලට උන ප්‍රශ්නෙ මොකක්ද?..''
''..මගෙන් එයාලට කිසිම වැරද්දක් වෙලා නැහැ..මම එයාල ඔක්කෝටම ආදරේයි..ඒත් මාව පෙන්වන්න බැහැ කාටවත්..'
''..ඉතින් ඊට පස්සෙ මොකෝ උනේ?..''
''..මොකුත් නැහැ මම ගියා ඔෆිස් එකේ අයිය කෙනෙක් එක්ක මට ඉන්න කාමරයක් හොයා ගන්න, එකක් හම්බ උනා..ඒත් තාත්ති ගෙදර එනකම් ඉන්න ඕනෙ කියල යන්න..ඒකයි මම ඔයාට කිව්වෙ අද කියන්නම් කියල තාත්ති එනකම් උන්නෙ මම...''
''..ඉතින්..''
''..තාත්ති ට මම අඬල කිව්ව මේ ගෙදර මට තවත් ඉන්න බැහැ,මම නිසා ඔයාල රන්ඩුවෙන්න අසතුටෙන් ඉන්න ඕනෙ නැහැ.. මම වෙනම ඉන්න යනව කියල..ඉතින් තාත්ති මට යන්න එපා කිව්ව..පස්සෙ කෑම කන වෙලාවෙ තාත්ති අය්යට හොඳටම බැන්නලු..චූටිපුතා මේ ගෙදරින් අඩියක් යන්නෙ නැහැ කොහෙවත්, ඕන එකෙක් ඉන්නව නම් යන එකයි තියෙන්නෙ කියල..අයිය තරහ වෙලා ගියාලු කෑම කන්නෙත් නැතුව..දැන් එයා අපි එක්ක කෑමට ඉඳගන්නෙ වත් නැහැ..''
''..ඔයාට කවුද කිව්වෙ ඒක?..''
''..මට කිව්වෙ අක්ක..''(නෑනා)
මට එවෙලෙ ඒ අයිය එක්ක ආවෙ ඉවසගන්න බැරි තරම් කේන්තියක්..එදා මම ඒ අයියට නමකුත් දැම්ම ''මරුමුස්'' කියල..එදා ඉඳන් මම එයාව හැඳින් වුවෙ ''මරුමුස්'' කියල....
''හොඳ වැඩේ එයාට ඕනෙ නම් යන්න කියන්න ඕන දේවාලෙකට.ඔයා හෙල්ලෙන්න එපා ගෙදරින්..මහ පුදුම මිනිහෙක්නෙ..එක අම්මගෙ බඩින් ඉපදුන නිසා නේද එක්කුසේ උපන් කියන්නෙ?එයාට ඒක තේරෙන්නෙ නැද්ද?ඔයාටත් හොඳටම අයිතිය තියනවනෙ ඔයාගෙ අම්ම නිසා යන්න එපා කොහෙවත් ඔයා..''
''..නැහැ මම යන්නෙ නැහැ..'' එයා කිව්ව...

ඔය විදියට නිතර නිතර එයා අතුරුදහන් උනා...හැමදාම කිව්වෙ..ඔෆිස් එකේ මීටින් එකක්...පෝන් එක ගෙදර අමතක උනා..පෝන් එක ඕෆ් වෙල දන්නෙම නැතුව..ඔෆිස් එකේ වෙන වැඩකට පිට ගියා පෝන් එක ඔෆිස් ලාච්චුවෙ..මල්ලිව බලන්න කනත්තට ගියා පෝන් එක ඕෆ් කරන් උන්න..අම්මල එක්ක තරහ වෙලා බීච් එකට ගිහින් උන්න තනියම පෝන් එක ඕෆ් කරන්..ඔය අතරෙදි මෙහෙමත් උනා....

''..අපේ හලාවත තියන පොල්වත්තකට හොරු පැනල හෙන කේස් එකක් ඒක සෙට්ල් කරන්න උනේ මට. ඒකට ගියා හදිසියෙම..''
මම එයා කිව්ව දේවල් විශ්වාස කලා..ආදරේ කරන්නෙ විශ්වාසය නිසානෙ....
එයා ගාව මොබයිල් පෝන් 2 ක් තිබුන..එකක් එයාගෙ එක..අනික එයාට ඔෆිස් එකෙන් දීල තිබුන එක කිව්ව..එයාට මම ඔය දෙකටම කෝල් කලා..ඒත් එයා මට මිස් කෝල් දෙන්නෙ ඔය එයාගෙ ප්‍රයිවට් පෝන් එකෙන් විතරයි..එයාගෙ ඔෆිස් පෝන් එකෙන් එස්.එම්.එස් එවනව ඒත් ඒකෙන් කෝල් කරන්න බැරිලු.
ඔන්න ආයෙමත් දවසක් මෙයා දවසෙම අතුරුදහන් උනා...
''..ඔයාට අද මොකෝ උනේ..?'' මගේ සුපුරුදු ප්‍රශ්නෙ මම ඇහුවා.....
''..මගෙ පෝන් එකේ ක්‍රෙඩිට් නැහැ..''
''..හරි ඉතින් අනිත් පෝන් එක තියෙන්නෙ..?''(ඒකෙන් එස්,එම්.එස් එවන්න පුලුවන්නෙ.)
''..ඒකෙන් කෝල් කරන්න පුලුවන්ද යකෝ..???''
ඔන්න ඔහොමයි රාජ් කතා කලේ..
මට එදා පුදුමෙනුත් පුදුම හිතුන..මෙයාද මේ අහිංසකය..කාත් කවුරුත් නැති අනාථය.?
ඉවසගන්න බැරි තරම් දුකක් දැනුන නිසා මම කිව්ව....
''..අනේ මට ඔහොම කරන්න එපා..'' කියල එයා ගත් කටටම මගෙන් ඇහුව..
''..ඇයි මම මොනා කලාද? තමුසෙව රේප් කලාද නෙට් එකෙන්..?''

Friday 6 January 2012

පිහිනන්න බැරි හංසයෙක්.........!!

අළු පාට හැන්දෑව 17...

මගෙ කලින් පෝස්ට් එකේ, මධුරංග අයියගෙ කොමෙන්ට් එක දැක්කම හදිසියෙම මට මතක් උනා අමතක වෙලා තිබ්බ ගොඩාක් වැදගත් දෙයක්..(ස්තූතියි මධුරංග අයියට.)
             
අපේ සම්බන්ධය ට මාස කීපයක් ගතවෙමින් තිබ්බ...දවසෙන් දවසම එයාට තව තවත් ලං වෙද්දි මට දැනුන රාජ් ගෙ අස්වාභාවික චරිත ලක්ශන..අස්වාභාවික ගති පැවතුම්..අවුරුදු 24 ක ඉගෙන ගත්ත කොල්ලෙක් ගාව තිබිය යුතු ගති පැවතුම් මෙයා ගාව ගොඩාක් අඩුවෙන් තිබුනෙ..සමහර විට එහෙම නොතිබුනාම කිව්වත් වැරදි නැහැ..වෙලාවකට එයා හැසුරුනේ මුරණ්ඩු හිතුවක්කාර පොඩි දරුවෙක් වගේ..වෙලාවකට මාණසික අසනීපකාරයෙක් වගේ..තවත් වෙලාවකට එයා ගාව තිබුන තවත් කෙනෙක්ව හරි ඉක්මනින් රිදවන්න,තරහ ගන්වන්න පුලුවන් විදියෙ අදහස් වචන වගේම ක්‍රියාවනුත්...
මම හිතුවෙ..එයාගෙ ගෙදර තිබ්බ අසහනකාරී වාතාවරනයත්,එයාගෙ ''මාරාන්තික අසනීප තත්වයත්''..රැකියාවෙ තිබ්බ අධික කාර්යබහුල කම නිසාත්,එයාගේ අධ්‍යාපන කටයුතු අමාරුවෙන් කරගෙන යන නිසාත්,එයා මෙවැනි තත්වයකට පත්වෙන්න ඇති කියල....
මේ ගැන මම මගේ හිතවත් අක්ක කෙනෙක් එක්ක කථා කලාම එයා කිව්වෙත් ඒකමයි එයා කිව්වෙ මට ගොඩාක් ඉවසීමෙන් කටයුතු කරන්න කියල රාජ් එක්ක..අනික ඒ අක්කම කිව්ව අපි මෙහෙ යුරෝප් වල හොඳම ඩොක්ටර් කෙනෙකුට එයාගෙ මෙඩිකල් රිපෝට්ස් පෙන්නල මොනාහරි කරමු එයාගෙ අසනීපෙටත් කියල..ඒත් මම මොනතරම් වද කරල ඉල්ලුවත් රාජ් නෙවේ එයාගෙ මෙඩිකල් රිපෝට්ස් මට දුන්නෙ..හැමදාම මොනා හරි කියල මග ඇරිය එයා..ඒකෙන් උනේ මම තවත් භය උන එක..මම හිතුව එයාට මොකක් හරි ලොකු අසනීපයක් ඇති අපිට නොකියන කියල..
ඔය කාලය ඇතුලත එයාව සැක කල යුතු කරුණු ගොඩාක් හමු උනත් ඔය මම කලින් කිව්ව හේතු නිසා මම ඒවා පස්සෙන් පැන්නුවෙ නැහැ...
එහෙම සැකයක් හිතිල යාන්තම් හරි එයාගෙන් අහන්න ගිය වෙලාවට මම කලින් කිව්ව විදියට අර මාව රිද්දන වචන වලින්,ප්‍රකෝපකාරී ක්‍රියාවලින් එයා පිළිතුරු දුන්න...
''.....මගේ ජාතකේ ගැනත් කියල තියෙද්දි,මගේ මැරුන එකම මල්ලිය ගැන කියල දිවුරල තියෙද්දි,ඇයි මාව ඔයා අවිශ්වාස කරන්නෙ? කොච්චර වැඩ කරල ආවත් මොන තරම් මහන්සි තිබ්බත් ගෙදර දුවගෙන එන්නෙ ඔයාව බලන්න..ආපු ගමන් ඇඳුම් ගලවන්නෙත් නැතුව ඉස්සරවෙලාම කරන්නෙ කොම්පියුටර් එක ඕන් කරන එක..මගේ ලෝකෙ ඔයා..හැමදාම නින්දට යන්න කලින් ඔයාගෙ කටහඬ අහලා..ඔයාගෙ හිනාව අහල මම නිදා ගන්නෙ.(මෙයා මේවා මටත් හොරෙන් රෙකෝඩ් කරන් ඉඳල තියනව.)මේ ගෙදර මගෙ අයට වත් මාව කවදාවත් තේරෙන්නෙ නැති එක මම හිතුවා ඔයාටවත් මාව තේරෙනව ඇති කියල දැන් බලද්දි ඔක්කෝටම හපන් ඔයා.....''..
එයා මට කතා කලේ ''නංගි'' කියලනෙ.මම දවසක් ඇහුව''..ඇයි ඔයා මට නංගි කියල කතා කරන්නෙ..?''
''..එතකොට මගේම කියන හැඟීමක් දැනෙනව..''
''..එතකොට ඔයා ඔයාගෙ බ්ලොග් එකේ කොමෙන්ට්ස් දාන අයටත් කතා කරන්නෙ නංගි කියලනෙ..තව ඔයා කිව්වෙ උපුලිට කතා කරන්නෙත් නංගි කියලනෙ එතකොට එයාලවත් ඔයාගෙම වගේ දැනෙනව ඇති නේද? එතකොට මගෙයි එයාලගෙයි වෙනසක් නැද්ද?.''  ඔන්න ඔය වගේ අවස්තාවලදි අපි අතර අමනාප කම් ඇති උනා..ප්‍රශ්නයට අදාල දේවල් මග ඇරල,කටුක වචන වලින් එයා මට දමල ගැහුව...
එයාගෙ ජීවිතේට අදාල ප්‍රශ්න ගැටලු කතා කරනව හැර වෙන එයා මා එක්ක කතා කලේ,ෆිල්ම්ස් ගැන...සින්දු ගැන..බ්ලොග්ස් ගැන..එෆ්බී එක ගැන..
උදේ,දහවල්,හවස,රෑ......කෝල් වලින්,එස් එම් එස් වලින්,ස්කයිප් එකෙන්,ගූග්ල් ටෝක් එකෙන්,ඊමේල් වලින් මාස 5 ක කාලයක් අපි හැමදාම කතා කලත් අපිදෙන්නගෙ ආදරේ ගැනවත්,අපේ අනාගතේ ගැනවත් කිසිම දාක එයා මා එක්ක කතා කරල නැහැ..මම හිතුවෙ එයාගෙ අර කලින් හේතු නිසාම එහෙම වෙනව ඇති කියල..මාත් ඔහේ බලාගෙන උන්න එයා ප්‍රශ්න වලින් මිදිල සතුටින් ඉන්න දවසක් උදාවෙනකම්...
අනික සාමන්‍යයෙන් අපි කෙල්ලො ඉස්සර වෙන සිරිතක් නැහැනෙ..කෙල්ලො කැමති කොල්ල ඉස්සර වෙලා අපිව අතින් අල්ලන් ඉදිරියට යනවට..එහෙම නැතුව කොල්ලගෙ අතින්  ඇදගෙන යන සිරිතක් නැහැනෙ නේද?
ඉතින් මාස 5 ක් කාලයක් මේ තත්වයම වෙනස් නොවී තියෙද්දි මම ටිකක් ''ඇද වැටුන'' තත්වයකට පත් උනා..හැමදාම එයාගෙ ප්‍රශ්න අහල පිලියම් හොයනව කියනව, එයාව සනසනවා, නලවනව, ආදරේ කරනව අනුකම්පා කරනව..එයා ෆිල්ම්ස් ගැන කියනකොට අහන් ඉන්නව..එයා එවන සින්දු අහනව..එයා කියන අනුන්ගෙ දේවල් අහගෙන ඉන්නව..මට එපා වෙලා වගේ තිබ්බෙ ඒ කාලෙ මෙව්ව....දවසක් මම එයාගෙන් ආදරෙන් ඇහුව...
''...ඇයි අපි දෙන්න අපි ගැන කතා නොකරන්නෙ?තව කොච්චර කල් මේ දේවල් ගැන කතා කර කර ඉන්නවද අපි? ඔයා ඇයි මට ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ට වගේ කතා කරන්නෙ නැත්තෙ?ඇයි අපි දෙන්න අපි ගැන කතා නොකරන්නෙ?..''
''...මම උපන්දා ඉඳන් තනි උන කෙනෙක්..මට සමාජය පුරුදු නෑ..මල්ලි මැරුනට පස්සෙ අම්මල මාව දාල ගියාට පස්සෙ මට කතා කරන්න බැරි උනා..කිසිම කෙනෙක් එක්ක කතා නොකර මම තනියම උන්න..මගේ ජීවිතේටම මම වැඩිපුරම කතා කලේ ඔයා එක්ක..මට තේරෙන්නෙ නැහැ කෙල්ලෙක්ව ඇසුරු කරන්න..මට තේරෙන්නෙ නැහැ ආදරේ කරන්න..මම ඔයාට ආදරෙයි ඒත් ඒක පෙන්වන්න මට තේරෙන්නෙ නැහැ..ඔයාව හමු උනාට පස්සෙ තමා මම මේ තරම් වත් වෙනස් උනේ..මේ ගෙදර මම ඉන්නවද නැද්ද කියල අම්මල වත් දන්නෙ නැහැ..මම කතා කරන්නෙ නෑ..මට එක පාරම වෙනස් වෙන්න බැහැ..ඒකට කල් ඕනෙ..මට ඒකට කල් දෙන්න ..මම වෙනස් වෙන්නම්..ඔයාට උනත් පේනව ඇති මම දැන් මුලදිට වඩා වෙනස් නේද?මට කල් දෙන්න..මට කියල දෙන්න..මම ඔයාට ඕන විදියට වෙනස් වෙන්නම්...''



හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..........මේ කතාව නිසා මම තව තවත් අසරන උනා..උපන් දා ඉඳන් දුක් විඳින මේ අහිංසකයට මාත් වද දෙනව නේද කියල මට හිතුන...
ඒත්...කොල්ලෙකුට කල් අරගෙන පුරුදු වෙන්න ඕනෙද කෙල්ලෙක් එක්ක කතා කරන්න..ඇසුරු කරන්න..ආදරේ කරන්න??????

මේ කතාව අහපු මගේ යාලු අක්ක කෙනෙක් කිව්වෙ....

''...අනේ කෙල්ලෙ හංසයින්ට පීනන්න පුරුදු කරන්න ඕනෙ නැහැ..''   කියල.එයා කිව්ව විදියට රාජ් කරන්නෙ බොරුව..!

මම රාජ් ට මේ 'හංස කතාව' කිව්වාම එයා කිව්වෙ මෙහෙම..

''...හංසයින්ට පීනන්න පුරුදු කරන්න ඕනෙ නැහැ තමා..ඒත් පොඩිම කාලෙදි හංස පැටියෙකුගෙ තටු කැඩුනාම හංස අම්ම ඕනෙ එයාව බලාගෙන තටු හදල පීනන්න පුරුදු කරන්න...ඒත් මගෙ ජීවිතේට එහෙම ආදරයක් රැකවරනයක් මගෙ අම්මගෙන් කවදාවත් මට ලැබුනෙ නැහැ....''

හ්ම්ම්ම්ම්ම්ම්ම්...එතකොට ඒ ගනුදෙනුවත් අම්මගෙ එකවුන්ට් එකටම වැටුන....!!!!!!






Monday 2 January 2012

රෝසමල මට හිනා උනා.......!!!!!!

 එදා මගේ මුල්ම බ්ලොග් පෝස්ට් එක ලියන්න මට කියල දුන්න මගෙ ආදරනීය රෝසමල...!!
ඉතින්.............(අළු පාට හැන්දෑව ..16.)
ඔන්න දවසක් හවස රාජ් ඔන්ලයින් ආව වෙලේ මම අහුවාම 'කෝමද ඔයාට' කියල එයා හඬා වැටීගෙන කථා කලේ...
''...මම අද දවසෙම ඇඬුව නංගි..මට ජීවත් වෙලා වැඩක් නැහැ මේ විදියටන් නම්...''
''...ඇයි කියන්න ඔයාට මොකද උනේ...?''
''...ඔයා දන්නවනෙ අර මගෙ ඔපරේශන් එකෙන් පස්සෙ හැම මාසෙකම මාව කොලඹ එක්ක යන්න ඕනෙ ඒ ප්‍රයිවට් හොස්පිටල් එකට ඩොක්ටර්ට පෙන්වන්න..අද උදේ අපිට යන්න තිබුනෙ..උදේ මම කාමරේ ලෑස්තිවෙනව යන්න ..මම අහගෙන අම්මි තාත්තිට බනිනවා මා ගැන කියල..එයාල දන්නෙ නැහැ මම ඔක්කොම අහගෙන උන්න කියල...''
''...ඇයි ඒ ඔයාට බනින්නෙ? ඔයා මොනා කලාටද..ඇයි දෙවියනේ මොනා වෙලාද මේ මිනිස්සුන්ට..?''
''...මම මොකුත් කලේ නැහැ නංගි..මේක මගෙ කරුමෙ..අම්මි බනිනව මට ඇහුන අපරාදෙ මේකා වෙනුවෙන් අදත් පාලොස්දාහක් විතර ඉවර කරල එන්නද හදන්නෙ? ආන්ඩුවෙ හොස්පිටල් එකකට අරන් ගියා නම් මොකෝ වෙන්නෙ කියල...මම කාර් එකේ පිටි පස්සෙ කොළඹට යනකම්ම අඬ අඬ ගියෙ නංගියො...''
''...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්......මේක අහන්න..මම කියන දේ අහන්න...ඔය ප්‍රයිවට් හොස්පිටල් වල ඉන්නෙත් ආන්ඩුවෙ අය..අනික කොච්චර හොඳ ඩොක්ටර්ස්ල ඉන්නවද දැන් ආන්ඩුවෙ හොස්පිටල් වල..ඇත්තටම ප්‍රයිවට් වලට අච්චර සල්ලියක් වියදම් කරන එක බොරු වැඩක් තමා මාත් කියන්නෙ...අම්ම හිතන්න ඇත්තෙ එහෙමයි..මම උනත් එහෙම කියනව..ඔයාට ආදරේ නැති කම නිසා නෙවේ අම්ම එහෙම කියන්න ඇත්තෙ..අනික ඔයාලගෙ පවුලෙ පුත්තුම දෙන්න විතරනෙ කවදා හරි එයාල මැරි කරල ගියාම දුවෙක් වත් නැති නිසා අම්ම තනි වේවි කියල එයාට භයකුත් ඇතිනෙ..ඒ නිසා එයා අර පරිස්සමෙන් වියදම් කරනව ඇති..ඉතුරු කරනව ඇති මම හිතන්නෙ..ඔයා ඒක ගනන් ගන්න එපා..දුක් වෙන්නෙ නැතුව ඉන්න දැන් ඉතින්  හොඳේ?..''

ඉතින් හැමදාමත් වගේ මට කරන්න සිදු උනා ඔය ''බබ්බු නැළවිල්ල'' මමත් තාම පුංචි එකෙක්..ඒත් අම්ම කෙනෙක් වගේ එයාව සනසන නළවන එක තමා මම කලේ හැමදාමත් වගේ.......

ඒ දවස් වල අපේ වත්තෙ රෝස ගස් වල මල් පිරීලා..දවසක් උදේක මම දැක්ක එක ගහක අලුතෙන්ම මල් පිපිලා ඒවා හරි විශාල ලස්සනම රෝස මල්..ඒක දැක්කාම එක පාරම මට හිතුනෙ අනේ මේකෙන් මලක් එයාට යවන්න ඇත්නම් කියල...ඉතින් කෝම යවන්නද අපි දුරනෙ..ඉතින් මම මගෙ පෝන් එකෙන් ඒ ලොකුම මලේ පොටෝ එකක් අරන් ඒක මේල් එකක ඇඩ් කරල ''අයි ලව් යූ'' කියල එයාට යැව්ව........

ඔය දවස් වල එයා එයාගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්ම ''මගේ වෝර්ඩ්ප්‍රෙස් කෙරුවාව'' කියල..එදාම එයා අලුත් බ්ලොග් එකක් ලියන්න පටන් අරන් තිබ්බ..ඒ බ්ලොග් එක අපි දෙන්නම ලියමු කියද්දි මම ඒකට එක හෙලාම අකමැති උනේ බ්ලොග් ලියනවා තියා ඒව ගැන කිසිම දෙයක් මට නොතේරෙන නිසාත්..සිංහලෙන් එහෙම දේවල් ලියන්න හීනෙකින්වත් දැනගෙන උන්නෙ නැති නිසාත්..එහෙම දෙයක් ලියන්න හිතන්නත් මට භය හිතුන...ඊට කලිනුත් මගෙ යාලුවො කීප දෙනෙක් මට කියද්දි බ්ලොග් එකක් ලියන්න කියල..මම කිව්වෙ මම නම් මේ ආත්මෙදි බ්ලොග් ලියන්නෙ නැහැ කියල.......

නමුත් රාජ්ගෙන් මට බේරුමක් නැති උනා...එයා මට වදයක් වගේ උනා ඒ බ්ලොග් එක ලියන්න එන්න කියල..
''...නෑ නෑ ඔයා මේකට එන්නම ඕනෙ මමනෙ කියන්නෙ..ඔයාට ලියන්න පුලුවන්..මම කියල දෙන්නම්..මම කියන නිසා එන්න..ඔයා මම කියන දේ අහන්නෙ නැත්ද? ප්ලීස්..ප්ලීස් මම නිසා එන්න ප්ලීස්...''

ඉතින් මම ''හා එන්නම්'' කියපු සැනින්ම මෙයා උඩ පැනගෙන බ්ලොග් එකට මාව දාල ඒකෙ නම ''මතක මන්දිර'' කියල..එයාගෙ නම හුදකලා යාත්‍රිකය කියල..මගෙ ඇත්ත නමේ කෑල්ලකින් මටත් නමක් හදල ඔන්න වැඩේ පටන් ගත්ත....ඒත් ඒකෙ ලියන්නෙ කෝමද මොනාද කියන එක නම් කොහෙත්ම තේරුනේ නැහැ.......(ඒ බ්ලොගය දැන් නැහැ.)

ඔන්න ඉතින් මම යැව්ව අර තෑගි පෙට්ටියත් මේ වෙනකොට එයාට ලැබිල...''තැන්කියු'' එකක් විතරයි මට එයාගෙන් ලැබුනෙ..අවංකවම කියනවා නම් ඊට වඩා දෙයක් එයාගෙන් අහගන්නයි මම බලපොරොත්තු උනේ...ඔයාල කවුරුත්  කවදා හරි  කාට හරි ආදරේ කරලා තියනවා නම් ඒ අයෙකුගෙන් මොනා හරි පුංචිම තෑග්ගක් හරි ලබාගෙන  එහෙම නැත්නම් දීල තියනවා නම්...ඔයාලට පැහැදිලි වෙන්න ඕනෙ මම මේ කිව්ව දේ........
ඒත් ඒ වෙනුවට මට අහගන්න ලැ බුනෙ මෙන්න මේ වගේ දේවල්.
1...චේන් එක කොටයි ඒක මට දාන්න බැහැ.
2...අර ලූර්ඩ්ස් වලින් ගෙනාව කිව්ව වතුර කුප්පිය බිඳිල කෑලි වලට ඒ කෑල්ලකට මගෙ ඇඟිල්ලකුත් කැපුන.
3...පෙට්ටිය අතුලෙ කූඹි පිරිලා.
4...අර තාරාව එක්ක එව්ව චොක්ලට්ස් ඔක්කොම දිය වෙලා තාරාව නෑවිලා..අපරාදෙ ඒකව කාර් එකේ එල්ලන තිබුන.
5...මම අඳින්නෙ කොලර් දාපු ටීෂර්ට් විතරයි.
6...මේ දවස් වල රස්නෙයි ඒ ෂර්ට් එක අඳින්න බැහැ.
7...මේ ඩී.වී.ඩී වල එක කවරයක් කොනකින් කැඩිලනෙ.

8...හරි දැන් මේක ට හරියන්න මොනාද මම එවන්න ඕනෙ?

මට මහම මහ කළකිරීමක් දැනුන..ඊට පස්සෙ දවසක ෆේස්බුක් එකට ගියාම දකින්න ලැබුන දෙයක් මට අදහා ගන්න බැරි උනා..!!!

එදා අනුත්තරාගෙන් සමුගන්න කියල ගිය දවසෙ අනුත්තරා එයාගෙ බෝයිත් එක්ක මෙයාට තෑගි දුන්න අර නිල්පාට අස්වයගෙ පොටෝ එකක් මෙයා හරි ලස්සනට ෆේස්බුක් එකේ දාල තිබුන.......!!!
එතකොට මම යැව්ව රුපියල් වලින් නම් දාස්ගානක් වටින තෑගි? ගිනි කඳු ගිහින් අච්චර මහන්සිවෙලා ගෙනාව ඒ හදවත? ( ඒ හදවත් දෙකේම ලස්සන පොටෝ එකක් මම එයාට යැව්ව කලින්ම.)
ඒ ඔක්කොමත් හරි මම අර ආදරේ කියල යැව්ව අපේ වත්තෙ පිපුන ඒ ලස්සනම ලස්සන කුළුඳුල් රෝස මල?

එදා එවෙලෙ මගෙ හිතට දැනුන දේවල් මම මේකෙ ලියන්නෙ නැහැ....ඒත් ඒ මොහොතෙ ඒ දැනුන විදියටම මේ දැනුත් මගේ හිතේ ඒවා තියනවා..!

ඉතින් එදා ඒ සිදුවීම නිසා කවදාවත් නොහිතපු දේකුත් සිදු උනා..හිතට දැනුන ඒ දුක වේදනාව ලස්සනම ලස්සන බ්ලොග් පෝස්ට් එකක් විදියට මගෙ අතින් මටත් නොදැනිම ලිය උනා..එදා ඒ සෙනසුරාද දවසෙ රාජ් පන්ති ගිහින් එද්දි මම ඒක ලියල පල කරලත් ඉවරයි....ඒක මතක තියන සමහරු ඇති මේක කියවන අය අතරත්...එදා ඒ හඬා වැටුන මට හිනාවෙලා....ජීවිතේ මුල්ම බ්ලොග් පෝස්ට් එක ලියන්න උදව් කරපු මේ ලස්සන රෝස මලට මම හැමදාම ආදරෙයි......!!

මතකද ඔයාලට  ''රෝස මල මට හිනා උනා..??''